බහු ආගමික රටක කිසිම ආගමකට ප්‍රමුඛතාව නොදිය යුතුයි – වනවාසී රාහුල හිමි

(හසරිඳු රාජපක්ෂ)
බහු ජාතීන් වෙසෙන රටක, බහු ආගම් අදහන රටක කිසිම ආගමකට ප්‍රමුඛතාව නොදිය යුතු බව වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති.
බහු ආගම් අදහන පුද්ගලයින් සිටින ප්‍රදේශයක එක් ආගමකට පමණක් ප්‍රමුඛස්ථානය ලබාදීමෙන් ගැටුම් සහ සිත්රිදවීම් වැඩිවන බවද උන්වහන්සේ පෙන්වාදෙති.
නාමල් උයන පාරිසරික කාලය සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස ආරක්ෂා කර මෙම වසරට වසර 30 ක් සම්පුර්ණ වන අතර මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකදී උන්වහස්සේ මේ බව සඳහන් කළහ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු රාහුල හිමියෝ,
“පරිසරය වෙනුවෙන් වැඩ කරනවා වගේම, මම ඍජුව කතාකරන එක මගේ හැටි. කාටවත් බය වෙන්න මට උවමනාවක් මට නැහැ. කොහොමත් මම කැලේ ඉන්නෙ. සතා සිවුපාවත් එක්ක ජීවත් වෙන්නේ. ආයෙ කාටද බයවෙන්නෙ. මට කාටවත් බැඳීමක් නෑ. මට බැඳෙන්න දෙයකුත් නෑ. රකින්න තියෙන්නේ නාමල් උයන විතරයි. වෙන රැකෙන්න දෙයක් මට නෑ. භික්ෂූ නායකත්වය මේ රටේ ප්‍රභලව ස්ථාපිත වුණු දෙයක්. මම ජාතිවාදී හෝ ආගම්වාදී චරිතයක් නෙමේ. මම දකින්නෙ හැම තිස්සෙම මේ රට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියල්ලන්ම එකට ඉන්න ඕනෙ කියන එකයි. ඇත්තටම අද රටක සංවර්ධනයකුත් නෑ. ජීවත්වෙන්න පුළුවන් කමකුත් නෑ. අපි ඉපදුනාට පස්සෙනේ ජාතීන් ලෙස වෙන් වෙන්නේ. තමන්ගේ ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් සාමයෙන් හැමදෙනාටම ජීවත්වෙන්න පරිසරය හදන්න ඕනෙ. ඒක රජයක වගකීම. මගේ අදහස බහු ජාතික රටක, බහු ආගම් අදහන රටක කුමන ආගමකටවත් ප්‍රමුඛතාව දෙන්න හොඳනෑ කියන එකයි. එතකොට වාර්ගික, ආගමික ගැටුම් කෙළවරක් නෑ. කිසිම ජාතියකට, ආගමකට ප්‍රමුඛතාව දෙන්න හොඳ නෑ කියන මතයේ තමයි මම දිගටම ඉන්නේ. ශ්‍රී ලාංකිකයින් ලෙසයි හැමෝම නැගී සිටිය යුතුයි.
හිතන්න…සුද්දා ගිහිල්ල අවුරුදු 72 ක් ගෙවිලත් මොකද්ද අපිට වෙච්ච සුගතිය. හැමදාම ණයයි. සුද්දා දීල යනකොට තිබුණ තත්ත්වේ තිබුණත් අද ඒත්  හොඳයි. ඒකත් නෑ. සුද්දා රට කෑවා තමයි. ඒත් භෞතික සංවර්ධනය අතින් අදට වඩා එදා ඇත්තටම හොඳයි. අද දේශීය ආර්ථිකයක් නෑ.. ජාතික ප්‍රතිපත්තියක් නෑ…මොකුත්ම නැති රටක්…හැමදාම කරන්නේ දුප්පත් මිනිස්සු ඡන්දේ දෙනවා, පවුල් දෙක තුනක් හරි මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් හැමදාම බලය අරන් ප්‍රාඩෝවල යනවා. අපි පැත්තක ඉඳන් සැලියුට් දානවා. ඒ වගේ ගොන් මිනිස්සු ඉන්න රටක් මේක. ඉතින් කෙළින් කතා නොකර පුළුවන්ද…? ජාති, ආගම් භේද ඇතිකරන්නෙත් මේ දේශපාලකයෝනේ. ඊට පස්සෙ හාමුදුරුවරු, වෘත්තීය සමිතිකාරයෝ තමයි රට කන්නේ. මේ තුන්ගොල්ලම එකයි.
ඔබවහන්සේ විසින් 1991 දී ජාතික නාමල් උයන ආරම්භ කළා. මේ වනවිට ඊට වසර 30ක් ගතවෙලා. ඒ අතීතය මතක් කළොත්?
මේ වසර 30 තුළ මම අහස උසට චෛත්‍ය, පිළිම හදල නෑ. මම පෞද්ගලිකවම ඒකට එකඟ නෑ. නමුත් මම මේ ලෝකෙට මේ රටට උතුම් වූ ශුද්ධ වූ පරිසරයක්, අක්කර 2000 ක් පමණ වූ ඔක්සිජන් ගබඩාවක් ආරක්ෂා කරල දීල තියනවා.
ඒ වගේම අනාගත දරු පරපුරට මේ අගනා භූමිය දැකල, බලල විඳල යන්න පුළුවන් විදිහට අවශ්‍ය පරිසරයක් මම හදල, ඉතිරිකරල දීල තියනවා. අනිත් එක ලෝකයේ භෞතික අභෞතික සම්පත් ඇතිවෙලා යනවා, නැතිවෙලා යනවා, ඒක තමයි යථාර්තය, ලෝක ස්වභාවය. මේ සියලු දේවල් එහෙම තමයි. ඉතිං අපි ඒක තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. ස්වභාව ධර්මය නමැති අම්මා තමයි අපි වදාපු අම්මටත් වැඩිය අපේ ජීවිතයේ වටිනාම වස්තුව කියන එකයි මම පෞද්ගලිකව දරන මතය. මොකද අපි හුස්ම ගන්න පුංචි හුස්ම පොද නැති වුනොත් අපේ ජීවිත ඔක්කොම ඉවරයි. කිවුම්, කෙරුම් අවසානයි. හුස්ම පොද ඉහළට පහළට ගන්න වාරයක් පාසා සොබාදහම නම් අම්මා, එහෙමත් නැතිනම් මේ පරිසරය තමයි ඒකට පිහිට වෙන්නේ. ඉතිං ඒක නිසා මම වදාපු අම්මටත් වඩා සොබාදහම නමැති අම්මා ගැන තමයි විශ්වාසයක් හා ගෞරවයක් තියෙන්නේ. අපි ස්වාභාවධර්මයේ නිර්මාණ. මේ යථාර්තය තේරුම් අරගෙන අපි කටයුතු කරන්න ඕන. ඒ සඳහා තමයි මේ වසර 30 මම ගතකළේ. ආපහු හැරිල බලනකොට ඒ වගේ නිහතමානී සතුටක් මට දැනෙනවා, මම මේ වගකීම හරි හැටි කරානේ කියල. ඒ වගේම නාමල් උයන ආරම්භක දිනයේ පටන් දිවයින පුවත්පත, හිටපු කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතා ප්‍රමුඛ කතෘ මණ්ඩල සාමාජිකයින් දැක්වූ කැපවීම නිසා තමයි මම අද මෙතන ඉන්නෙ. ඒකත් කිසිදා අමතක කරන්න බෑ….
තිස්වැනි සැමරුම සඳහා ඔබවහන්සේගේ සූදානම කෙබදුද?
ජාතික නාමල් උයන, එහෙමත් නැතිනම් මේ සුවිසල් නා වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් හැටියට ගැසට් කරලයි තියෙන්නේ. වර්තමානයේ රට පුරා සිදුවන කැලෑ කැපීමත් එක්ක මෙවන් රක්ෂිත වනාන්තරත් හානි වෙමින් තියෙනවා. ඒ නිසා 30 වැනි සංවත්සරයේදී මම බලාපොරොත්තු වන්නේ ජාතික උරුම වන භූමි පනත ප්‍රකාරව ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික උරුම වනාන්තරය බවට නාමල් උයන ප්‍රකාශයට පත්කරවා ගැනීමයි. ඒ වගේම හිතන්න…ආඩියාගල ටැම් ලිපිය ලෝකයටම එකයි. නාමල් උයනට එන පාර මැද්දෙ තියෙන්නේ. එතන තමයි නාමල් උයනේ අතීත සීමාව. ඒකත් එක්ක ජාතික නාමල් උයන ජාතික උරුමයක් බවට පත්කරන්න කටයුතු අපි කරගෙන යනවා. මානව අයිතීන් ගැන අද ලෝකයේ මිනිස්සු අපට උගන්වන්න ආවට, ඉස්සර අපේ මිනිස්සු තමයි ලෝකෙට මානව අයිතිවාසිකම් ගැන උගන්වලා තියෙන්නේ. මේ ටැම් ලිපියෙන් කියන්නේ මිනිස් අභයභූමියක් මෙතැන තිබුණු එක ගැන. රාජ්‍ය නියෝගයකින්වත් නාමල් උයනේ හිටපු කෙනෙක් අත්අඩංගුවට ගන්න බැහැ එහි වැඩ සිටි හාමුදුරුවන්ගෙන් අවසර නැතිව කියන එකයි මේ ටැම් ලිපියේ තියෙන්නේ. අපේ රජවරු පවා එදා මානව හිමිකම් ගැන ලෝකෙට කියල දීල තියනවා. ඒ විතරක්ද ලෝකයේ පළමු අභයභූමිය හමුවන්නෙත් ඉතිං අපේ රටෙන්නෙ.
ඒ වගේම රෝස තිරිවානා නිධියක් එක තැනක කන්දක් හැටියට ලංකාවටම තියෙන්නෙත් මෙතන විතරයි. ඒකෙ පෞරාණික වටිනාකමත් එක්ක ඒකත් ජාතික සම්පතක් හැටියට ප්‍රකාශයට පත්කරන්න පුළුවන්. ඒ වගේම නාමල් උයනේ ජෛව විවිධත්වය මිල කළ නොහැකි මට්ටමක තියෙන්නේ. ඒ නිසා නාමල් උයන ජාතික උරුමයක් කරන්න පුළුවන් සියලු සුදුසුකම් සපුරා තියනවා. 30 වැනි සංවත්සරයට සමගාමීව ඒ කටයුතු සිදුකෙරෙනවා. ඒ වගේම 28 වැනිදාට යෙදෙන ජාතික නාමල් උයන දිනය වෙනුවෙන් සෑම රාජ්‍ය ආයතනයකම පැළයක් රෝපණය කරන්න පරිපාලන අමාත්‍යංශය හරහා කටයුතු කරල තියෙනවා.
නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට ලබාදීමේ අරමුණ ගැන කතාකළොත්?
ඒක තමයි අතහැරීම, පරිත්‍යාගශීලී බව. පරිසරයට අනුගතවීම. මිනිස්සුන්ගේ කාය ශක්තිය ඥාණ ශක්තිය හැමදාම තියෙන්නේ නෑනෙ. මේවා වයසට යනවා. ඒ නිසා මම කල්පනා කළා මගෙන් පස්සෙ මෙතන හරිහැටියට දෙයක් නොකර තිබුණොත්, මෙරටේ ජනතාවට සහ සොබාදහමට මම කරන ද්‍රෝහීකමක් කියල. ඒ නිසා මම තීරණය කළා අරමුදලට භාරදීල, ස්ථාවරත්වයක් හදන්න. ජාතික උරුමයක් කරලා දුන්නොත් මගේ සියලු බලාපොරොත්තු ඉටුවෙනවා, මට ඒ ඇති. මේ වනවිට සංස්කෘතික අරමුදලෙන් නාමල් උයනේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදුකරනවා. ගිවිසුමක් මගින් මගේ භාරයේ තිබුණු සියලු චංචල, නිශ්චල දේපළ නීත්‍යනුකුලව අරමුදලට පවරා දුන්නා. මම වස්තු තණ්හාකාරයෙක් නෙමේ. මම හිතන්නේ නෑ, මේ වගේ සල්ලි උල්පතක් කිසිවකු විසින්, කිසිම භික්ෂුවක විසින් රජයට පවරාදෙයි කියල. නමුත්, බුදුදහමේ තියෙන තණ්හාව මම දුරුකළා. අත්හැරීම මම ප්‍රගුණ කළා. ඒකයි එහෙම සිදුවුණේ.
මා නියෝජනය කරන්නේ බුදුන්වහන්සේ සහ සත්‍යවූ බෞද්ධ දර්ශනය. පරිසරය කියන්නෙත්, සොබාදහම කියන්නෙත් බෞද්ධ දර්ශනයම තමයි. දැන් රටේ කතාකරන්නේ, ක්‍රියාකරන්නේ සත්‍ය වූ බෞද්ධ දර්ශනය නෙමෙයිනේ. බුදුන්වහන්සේ දුෂ්කරතා විඳ සොයාගත් ඒ බෞද්ධ ගමන් මග අනුව කල්පනා කරල බලනකොට අද මේ ධර්මය වෙළෙඳාමක් නැතිනම් මාකටිං වෙලා තියෙන්නේ. ආගම දහම වෙනුවෙන් මට ලොකු දෙයක් කරන්න බැරි වුණාට, බුදුදහම අනුව අල්පේච්ඡ ජීවිතයක් ගතකරන හැටි, අත්හැරීම කියන එක ප්‍රයෝගිකව කරන්නෙ කොහොමද, පරිසරයට, සතා සිව්පාවාට ආදරය කරමින් ගහ කොළ රැකගන්නේ කොහොමද කියන එක ගැන මම ලෝකෙට කියල දුන්නා. ඒක තමයි මගේ ජනප්‍රියතාවට මුල. ඒ වගේම අවංකකම, ඍජු බව, නායකත්වය, දේශපාලකයින්ගෙන් වැඩගන්න හැටි මම ලෝකයට කියල දුන්න. අනික හිතවත්කම, මිත්‍රශීලී බව, ප්‍රසන්න බව, පරිත්‍යාගශීලී බව මේවා බෞද්ධ භික්ෂුවක් ළඟ තියෙන්න ඕන ලක්ෂණ. මට මේ සියල්ල ඇති. ඒ නිසයි මට හැමදෙනාම ආදරය කරන්නේ. මට බැන්නත් මගේ වැඩේ මම කරගෙන යනවා.
ඒවගේම වනාන්තරේ අයිතිකරු මම නෙමේ. මේකෙ මුරකරුවෙක් විතරයි මම. මේක මට අයිති දෙයක් නෙමෙයි. මම මෙතන ඉන්නෙ මැරෙනකන් විතරයි. ඒ නිසා ශිෂ්‍ය පරපුරක්, භික්ෂු පරපුරක් නාමල් උයනේ ස්ථාපිත කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙම වෙන්නෙත් නෑ.
වර්තමානයේ රටපුරා වන විනාශ, පරිසර හානි වාර්තා වෙනවා. ඒ ගැන ඔබවහන්සේගේ අදහස මොකක්ද.? පරිසරවේදියෙක් විදිහට මේවට මැදිහත්වෙන්න උවමනාවක් නැද්ද?
මේවා සිදුවන්නෙ දේශපාලන හෙංචයියන් නිසා. සමහරවිට මේ විනාශයන්ට මැදිහත් වෙන්නේ බලය ගත්ත අවස්තාවාදීන්. ඒවගේම රාජ්‍ය නිලධාරීන් ළඟ ත්‍රස්තවාදයත් තියනවා. මේ විනාශවලට රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහය, රැකවරණය ලැබෙනවා. ඕකයි ඇත්ත. නිලධාරීන් කෙළින් වැඩකරනවානම් මේ විනාශය අඩුයි. රටක් සංවර්ධනය වෙන්න ඕනෙ තමයි. පරිසරය හානිකරමින් දිගින් දිගටම කරන සංවර්ධනයට දිගටම යන්න බෑ. පරිසරය නැති දාට ඔක්කොම ඉවරයි. ඒ ගැන හැමෝම දැනගත යුතුයි. අනික ඉපදිලා ඉන්න මිනිස්සුයි, උපදින්න ඉන්න මිනිස්සුයි ණයකාරයෝ කරලා තමයි රට සංවර්ධනය කරනවා කියල කියන්නේ. ඒක එහෙම වෙන්න බෑ. රටකට ඔරොත්තු දෙන සංවර්ධන ව්‍යාපෘති ඕනෙ කරන්න. ඒක රාජ්‍ය පාලකයින්ගේ සහ නිලධාරීන්ගේ වගකීම. අනික කවුරු බලයට ආවත්, කාටවත් අයිතියක් නෑ රට බදු දෙන්න, රට විකුණන්න. එයාල මුරකාරයෝ විතරයි. මම නාමල් උයන රකිනවා වගේ. කිසිදු දේශපාලකයකුට හරි කළමනාකරණයක් සහ දැක්මක් නෑ. තමන්ගේ බඩ වඩාගන්න හැමෝම කටයුතු කරන්නේ. ඒ තුළ, මෙහෙම ගියොත් රට කාන්තාරයක් බවට පත්වෙනවා අනිවාර්යයි. පරිසරය නොරැක්කොත් පැවැත්මක් නෑ…ඒක කවුරු කවුරුත් දැනගන්න ඕනෙ.
රටේ භූමි පරිහරන සැලැස්මක් හදන්න ඕනෙ. ගමටත් තට්ටු නිවාස ක්‍රමය ගෙනෙන්න ඕනෙ. පරිසරයට, ගහට කොළට වැඩිපුර ඉඩක් දෙන්න අනාගත සැලසුම් සකස්වෙන්න ඕනෙ.

Previous articleඑක රටක් – එක නීතියක් කියලා ආවෙ නීති කඩන්නද ? – විදුහල්පතිවරු චෝදනා කරති
Next articleජනාධිපතිගේ පළිගැනීම් කොමිසමට එරෙහිව පෙත්සම් පහක් අභියාචනාධිකරණයට !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here