විදුලි වැටට කෝටි ගණන් වැය කළත් අලි-මිනිස් ගැටුමට තාම විසඳුමක් නෑ – කෝපාවේදී හෙළි වෙයි 

අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා විදුලි වැට ඉදිකිරීමට කෝටි 49ක් වැය කළද අලි මිනිස් ගැටුම මෙතෙක් අවම වී නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය වී තිබේ.
අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා 2019 වසරේදී සහ 2020 ව⁣සරේදී රුපියල් 49 කෝටියක් වැය කර තිබුණද අලි මිනිස් ගැටුම අවම වීමක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තුවේදී ඉකුත් 25 වැනිදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
අලි මිනිස් ගැටුම් වැලැක්වීම සඳහා 2019 දී විදුලි වැට ඉදිකිරීමට වැය කරන ලද වියදම රුපියල් 275,447,639ක් බවත් 2020 දී ඒ සඳහා වැය කළ මුදල රුපියල් 221,505,818 ක් බවත් එහිදී හෙළි වී තිබේ. මෙම මුදල වැය කොට ඉදි කරන ලද විදුලි වැටේ සම්පූර්ණ දිග ප්‍රමාණය කිලෝමීටර් 4,756කි.
එසේ වුවත් 2021 වර්ෂයේ මාර්තු 23 වන විට ලංකාව තුළ අලි මිනිස් ගැටුම් හේතුවෙන් මිනිස් මරණ 28ක් සහ අලි මරණ 83ක් වාර්තා වී ඇති බව හෙළිදරව් වී තිබේ.
මෙම රැස්වීමට කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක,නිරෝෂන් පෙරේරා, මොහොමඩ් මුසම්මිල්, එස් ශ්‍රීධරන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, ආචාර්ය හරිනි අමරසූරිය සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මුතුරාජවෙල සුරැකීමේ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක්ද සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් පිළිබඳ සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව ඉකුත් දෙසැම්බර් 09 වැනිදා සහ පෙබරවාරි 23 වැනිදා පැවති කෝප් කමිටු රැස්වීම් වෙත කැඳවිණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් අවම කිරීම සම්බන්ධව ඉදිරිපත්ව ඇති නිර්දේශ කෝපා කමිටුවේදී අවධානයට ලක් වෙමින් පවතී.
අලි-මිනිස් ගැටුම් හේතුවෙන් පසුගිය 2019 වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු සහ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බව මීට පෙර පැවති ගිණුම් කාරක සභාවලදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම සම්බන්ධව පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා ලබාදුන් පර්යේෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මෙම කරුණු අනාවරණය වී තිබිණි.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් බවද අලි මිනිස් ගැටුම් හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් සංඛ්‍යාව 85 ක් බවද ගණන් බලා තිබුණද මෙම ප්‍රමාණය සැලකිය යුතු අන්දමින් ඉහල යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු යැයි පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම අදහස් දක්වමින් සඳහන් කර තිබේ.
අලි මිනිස් ගැටුම් නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පසුගිය දෙසැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති කෝපා කමිටුවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම් නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවද එහිදී අවධාරණය විය.
Previous articleජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා – ජනාධිපති ගෝඨාභය
Next articleදින 90කට – 53කට පසු මාවනැල්ලෙන් එළියට ආ කොරෝනා මරණ දෙකක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here