සිංහරාජයට හානියක් නෑ කියා යුනෙස්කෝව කිව්වාද?

සිංහරාජ වනාන්තරයට කිසිදු හානියක් සිදුවී නැතැයි යුනෙස්කෝව ප්‍රකාශ කළ බවට පසුගිය දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරුණ පුවත් අසත්‍ය බව MediaLK කළ සොයාබැලීමකදී තහවුරු විය.
සිංහරාජ වනාන්තරයට කිසිදු හානියක් සිදුව නැතැයි යුනෙස්කෝ සංවිධානය උපුටා දක්වමින් ප්‍රධාන මාධ්‍ය සිදුකළ අසත්‍ය සිරස්තල සහිත වාර්තා පදනම් කරගනිමින් සමාජ මාධ්‍යවල ද අසත්‍ය ප්‍රචාර රැසක් පැතිරෙනු දැකගත හැකිවිය.
“සිංහරාජයට කිසිදු හානියක් සිදුව නොමැති බවට යුනෙස්කෝව කියයි” යන සිරස්තලය සහිතව එම පුවත පළ කර තිබිණි. නමුත් එම ප්‍රකාශය සිදුකර තිබුණේ යුනෙස්කෝ සංවිධානය නොව යුනෙස්කෝ සංවිධානය සමග සම්බන්ධීකරණය කිරීම සඳහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතාය.
එම පුවතේම එක්තැනක එම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව බවට ද සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව යනු ?

ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව (SLNCU – Sri Lanka National Commission for UNESCO moderates Asia-Pacific consultations) යනු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින කොමිෂන් සභාවකි.
එම කොමිසමේ රජය සහ යුනෙස්කෝ සංවිධානය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමයි.
ශ්‍රී ලංකාව තුළ යුනෙස්කෝ සංවිධානයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ රජයේ ආයතනය ලෙස ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව (SLNCU) ක්‍රියා කරයි. 1949 නොවැම්බර් 14 වැනි දින ස්ථාපනය කරන ලද මෙම කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින අතර අධ්‍යාපන අමාත්‍යවරයා එහි සභපතිත්වය උසුලයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා එහි උප සභාපති ලෙස ක්‍රියාකරන අතර මහ ලේකම් වරයා කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරි වේ. යුනෙස්කෝ විෂය පථයට අදාල අමාත්‍යාංශ සහ ජාතික ආයතන වල නියෝජිතයන් ඇතුළු සාමාජිකයන් 35 දෙනකුගෙන් මෙම කොමිෂන් සභාවේ මහ සභාව සමන්විත වේ. මෙම කොමිෂන් සභාවේ ප්‍රධාන ක්‍රියාකාරී අංශ වන්නේ අධ්‍යාපනය, විද්‍යා, සංස්කෘතිය සහ සන්නිවේදනයයි.

දැක්ම

“යුනෙස්කෝ හි සමස්ත දර්ශනයට දායක වෙමින් අධ්‍යාපනය, විද්‍යාත්මක, සංස්කෘතික, සන්නිවේදන හා පාරිසරික විෂයයන් හරහා සාමය හා තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම.”

මෙහෙවර

“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය විසින් ජාති, ලිංග, භාෂා හෝ ආගම් භේදයකින් තොරව ලොව මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සහතික කෙරෙන යුක්තිය, නීතිය, පාලනය, මානව හිමිකම් හා මූලික නිදහස වෙනුවෙන් ගෝලීය ගෞරවය / අභිමානය තවදුරටත් වර්ධනය කරනු පිණිස අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, සන්නිවේදනය හා පාරිසරික විෂයයන් හරහා ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම”

කාර්යයන්

  • දේශීය සංවර්ධන දැක්ම යුනෙස්කෝ නිර්ණායක සමඟ පෙළ ගැස්වීමෙන් ජාතික තිරසාර සංවර්ධනය අත් කර ගැනීම සඳහා අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, ජන සන්නිවේදනය, සමාජ විද්‍යාව සහ පරිසරය යන ක්ෂේත්‍රවලට අදාල සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම පිණිස එක් එක් අමාත්‍යාංශය සමඟ සහයෝගිතාවෙන් හා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම.
  • සාමය සහ තිරසාර සංවර්ධනය සහතික කිරීම සඳහා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන යුනෙස්කෝව සමඟ කටයුතු කරන අනෙකුත් ආයතන සමඟ අත්වැල් බැඳ ගනී.
  • නව සංකල්ප දියත් කිරීමට ප්‍රථමයෙන් දේශීය පාසල් පද්ධතිය තුළ එබඳු සංකල්ප කොතෙක් දුරට සාර්ථකද යන්න පරීක්ෂා කර බැලීම වෙනුවෙන් නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • දේශීය සංවර්ධනය තුළ දේශීය උරුමයන්ට හා නවතාවන්ට ජාත්‍යන්තර කීර්තිය ආරක්ෂාව ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීම.
  • යුනෙස්කෝව හා සබැඳි ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් ජාතික සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා පුහුණු වැඩමුළු මෙහෙයවීමට ක්‍රියා කිරීම.
  • රටට ගැලපෙන යුනෙස්කෝ ගෝලීය සංකල්ප හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට කටයුතු කිරීම

යුනෙස්කෝව

1945 දී ස්ථාපනය කරන ලද එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත නියෝජිත ආයතනයක් වන අතර එහි මූලස්ථානය ප්‍රංශයේ පැරිස් නුවර පිහිටා ඇත. බහු පාර්ශ්වික සංවිධානයක් ලෙස එය ලොව පුරා සාමාජිකයන් 193 දෙනකු හා ආශ්‍රිත සාමාජිකයන් 11 දෙනකු ඒකාබද්ධ කරයි.එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධානයකි. ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව එහි යටතේ පාලනය වන හෝ ඊට අනුබද්ධ ආයතනයක් නොව පෙර කී පරිදි ශ්‍රී ලංකා රජ⁣ය යටතේ පාලනය වන කොමිසමකි.
යුනෙස්කෝව මීට පෙර සිංහරාජය ගැන නිවේදන නිකුත් කර ඇති නමුත් යුනෙස්කෝව මේ දක්වා වර්තමාන සිංහරාජ සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කර නැත.

යුනෙස්කෝවේ ප්‍රමුඛතා

  • සැමට ගුණාත්මක අධ්‍යාපනය තුළින් දැනුම සහ ගුණදම් ඉවැඩි කිරීම.
  • කලාවන් හා සංස්කෘතිය ‍පෝෂණය කිරීම
  • තිරසාර සාමය සහ සමාජ ඒකාබද්ධතාව
  • කාර්මික සහ කෘෂිකාර්මික සංවර්ධනය
  • පාරිසරික තිරසාරබව
  • ක්‍රීඩාව තුළින් යෝග්‍යතාව සහතික කිරීම
  • සන්නිවේදනය සහ තොරතුරු බෙදා හැරීම ශක්තිමත් කිරීම
සිංහරාජය සහ නකල්ස් ලෝක උරුම ගැන පසුගියදා MediaLK කළ විමසීමකදී යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා මෙසේ පැවසීය.
“ලෝක උරුම අඩවියක මිනිස් ක්‍රියාකාරකම් කළොත් ලෝක උරුමය නැති වෙනවා. කිසිම ලෝක උරුම භූමියක ඉදිකිරීම් හෝ සංවර්ධන කටයුතු හෝ කිසිම ක්‍රියාකාරකමක් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා අපි දේශපාලන අධිකාරියට දන්වලා තිබෙනවා. එහෙම වෙන්නෙත් නැහැ. මේ රජය එයට ඉඩ දෙන්නෙත් නැහැ. ජනාධිපතිතුමා ඒ ගැන දන්නවා.
සමහර ස්ථානවල ඉදිකිරීම්, විවිධ කටයුතුවලට අවසර ඉල්ලලා ඉල්ලීම් ඇවිත් තිබෙනවා. එවැනි අවස්ථාවල අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා. අපි ඉතාම තදින් ඉන්නවා. ලෝක උරුම කිසිවක් වනසන්න බැහැ. ජනාධිපතිතුමාත් ඒ මතයේ ඉන්නවා. ලෝක උරුම වනසන්න එපා කියලා ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන්ට දැනුම් දීලා තියෙනවා.”
මේ සම්බන්ධයෙන් පළවූ අසත්‍ය පුවත් කිහිපයක් පහතින්....

ස්වර්ණවාහිනී පුවත්

හිරු පුවත්

Lankacnews

සමාජ මාධ්‍ය 

Previous articleජිනීවා : රටට එරෙහි යෝජනාවක් ද – අපරාධකරුවන්ට එරෙහි යෝජනාවක් ද?
Next articleජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා – ජනාධිපති ගෝඨාභය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here