ජිනීවා : රටට එරෙහි යෝජනාවක් ද – අපරාධකරුවන්ට එරෙහි යෝජනාවක් ද?

(නිලූක සඳුන්)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පැතිරෙන දුර්මත සම්බන්ධයෙන් සහ එම යෝජනාව සම්මත වීමෙන් පසු සිදුවන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රුකී ප්‍රනාන්දු මහතා සමග MediaLK කළ සම්මුඛ සාකච්ඡාවකි මේ…
මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා සම්මත වුණා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ?
ඒ යෝජනාවලියේ තියෙන විදියට කවුන්සිලයේ සාමාජික රටවල් කියලා තියෙනවා මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්තුමියට ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සංහිඳියාව ගැන වගවීම ගැන වාර්තා තුනක් ඉදිරිපත් කරන්න කියලා. එකක් සැප්තැම්බර් මාසයේ ඊළග එක 2022 මාර්තු අවසාන සම්පූර්ණ වාර්තාව 2022 සැප්තැම්බර්. ඒ අවසාන වාර්තාවේදී ලංකාවේ වගවීම ඉෂ්ට කරගැනීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියලා..තියෙන විකල්ප මොනවද කියලා ඊට අමතරව මේ යෝජනාවෙන් කියලා තියෙනවා මහ කොමසාරිස්වරියගේ කාර්යාලයට ලංකාවේ අතීතයේ සිදුවෙලා තියෙන අපරාධ-මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබද සාක්ෂි ක්‍රමවත් ලෙස එක්රැස් කරගන්න විශ්ලේෂණය කරන්න අනාගතයේදී වගවීම පිළිබඳ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙද්දි ඒවාට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට.. විශේෂයෙන්ම වින්දිතයන්ට වින්දිතයන්ගේ පවුල්වල අයට පීඩාවට පත්වෙච්ච අයට යුක්තිය ඉෂ්ට කරගන්න උදව් වෙන්න කියලා. ඒක තමයි ප්‍රධානම ක්‍රියාකාරීත්වය.
මේ යෝජනාව රටට විරුද්ධ එකක් හමුදාවට විරුද්ධ එකක් කියලා සමාජයේ මතයක් පතුරුවමින් තිබෙනවා. එහි සත්‍ය අසත්‍යතාව මොකද්ද?
මේ වගේ වගවීම අවශ්‍යයි යුක්තිය අවශ්‍යයි කියලා ලංකාවේ විවිධ අය ඉල්ලා සිටිනවා. ලංකාවේ ඇතුළේ සහ ලංකාවෙන් පිට. මේක ලංකාවේ පුරවැසියන්ට යුක්තිය ඉෂ්ට වීම සම්බන්ධයෙන් තියෙන යෝජනාවක්. එතකොට ඒක රටට විරුද්ධ වෙන්නේ නෑ. මේ අපරාධ කරපු අයට අපරාධ කරන්න අණ දීපු අයට අපරාධ කරන්න පුළුවන් පරිසරයක් ප්‍රතිපත්තිමය වශයෙන් නීතිමය වශයෙන් සමාජයීය වශයෙන් නිර්මාණය කරපු අයට ඒ වගේම ඒ අපරාධ කරන්න අනුබල දීපු අයට ඒ අපරාධවලට වගවීම ඉෂ්ට වීම දේශීය වශයෙන් පොලිසිය මාර්ගයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් අධිකරණය මාර්ගයෙන් වළක්වන්න උත්සහ කරපු අයට මේ යෝජනාවලිය විරුද්ධයි. ඒ අය මේ යෝජනාව තර්ජනයක් විදියට දකින්න පුළුවන්. පොදුවේ ලංකාවේ සංහිඳියාවට මානව හිමිකම්වලට, පුරවැසියන්ට යුක්තිය වගවීම ඉෂ්ට වෙන එකට කැමති කිසිම කෙනෙක් මේක විරුද්ධ විදියට දකින්නේ නෑ. මේකෙන් තර්ජනයට ලක්වෙන්නේ අර මම කිව්ව පාර්ශ්ව ටික තමයි. අපරාධ කරපු අය ඒවාට පරිසරයක් නිර්මාණය කරපු අය ඒවා වහන්න උපකාරී වෙච්ච අය සහ ඒවාට යුක්තිය ඉෂ්ට වීමට බාධා කරපු අයට තමයි මේක තර්ජනයක් වෙන්නේ.
මේකේ හමුදාව විරුද්ධ කිසිම දෙයක් නෑ, යෝජනාවලියේ පැහැදිලිව කියවලා බැලුවොත් තියෙනවා එක තැනක ලංකාවේ සිදුවෙච්ච අපරාධ-මානව හිමිකම් උල්ලංඝනයවීම්වලට යුක්තිය ඉෂ්ට විය යුතුයි එල්ටීටීඊ සංවිධානය කරපු අපරාධ ඇතුළුව කියලා. අඩුම ගානේ එල්ටීටීඊ සංවිධානය ගැන සඳහන් කරලා තිබුණාට හමුදාව ගැන විශේෂයෙන් සදහන් කරලා නෑ. හැබැයි අපරාධ-මානව හිමිකම් උල්ලංඝනයවීම් වුණා කියන සියලුම පාර්ශ්වවලට. එල්ටිටීඊ සංවිධානය, හමුදාව, පොලිසිය ඒ ඕනම කෙනෙක් අතින් අපරාධ සිද්ධ වුණානම් ඒ අයට මේ යෝජනාවලියෙන් බය වෙන්න දෙයක් තියෙනවා. එහෙම නැති අයට බය වෙන්න දෙයක් නෑ.
මේ යෝජනාවලියේ බලපෑම ඵලදායි ලෙස හසුරවාගැනීමට ලංකාව විදියට මොකද්ද කරන්න ඕනේ?
මේකට හේතුවෙච්ච කාරණා මම හිතන්නේ ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. යෝජනාවලියේ සඳහන් වෙනවා එකක් තමයි ලංකාවේ අතීතයේ සිදුවෙච්ච බරපතල අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයවීම්වලට තවම යුක්තිය ඉෂ්ට වෙලා නෑ කියන එක.
අපි බොහොම පැහැදිලිව දකිනවා ළඟදී ඒ වගේ දෙයක් කතා කරලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්තුමා. එතුමා කිව්වා අවුරුදු දෙකක් කිට්ටු වෙනවා පාස්කු ප්‍රහාරයට – ලංකාවේ ඇතුළේ යුක්තිය ඉෂ්ට වුණේ නැත්නම් ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබාගන්නවා ජාත්‍යන්තර සංවිධානවලින් ජාත්‍යන්තර අධිකරණයට යන්නත් ලෑස්තියි කියලා. ඒ වගේම ඝාතනයට ලක්වෙච්ච මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග කියල තිබුණා අවුරුදු දහයක් ලංකාවෙන් යුක්තිය ඉෂ්ට වෙනකම් බලාගෙන හිටියා 2009 ඉදලා 2019 වෙනකම්..ඊට පස්සේ තමයි මම යොමු වුණේ ජාත්‍යන්තර වශයෙන් යුක්තිය ලබාගන්න කියලා. මොකද ලංකාවේ යුක්තිය ඉෂ්ට වුණේ නැති නිසා කියලා. ඒ වාගේම තමයි අනූ ගණන්වල මහින්ද රාජපක්ෂ මහත්තයා වාසුදේව නානායක්කාර මහත්තයා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවලින් යුක්තිය ඉෂ්ට කරගන්න උත්සහ කළා.
මේ සිද්ධ වෙන දේට ප්‍රධානම හේතුවක් තමයි ලංකාවේ යුක්තිය ඉෂ්ට නොවීම.. එතකොට ලංකාවේ යුක්තිය ඉෂ්ට කරගන්න පුළුවන්නම් පොලීසියේ විමර්ශනවලින් නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පැවරිමෙන්, අධිකරණ ක්‍රියමාර්ග තුළින්. එතකොට මේක අවම කරගන්න පුළුවන් ඉදිරියේදීවත්..ඒක පළවෙනි එක.
දෙවැනි එක තමයි ලංකාවේ දිගටම සිදුවෙන මානව හිමිකම් උල්ලංඝනයවීම්… විශේෂයෙන්ම රජය විවේචනය කරන මාධ්‍යවේදීන්, පොදුවේ අදහස් ප්‍රකාශ කරන අය, නීතීඥයින්, විරුද්ධ පක්ෂ දේශපාලනඥයින් වගේ අයට සිදුවෙන මර්දනය. ඒ වගේම සුළු ජාතීන්ට විශේෂයෙන්ම මුස්ලිම් – දමිළ ජාතිකයින්ට සිදුවෙන මර්දනය. පොදුවේ සිදුවෙන මානව හිමිකම් උල්ලංඝනයවීම් අඩුකරගන්න පුළුවන්නම් මම හිතන්නේ ජාත්‍යන්තර වශයෙන් සිදුවෙන බලපෑම් සොයාබැලීම් නවතී. මේ ටික තමයි අපට කරන්න තියෙන්නේ.
ලංකාවට විරුද්ධව නඩු දානවා කියන එක ගැන සත්‍ය අසත්‍යතාව මොකද්ද?
නෑ එහෙම කිසිම දෙයක් නෑ. ලංකාවට විරුද්ධව නඩු දානවා කියලා නැහැ. ඒ කියන්නේ බොරු. ඒ වුණාට මේ යෝජනාව සම්මත වෙන්න කලිනුත් වසර ගණනාවක් තිස්සේ ලංකාවේ සිද්ධ වෙච්ච අපරාධ සම්බන්ධයෙන් සමහර රටවල නඩු පවරන්න පුළුවන්. ඒක ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. ඉන්දියාවේ සිදුවෙන අපරාධයක් හරි බංග්ලාදේශයේ සිදුවෙන අපරාධයක් හරි වෙන ඕනෑම රටක සිදුවෙන අපරාධයක් ගැන නඩු පවරන්න පුළුවන් කියලා නීති සමහර රටවලට තියෙනවා. ඒක මේ යෝජනාවලියෙන් ආපු දෙයක් නෙමෙයි. ඒක අවුරුදු ගණනාවක් දශක ගණනාවක් තිස්සේ එක එක රටවල නීතිවල තියෙනවා. ඒක ලංකාවට විතරක් බලපාන එකක් නෙමෙයි. අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ දාපු නඩුව ඒකට හොද උදාහරණයක්…ලංකාවේ යුක්තිය ඉෂ්ට වුණානම් 2009-2019 වසර දහයක් ඇතුළේ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළව මම හිතන්නේ නෑ අහිම්සා පෙළඹෙයි කියලා ඇමෙරිකාවේ නඩුවක් දාන්න. ඇමෙරිකාවේ නඩුවක් දාන්න 2019 පෙළඹුණේ ඇමෙරිකාවේ තියෙන නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරමින්.ලංකාව සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. වෙන රටවල් සම්බන්ධයෙනුත් ඇමෙරිකාවේ නඩු පවරලා තියෙනවා වින්දිතයින් පීඩාවට පත්වෙච්ච අය.
ඒක මේ යෝජනාවලියට සම්බන්ධයක් නෑ. සාක්ෂි එකතු කරන්න කියලා තියෙනවානේ මහ කොමසාරිස් කාර්යාලයට. ඒ සාක්ෂි පාවිච්චි කරන්න පුළුවන් වෙනත් රටවල නඩු දැම්මොත්. ඒ නඩු දාන එක තියෙන්නේ වින්දිතයයන් අතේ, වින්දිතයයන්ගේ පවුල් වල අය අතේ, පීඩාවට පත්වෙච්ච අය අතේ. ඒ රටවල තියෙන නීතිමය ක්‍රමවේද අනුව. කළින් ඉඳන්ම එහෙම ක්‍රියාවලියක් තිබුණා. ලංකාවට විශේෂිත වූ එකක්වත් මේ යෝජනාවෙන් පටන් ගත්ත එකක්වත් නෙමෙයි.
දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කියනවා මේ යෝජනාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කරලා කියලා. ඒකේ සත්‍ය තත්ත්වය මොකද්ද?
එහෙම උල්ලංඝනයක් මම දකින්නේ නම් නෑ. එහෙම උල්ලංඝනය කිරීමක් වෙලා තියෙනවානම් ඔය රටවල් 47න් 11යිනේ විරුද්ධ වුණේ. ඒ කියන්නේ 23%ක් විතරනේ. ප්‍රඥප්තිය උල්ලංඝනය වුණානම් ඇයි ඒ අය එකඟ වුණේ. ලංකාව විතරයි කියන්නේ නැත්නම් මේ රටවල් 11 විතරයි විරුද්ධ වුණේ. බහුතරය එනම් සියයට 75කට වඩා රටවල් සංඛ්‍යාවක් කියන්නේ මේකේ ප්‍රශ්නයක් නෑ මේක තමයි අපේ කාර්යභාරය කියලා. මානව හිමිකම් කවුන්සිලයේ මැන්ඩේට් එක කියවලා බැලුවොත්.. ඒක පිහිටෙව්වේ 2006දී. ඒකේ බොහෝම පැහැදිලිව කියලා තියෙනවා මානව හිමිකම් උල්ලංඝනයවීම් වැළැක්වීමට ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. හදිසි අවස්ථාවලදී ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක. මම නම් දකින විදියට එහෙම උල්ලංඝනයක් වෙලා නැහැ. එහෙම උල්ලංඝනයක් වෙලා තියෙනවානම් තියෙන ප්‍රශ්නය තමයි 75%ක රටවල් ප්‍රමාණයක් නිශ්ශබ්දව සිටියේ කියල.
මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය තීරණය කරන්නේ එහෙමත් නැත්නම් බහුතර සාමාජික රටවල් බටහිර රටවල් කියලා මතයක් තියෙනවා. ඒක ඇත්තද ?
මේ රටවල්වලින් බොහෝ සංඛ්‍යාවක් බටහිර රටවල් නෙමෙයි. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47න් රටවල් 07ක් විතරයි බටහිර රටවල්..නැගෙනහිර යුරෝපීය රටවල් 06ක් තියෙනවා.. බහුතරය එනම් 26ක් අප්‍රිකා සහ ආසියාතික රටවල්. මේ රටවල් අප්‍රිකානු, ලතින් ඇමෙරිකානු, අාසියානු මේ හැම රටවල්වලින්ම රටවල් 11ක් විතරයි ලංකා රජයට සහයෝගය පළ ක⁣ළේ. මේකේ දේශපාලනික වශයෙන් ලංකාවේ ආණ්ඩුවට අවාසියක්. ජාත්‍යන්තර වශයෙන් කොන් වීමක්. 47කින් ආසියාතික, අප්‍රිකානු, ලතින් ඇමෙරිකානු රටවල් අති බහුතරයක් මානව හිමිකම් කවුන්සිලයේ රටවල් ලංකාවේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
රටට සම්බාධක දාන්න යනවා කියලා මතයක් සමාජයේ මතුකරමින් තිබෙනවා. ඒකේ සත්‍යතාව ගැන කතා ක⁣ළොත්….?
සම්බාධක පනවන එක ගැන කිසිම දෙයක් මේ යෝජනාවලියේ නැහැ. එහෙම තීරණයක් අරගෙන නැහැ. සම්බාධක පැනවීම ගැන ඕනෑම රටකට පුළුවන් තීරණය කරන්න.
කාගේ හරි ගෙදරකට ආධාර දෙනවනම් එතැනදී දෙන නොදෙන එක තීරණය කරන්න දෙන කෙනාට අයිතිය තියෙනවානේ. ඕනනම් ආධාර දෙන්න පුළුවන්.. ආධාර නොදී ඉන්නත් පුළුවන්.. ඒ ගෙදර හැසිරීම හොඳ නැතිනම් එයාලා ගහගන්නවානම් අසල්වැසියන්ට කරදර කරනවානම් හුඟක් වෙලාවට ආධාර දෙන්න හිතෙන එකක් නෑ. හොඳින් ඉන්නවානම් හැසිරීමත් හොඳනම්, අනික් අයට කරදර කරන්නේ නැත්නම් අවස්ථාව වැඩී ආධාර කරන්න. රටක් ගත්තත් එහෙමයි. රටේ මානව හිමිකම් ආරක්ෂා වෙනවනම් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවනම් සුළුතර ජන කණ්ඩායම්වල අයිතීන් ආරක්ෂා වෙනවනම් වෙනත් රටවල් පෙළ⁣ඹෙනවා ඒ අයට ආධාර කරන්න. එහෙම වෙන්නේ නැත්නම් ආධාර නොකර ඉන්න තීරණය කරන්න තියෙන ප්‍රවණතාව වැඩී. ඒක යෝජනාවේ තියෙන දෙයක් නෙමෙයි. කළින් ඉඳන්ම තිබිච්ච දෙයක්.. ඒකත් ලංකාවට විතරක් නෙමෙයි. පොදුවේ තියෙන ප්‍රවණතාවක් තමයි ඒක.
හැබැයි අනිත් එක තමයි යෝජනාවලියේ නෙමෙයි… මහකොමසාරිස්වරියගේ වාර්තාවේ ජනවාරි මාසයේ නිකුත් කරපු වාර්තාවේ නිර්දේශ කරලා තියෙනවා ලංකාවේ බරපතල ලෙස අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කළායැයි සහ ඒවාට සෘජුවම සම්බන්ධ යැයි කියන පුද්ගලයන්ට නිශ්චිත පුද්ගලයන්ට විතරක් සංචරණ සීමා පනවන්න එහෙම නැත්නම් ඒ අයගේ විදේශ රටවල තියෙන වත්කම් සීමා කරන්න කියලා.. ඒක පොදුවේ ලංකාවට නෙමෙයි. නිශ්චිත පුද්ගලයන්ට විතරයි..සාක්ෂි තියෙන පුද්ගලයන්ට විතරයි. ඒකත් මහකොමසාරිස්වරියගේ නිර්දේශයක් විතරයි. ඒක යෝජනාවලියේ නෑ.
මේ යෝජනාවට එහෙමත් නැත්නම් වගවීමක් ඉල්ලා සිටියේ පක්ෂ දෙමළ ඩයස්පෝරාව විතරක් කියලා මතයක් පවතිනවා.. ඒකේ ඇත්ත තත්ත්වය මොකද්ද?
ඒක බොරු කතාවක්.. මම දැක්කා ලංකාවේ යාපනය-මඩකලපුව වගේ ප්‍රදේශවලත් ඉල්ලීම් කරනවා. මම අර කළින් උදාහරණ කිව්වා. කාදිනල්තුමාත් කිව්වා අවුරුදු දෙකක් ගතවෙද්දිත් පාස්කු ප්‍රහාරයට අදාළ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැත්නම් ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබාගන්නවා කියලා ජාත්‍යන්තර අධිකරණයකට යන්න ලෑස්තියි කියලා… එතුමා දෙමළ ජාතිකයෙක් නෙමෙයිනේ. අහිම්සා වික්‍රමතුංග දෙමළ ජාතිකයෙක් නෙමෙයිනේ. එයා කියලා තියෙනවා තාත්තට යුක්තිය ඉෂ්ට නොවී වසර දහයක්. ඒ නිසා ජාත්‍යන්තර සහයෝගය ලබාගන්න සිද්ධ වුණා කියලා. දෙමළ ඩයස්පෝරාව ගැන ඒ කියන එක බොරුවක්.
ඉදිරියේදී මෙහෙම යෝජනාවක් ලංකාවට එරෙහිව නොඑන්නනම් මොකද්ද වෙන්න ඕනේ?
කාරණා දෙකක් තියෙනවා මේ වගේ යෝජනාවලියක් නොඑන්නේනම්.. එකක් තමයි වර්තමානයේ සිදුවෙන මානව හිමිකම් උල්ලංඝණය වෙන එක නවත්වන්න ඕනේ. අඩුම ගානේ අවම කරගන්න ඕන. විශේෂයෙන්ම වෙනත් මත දරන අයට විරුද්ධව සිදුවන මර්දනය, සුළු ජාතීන්ට විරුද්ධව සිදුවෙන මර්දනය, මානව හිමිකම් උල්ලංඝනය වන එක වළක්වගන්න ඕන. දෙවැනි එක තමයි අතීතයේ සිදුවෙච්ච අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයවීම්වලට ලංකාව ඇතුළේ යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. ඒ දෙක ඉෂ්ට වුණානම් මම හිතන්නේ මේ වගේ යෝජනාවලියක් ඉදිරියේදී එන එකක් නෑ.
Previous articleආගමික හෝ වාර්ගික වශයෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමේ තීරණයක්
Next articleසිංහරාජයට හානියක් නෑ කියා යුනෙස්කෝව කිව්වාද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here