මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ : අදහස් දෙන්න ජනතාවට මාසයක්

දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිවල අඩුපාඩුකම් හඳුනාගැනීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (17) ප්‍රථම වරට රැස් වී තිබේ.
එහි සභාපති පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව රැස්වී ඇත.
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති-රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්යභාරය වී තිබේ. පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්යභාරය එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා එහි සාමාජික මන්ත්‍රීවරුන්ට දැනුම්දීමෙන් පසු ඉදිරියේදී කාරක සභාවේ කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව සාකච්ජාවට ලක් වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
අභිනවයෙන් පාර්ලිමේන්තු කාරක සභාවට පත් වූ මන්ත්‍රීවරුන් පිළිගැනීමටද දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කටයුතු කළ බවත්, මෙම කාරක සභාව පිහිටුවීම සම්බන්ධයෙන් කතානායකවරයාටත් සභාවටත් දිනේෂ් ගුණවර්ධන මහතා ස්තූතිය පළකළ බවත් දසනායක මහතා කීවේය. මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යුහයේ සහ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවට ද අදහස් ලබාදීමට මාසයක කාලයක් ලබාදීමට කාරක සභාව තීරණය කළ බව ද දසනායක මහතා පැවසීය.
කැබිනට් අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්, එම්. යූ. එම්. අලි සබ්රි යන මහත්වරුන් ද, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරුන් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගි වී තිබේ.
Previous articleඅහ්නෆ්,භාෂණයේ නිදහස සහ මානව හිමිකම්
Next articleඑන්නත් මිශ්‍ර කිරීමට විශේෂඥ අනුමැතිය නෑ – පර්යේෂණ පමණයි : ගම්මන්පිලගේ බොරුවේ ඇත්ත මෙන්න !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here