සැකකරුවන් ඝාතනය : නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ ගැටළුවක් – මානව හිමිකම් කොමිසම

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් මිය යෑම රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ ගැටළු මතුකරන්නක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර සිටී.
1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතින් එම කොමිසමට පැවරී ඇති බලතල ප්‍රකාරව පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එහි සභාපති ජගත් බාලසූරිය මේ බව පෙන්වා දෙයි. ඊයේ (17) මේ ලිපිය යොමුකර ඇත.
ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක සහ මාබුලගේ දිනිත් මෙලාන් මාබුල හෙවත් ඌරු ජුවා පොලිස් භාරයේ සිටියදී ආසන්න දින දෙකකදී වෙඩි වැදී මියගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් වී ඇති බවත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ. මේ පැමිණිලි HRC/1216/21 සහ HRC/1176/21 යන අංක යටතේ ලියාපදිංචි කර ඇත.
මේ නිසා අදාළ සැකකරුවන් මිය යෑම පිළිබඳව පොලිසිය පාර්ශ්වයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව මැයි 30 වැනිදාට පෙර කොමිසම වෙත ලබාදෙන ලෙස ද අදාළ ලිපිය මගින් පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
කොමිසමේ සභාපතිවරයා විසින් යොමු කළ ලිපියේ මෙසේ ද සඳහන් ය.
‘පොලිස් භාරයේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් වන අතර, පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝගවල මෙන්ම ගරු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවල ද එම කරුණ අවධාරණය කර ඇත.
ආසන්න දින කිහිපයක් තුළ මෙවැනි සිදුවීම් වාර්තා වීම තුළින් රට තුළ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ ගැටළුකාරී තත්ත්වයක් ගොඩනැගෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්වාසයයි.
කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේ ආරම්භක පියවරක් වශයෙන් ඔබ දෙපාර්තමේන්තුව මේ සිදුවීම පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණය පිළිබද පූර්ණ වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇත.’
Previous articleඑන්නත් මිශ්‍ර කිරීමට විශේෂඥ අනුමැතිය නෑ – පර්යේෂණ පමණයි : ගම්මන්පිලගේ බොරුවේ ඇත්ත මෙන්න !
Next articleවරාය නගර කෙටුම්පත : ව්‍යවස්ථාවට අනුකූල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය : වසංගතය තිබුණට රීති ප්‍රශ්නයක් නෑ – කතානායක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here