ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා – ජනාධිපති ගෝඨාභය

ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙන බවත් ඊට යට නොවී සිටිය හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනේදී පැවසීය.
ඉන්දියන් සාගරයේ බල අරගලයට ගොදුරක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.
මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්, කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ දෑරංගල මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහනේදී හෙතෙම මේ බව කීවේය.
ඔහු මෙසේද පැවසීය.
” දීර්ඝ කාලයක සිට ජනතාව මුහුණ පා සිටින ගැටලු නිවැරදිව හඳුනාගෙන විසඳුම් දෙමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මූලික පදනම සකස් කර තියෙනවා. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට රජය බැඳි සිටිනවා. එය රජයේ වගේම නිලධාරීන්ගේ ද වගකීම. රටට වඩාත් ඵලදායක අයුරින් ආර්ථිකය ශක්තිමත් කරනවා. ග්‍රාමීය ජනතාවගේ ගැටලු නිරාකරණයට ප්‍රමුඛත්වය දෙනවා.
එදා කොළඹ හරිත නගරයක් ලෙස සංවර්ධනය කෙරුණා. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පූනර්ජනනීය මූලාශ්‍ර ඇසුරෙන් උත්පාදනයට සැලසුම් කර තිබෙනවා. සූර්ය බල පද්ධති 7000කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විදුලිබල පද්ධතියට විදුලිය සපයා ගැනීමට පියවර ගෙන සෑම වසරකදීම රසායනික පොහොර භාවිතය 25%කින් අඩු කරනවා. මේ සියල්ල පරිසර සංරක්ෂණය සේම ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කොටගත් ව්‍යාපෘතීන්.
මේ ප්‍රගතිය ඉවසිය නොහැකි දේශීය, විදේශීය බලවේග සහ ඔවුන්ට සහය දෙන මාෆියා කණ්ඩායම් බොරු නිර්මාණය කොට ජනතාව මුලා කරමින් සිටිනවා. කරන දේ නිවැරදිව නොදැක වැරදි මතවලට රැවටුණහොත් පසුගිය වසර පහ තුළ උද්ගත වූ හානිය නැවත ඇතිවිය හැකිය. එසේ වුවහොත් සිදු වන හානිය නිවැරදි කිරීම පහසු වෙන්නේ නෑ.
පැවති රජයේ අනුවණ ක්‍රියාපිළිවෙත හේතුවෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටුණා. පාස්කු ඉරිදා ප්‍රහාරය එහි ප්‍රතිඵලයක්. අභූත චෝදනා නගමින් රණවිරුවන් සිරගත කෙරුණා. ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වා රටේ ස්වෛරීත්වය බිඳ දැම්මා. හීලෑ අලි ඇතුන් පිළිබඳ ප්‍රශ්න ඇති කර සංස්කෘතිය, ආගම හා බැඳුණු උරුමය විනාශ කිරීමට උත්සාහ කළා.
MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය වැනි ගිවිසුම්වලට එළැඹ රට දැවැන්ත අර්බුදයකට ඇද දමනු ලැබුවා. අද ඒවාට විසඳුම් දෙමින් සිටිනවා. සියලු ප්‍රශ්න ඇති කළ සහ ඒවාට සහය දුන් පිරිස් වත්මන් රජයට එරෙහිව උද්ඝෝෂණය කරනවා. හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කතා කරන්නේ සහ හැසිරෙන්නේ කිසිදිනක බලයේ නොසිටි අය වගේ.
ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා. ඊට යට නොවි ඉන්න පිළිවන්. අපි නිදහස් රටක්. ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැහැ.”
ජිනීවා ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැතිරෙන දුර්මත පිළිබඳ කළ සම්මුඛ සාකච්ඡාවක් මෙතැනින්
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාව මාර්තු 23 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඊ⁣ට පක්ෂව ඡන්ද 22ක් ද විපක්ෂව 11ක්ද හිමි වූ අතර රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
බොලීවියාව, චීනය , පාකිස්ථානය, බංග්ලාදේය, පිලිපීනය, රැසියාව, උස්බෙකිස්තාන්, කියුබාව, එරිත්‍රියාව, වෙනිසියුලාව, සෝමාලියාව යන රටවල් යෝජනාවට විපක්ෂව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.
ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ඉතාලිය, ආජන්ටිනාව, ඕස්ට්‍රියාව, බහමාස්, ආමේනියා, ආජන්ටිනාව, බ්‍රසීලය, ෆීජී, බල්ගේරියා, අයිවරි කොස්ට්, කොරියාව, පෝලන්තය, යුක්‍රේනය, උරුගුවේ, මෙක්සිකෝ, මලාවි, මාෂල් අයිලන්ඩ්, ඩෙන්මාර්ක් හා චෙක් ජනරජය යන රටවල් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ඉන්දියාව, බහරේන්, ගැබෝන්, සෙනගාල්, සුඩානය, ටොගෝ, ඉන්දුනීසියාව, ලිබියාව, ජපානය, නැමීබියාව, නේපාලය, කැමරොන් හා බුර්කිනා පාසෝ හා නෙදර්ලන්තය ඡන්දය දීමෙන් වැලකී සිටියේය.
එම යෝජනාව පහත කරුණු 16 මුල්කරගනිමින් ඉදිරිපත් කෙරිණි.
1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 43 වැනි සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද වාචික කරුණු ඉදිරිපත් කිරීම සහ 46 වැනි සැසිවාරයේදී සභාව වෙත ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සාදරයෙන් පිළිගන්නවා.
2. මහ කොමසාරිස් කාර්යාලය සමඟ ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම සහ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටිය සාදරයෙන් පිළිගන්නවා. එවැනි කටයුතුවල හා සංවාදවල අඛණ්ඩ පැවැත්ම ඉල්ලා සිටින අතර, කාර්යාලය විසින් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත්, විශේෂ ක්‍රියා පටිපාටි මගින් කරනු ලබන නිර්දේශ පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වන ලෙසත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා.
3. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා අතර, මෙම ආයතන සඳහා සහයෝගය පවත්වාගෙන යෑමේ වැදගත්කම අවධාරණය කරනවා, ඔවුන්ගේ ස්වාධීන හා ඵලදායී ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීම, කාර්යාල දෙකටම ඔවුන්ගේ බලතල ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් හා තාක්ෂණික ක්‍රම ලබාදීම,  පීඩාවට පත් අවදානමට ලක් වූ පවුල් සඳහා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය කෙරෙහි අවධානය යොමුකර, අතුරු සහන පියවර ඉදිරියට ගෙනයෑම සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධි, අතුරුදන්වූවන්ගේ පවුල්වලට තම ආදරණීයයන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය දැනගැනීමට හැකිවන පරිදි විසඳීම.
4. ශ්‍රී ලංකාවේදී එල්ටීටීඊය විසින් සිදුකරන ලද අපරාධ ද ඇතුළුව සියලු පාර්ශ්ව විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයේ සවිස්තර වාර්තාවෙන් අවධාරණය කර ඇති ආකාරය⁣ට පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම අවධාරණය කරයි.
5. දේශීය විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනත්වයක් නොමැති බවත්, එහි බලය වන්නේ පෙර කොමිෂන් සභා සහ කමිටු පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම බවත් අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගවීම සඳහා බලයක් නොමැති බවත් 2021 ජනවාරි 22 වැනිදා නිවේදනය කළ අතර, දේශීය යන්ත්‍රණවල වගවීම පිළිබඳ නිරන්තර අඩුපාඩුවක් එහිදී සටහන් කරයි.
6. ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ අරමුණින් සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට තීරණය කරයි. ශ්‍රී ලංකාවේ දළ වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ හා වෙනත් කටයුතුවලට සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම.
7. පසුගිය වසර තුළ මතුවෙමින් පවතින ප්‍රවණතා පිළිබඳව බරපතළ කනස්සල්ල පළකරන අතර, රජයේ සිවිල් ක්‍රියාකාරකම් වේගයෙන් මිලිටරිකරණය කිරීම; මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වගකිවයුතු අධිකරණයේ සහ ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය අඩාල වීම; වැදගත් නඩුවලදී අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනවලට දඬුවම් නොලැබීම සහ එම අපරාධ සඳහා වගවීමට දේශපාලන බාධා ඇති වීම; ආගමේ හෝ විශ්වාසයේ නිදහසට ඇති අයිතියට අහිතකර ලෙස බලපාන ප්‍රතිපත්ති; දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් කොන්කිරීම් ඉහළ යෑම; සිවිල් සමාජ ක්‍රියාකාරීන් නිරීක්ෂණය කිරීම හා බිය ගැන්වීම; ජනමාධ්‍ය නිදහස සීමා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවහිර කිරීම; ස්මාරක විනාශ කිරීම ඇතුළුව යුද්ධයට ගොදුරුවූවන් ප්‍රසිද්ධියේ අනුස්මරණය කිරීම සඳහා වූ සීමා ඇති කිරීම; අත්තනෝමතික ලෙස රඳවාගැනීම;  වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික පහත් සැලකීම් හෝ දඬුවම් සහ ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිරිහෙන තත්ත්වයක් පිළිබඳ පැහැදිලි පූර්ව අනතුරු ඇඟවීමේ සලකුණු පෙන්වයි. මෙම ප්‍රවණතා මෑත වසරවල ලබාගෙන ඇති සීමිත නමුත් වැදගත් වාසි ආපසු හැරවීමට තර්ජන එල්ල කරන අතර, අතීතයේ බරපතළ උල්ලංඝනයන්ට තුඩු දුන් ප්‍රතිපත්ති හා භාවිතයන් නැවත ඇතිවීමේ අවදානමක් තිබේ.
8. කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීම ආගමේ හෝ විශ්වාසයේ නිදහසට බලපෑමක් ඇති කර ති‌බෙන අතර, මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පවතින අන්තවාදී සහ වෙනස් කොට සැලකීම උග්‍ර කර ඇත. කොවිඩ්-19 ආසාදිතව මියගිය අය ආදාහනය කිරීම නිසා මුස්ලිම්වරුන්ට සහ වෙනත් ආගම්වල සාමාජිකයන්ට  අවසන් කටයුතු සම්බන්ධයෙන් ආගමික වත්පිළිවෙත් අනුගමනය කිරීම අවහිර කර ඇති අතර, ආගමික සුළුතරයට අසමාන ලෙස බලපා ඇත. එමගින් ඔවුන් පීඩාවට පත්ව ඇති අතර, ඔවුන්ගේ ආතතීන් උත්සන්න කර ඇත.
9. කඩිනම්, සවිස්තරාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ යැයි කියනු ලබන සියලු අපරාධවලට එරෙහිව නඩු පවරන ලෙස ඉල්ලා සිටී.
10. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කර ඇති පරිදි ඔවුන්ගේ බලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
11. මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආරක්ෂා කරන ලෙසත්, ඕනෑම ප්‍රහාරයක් විමර්ශනය කරන ලෙසත්, සිවිල් සමාජයට බාධාකිරීම්, සෝදිසි කිරීම්, අනාරක්ෂිතභාවයන් සහ පළිගැනීමේ තර්ජනයෙන් තොරව ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත හා සක්‍රීය පරිසරයක් සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
12. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිළිබඳ ඕනෑම ව්‍යවස්ථාවක් රජයේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති බැඳීම්වලට අනුකූල වන බවට සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
13. සියලුම ආගමික ප්‍රජාවලට ඔවුන්ගේ ආගම ප්‍රකාශ කිරීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමෙන් ආගමට හෝ විශ්වාසයට හා බහුවිධතාවට නිදහස ලබාදෙන ලෙසත්, විවෘතව හා සමාජයට සමාන පදනමක් මත දායක වන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
14. ඔවුන්ගේ ඉල්ලීම්වලට විධිමත් ලෙස ප්‍රතිචාර දැක්වීම ඇතුළුව මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට අපේක්ෂා කරයි.
15. ඉහත සඳහන් පියවර ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයේ එකඟතාව, උපදේශනය සහ උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීමට මහ කොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ ක්‍රියා පටිපාටි දරන්නන් දිරිමත් කළ යුතුයි.
16. සංහිඳියාව හා වගවීමේ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එහි අධීක්ෂණය සහ වාර්තාකරණය වැඩි දියුණු කරන ලෙසත්, මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසියේදී වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී. එහි 49 වැනි සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ එහි 51 වැනි සැසියේදී වගවීම ඉදිරියට ගෙනයෑම සඳහා තවත් විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටින අතර, එම වාර්තා දෙකම සංවාදයක් තුළ සාකච්ඡා කළ යුතුය.’
ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට මුලිකව කෙටුම්පත් යෝජනාව ඉදිරිපත් කර තිබුණේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසඩෝනියා යන රටවල් හය මගිනි. නමුත් එම යෝජනාව බරපතළ නොවන බවට රටවල් කිහිපයක් චෝදනා කර තිබූ අතර, ඉන්පසු එය වෙනස් කර යළි රටවල් 42ක යොජනාවක් ලෙසට ඉදිරිපත් කෙරිණි.
එම රටවල් වන්නේ ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව, කැනඩාව, ක්‍රොඒෂියාව, සයිප්‍රසය, චෙක් රාජ්‍යය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව,  ලක්සම්බර්ග්, මලාවි, මෝල්ටාව, මාර්ෂල් දූපත්, මොන්ටිනීග්‍රෝ, නෙදර්ලන්තය, නවසීලන්තය, උතුරු මැසිඩෝනියාව, නෝර්වේ, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, සැන් මරීනෝ, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ස්පාඥ්ඥය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, උතුරු අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය වේ.
Previous articleසිංහරාජයට හානියක් නෑ කියා යුනෙස්කෝව කිව්වාද?
Next articleවිදුලි වැටට කෝටි ගණන් වැය කළත් අලි-මිනිස් ගැටුමට තාම විසඳුමක් නෑ – කෝපාවේදී හෙළි වෙයි 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here