එක රටක් – එක නීතියක් කියලා ආවෙ නීති කඩන්නද ? – විදුහල්පතිවරු චෝදනා කරති

(හසරිඳු රාජපක්ෂ)
විදුහල්පති සේවා ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් බාහිර පුද්ගලයින් විදුහල්පති සේවයට බඳවාගැනීම සඳහා ආණ්ඩුව තීරණය කළද එලෙස විදුහල්පති පත්වීම් ලබාදිය නොහැකි බවත් ඊට ගුරු විදුහල්පති සියලු සංගම් විරුද්ධ බවත් ශ්‍රී ලංකා වෘත්තියවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති සුගීශ්වර විමලරත්න මහතා සඳහන් කරයි.
එක රටක් එක නීතියක් ක්‍රියාත්මත කිරීමට පැමිණී ආණ්ඩුවම නීති උල්ලංඝනය කරමින් සිටින බව ඔහු පවසයි.
මින් ගුරුසේවයේ සිටින උගත් දක්ෂ තරුණ තරුණියන් 4600කගේ අවස්ථාව මගහැරෙන බවද ආණ්ඩුව මෙය සිදු කරන්නේ ඡන්ද බලාපොරොත්තුවෙන් නම් අධ්‍යාපනයට මෙමගින් කරන විනාශය නිසා ඊට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් අහිමිවෙන බව ද ඔහු පෙන්වා දෙයි. අධ්‍යාපනයට දේශපාලනික නිලධාරීන් පත් නොකරන්නැයි ද ඔහු ඉල්ලා සිටියි.
හෙතෙම මේ බව පැවසුයේ මතුව ඇති විදුහල්පති අර්බුදය සම්බන්ධයෙන් කළ විමසීමේදීය.
විමලරත්න මහතා මෙසේද පැවසීය.
“ශ්‍රී ලංකා විදුහල්පති සේවයට නිලධාරීන් බඳවාගැනීම සඳහා වෙනම ක්‍රමවේදයක් තිබෙනවා. නමුත් සේවා ව්‍යවස්ථාවට පරිබාහිරව ගුරුසේවයේ 4600ක් පමණ අනීතිකව විදුහල්පති සේවයට ඇතුළත් කරගන්න රජය විසින් මාර්තු පළමුවැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා එහෙම විදුහල්පති පත්වීම් දෙන්න බැහැ. ඒකට සියලු විදුහල්පති සංගම් සියලු ගුරු සංගම් තරයේම විරුද්ධයි. මොකද වැඩබලන විදුහල්පතිවරුන් 4600 ක් නැහැ. එහෙමනම් මේ බඳවාගන්න යන්නේ කවුරුන්ද කියන ප්‍රශ්නය තිබෙනවා.
ජනාධිපතිතුමාගෙන් අපි බලාපොරොත්තු වුණේ නීතිය සහ යුක්තිය රජයන රටක්. එහෙම රටක් ගොඩනගන්න තමයි විද්වත් වෘත්තික සංවිධාන හදාගෙන අතිබහුතරයක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ. නමුත් ආණ්ඩුවම තිබෙන නීති උල්ලංඝනය කරලා සේවා ව්‍යවස්ථාවට පටහැනිව කිරි කළයට ගොම බිංදුවක් දාගත්තා වගේ වැඩක් තමයි මේ කරන්න යන්නේ. මේ කටයුත්තට දැඩිසේ විරුද්ධයි. ගුරුසේවයේ ඉන්න උගත් දක්ෂ තරුණ පිරිස් 4600 කගේ අවස්ථාව මේ තීරණය නිසා මගහැරෙනවා. ආණ්ඩුව මේ වැඩේ කරන්නේ ඡන්ද බලාගෙන නම් ඒ හිතනවාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් අධ්‍යාපනයට කරන මේ විනාශය නිසා අහිමිවෙන බවත් අපි ආණ්ඩුවට කියන්න කැමතියි. අධ්‍යාපන ඇමතිතුමා ලේකම්තුමා දෙදෙනාම මහාචාර්යවරු. උගත්තු ලෙස පිලිගන්නා අය. ඔවුන් මේ තීරණය ක්‍රියාත්මක කරයි කියලා අපි හිතන්නේ නැහැ. අධ්‍යාපනයට දේශපාලනික නිලධාරීන් පත්කරන්න එපා කියලායි අපි ඉල්ලන්නේ.
විදුහල්පති සේවාවේ ප්‍රබලම ගැටලුවක් වී තිබෙන වැටුප් විෂමතාවය ගැන මුලින්ම කතාකළොත්?
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සේවා කිහිපයක් තිබෙනවා. අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශන සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය කියන මේ සේවා ඒ අතරට අයිතිවෙනවා. මෙයින් විදුහල්පති සේවයට බඳවා ගන්නේ සීමිත විභාගයකින් පමණයි. එම විභාගයට ඉදිරිපත්විය හැක්කේ ගුරුවරුන්ට පමණයි. ඒ අතරේ ලංකාවේ තිබෙන පාසල් සියල්ලටම නායකත්වය දරන්නේ මේ විදුහල්පති සේවාවේ විදුහල්පතිවරුන්.
දෙලක්ෂ හතලිස්දාහක් පමණ වුණ ගුරුවරුන්ගෙත් 16512 වු විදුහල්පති නිලධාරීන්ගෙත් වැටුප් විෂමතාවයක් තිබෙනවා. ඒ කියන්නේ මේ සේවාවල තනතුරට ගැලපෙන රාජ්‍ය සේවයේ අනිකුත් සේවාවන් සමග සමාන්තරව බලන විට බඳවාගැනීමේ සුදුසුකම් සහ සේවයේ කාර්යභාරය සලකා තනතුරට ගැලපෙන වැටුපක් නොලැබීමේ ගැටලුවක් තිබෙනවා. මේ රජය පත්වෙන්නත් කලින් ඉඳන්ම මේ ගැටලුව තිබෙනවා. නමුත් පසුගිය ආණ්ඩු කාලයේදීත් එය විසඳුනේ නැහැ. මේ රජය බලයට එද්දි ගුරු විදුහල්පති සේවා සංවෘත්ත සේවාවක් කරන බවටත් පළමු අයවැය ලේඛනයෙන්ම ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන බවට පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයට වාසිදායක වීම සඳහාත් යොදවා ගත්තා. නමුත් මේ ආණ්ඩුව කියපු විදිහට පළමුවැනි අයවැයෙන් ඒ කාරණය සිදුවුණේ නැහැ. වැටුප් විෂමතාවය එතනමයි.
මේ වැටුප් විෂමතාවය මොකද්ද කියලා මම තවත් සරලව පහදන්නම්. ගුරු සේවයේ අවුරුදු 07 වැඩි කාලයක් ඉදලා විදුහලපති සේවයට එන්නේ. එහෙම එන්න උපාධියක් තිබීම, පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් අනිවාර්යයි. මේ සුදුසුකම් සම්පුර්ණ කරගෙන තරග විභාගය සම්මුඛ පරීක්ෂණ මේ හැමදේටම මුහුණ දීලා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට පත්කරනවා. ඒත් වැටුප රුපියල් 35 280 යි. ඒ තරම් පහල වැටුපක් තමයි විදුහල්පති සේවයේ නිලධාරියෙකුට තිබෙන්නේ.
නමුත් රාජ්‍ය සේවයේ වර්ගීකරණයට ඇතුලේ ප්‍රාථමික, ද්වීතිය, තෘතීය සහ ජ්‍යෙෂ්ඨ කියලා කොටස් හතරකට බෙදනවා. මේ අතරින් තෘතීය හෙවත් මාණ්ඩලික සේවා යටතේ විදුහල්පති සේවය ස්ථාපිත කර තිබෙනවා. මේ යටතේ ක්ෂේත්‍ර නිලධාරීන්, කළමණාකාර සහකාර, හෙද සේවය, පොලිස් පරීක්ෂක, උප පොලිස් පරීක්ෂක ආදිය මේ අතරට අයත් වෙනවා.
නමුත් මේ අතරින් විදුහල්පති සේවයේ නිලධාරියාට වැටුප පමණයි ලැබෙන්නේ. අතිකාල දීමනා, දුරකතන දිමනා, සංග්‍රහ දීමනා නිල නිවාස, වාහන, ඉන්ධන, රියදුරන්, ආරක්ෂකයින් ආදී මේ කිසිවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපිව ඇතුළත් කර තිබෙන සේවාවේ සිටින අනුකුත් ක්ෂේත්‍රවල නිලධාරීන්ට ඒ දේවල් ලැබෙනවා.
මේ වෙනුවෙන් ඔබේ ඉල්ලීම් මොනවාද?
මේ නිසාම අපිට තිබෙන කාර්යභාරය වර්ගීකරණය කරලා අපි රජයට ඉල්ලීම් 02 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉල්ලීම් සම්බන්ධයෙක් මේ මාසය ආරම්භයේදීම අමාත්‍යාංශය සමග සාකච්ඡා කළා.
ඒ තමයි 3/2016 වැටුප් චක්‍රලේඛය අනුව රාජ්‍ය සේවය පිහිටුවා තිබෙන මට්ටම් අතරින් විදුහල්පති සේවය තෘතීය මට්ටමේ සිට ජ්‍යෙෂ්ඨ මට්ටමට උසස් කරන්න කියලා අපි යෝජනා කළා. රේඛීය කළමණාකරුවෙක් වුණ විදුහල්පති සේවයේ නිලධාරීන් තෘතීය මට්ටමේ රදවා තැබීම අසාධාරණයක්. අපිට තිබෙන වගකීම් දෙස බැලුවිට එය පැහැදිලිවම සනාථ වෙනවා. මේ නිසා විදුහල්පති සේවාව ජ්‍යෙෂ්ඨ මට්ටමට උසස් කරන්න කියලා අපි ඉල්ලුවා.
ජ්‍යෙෂ්ඨ මට්ටමට උසස් කරලා එහි පහළම වැටුප වන එස්එල්01 (SL01) වැටුප දෙන්න කියලා අපි යෝජනා කරලා තිබෙනවා. මේ වැටුප් ක්‍රමයට අනුව තුන්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුට රුපියල් 47615 ක් දෙවැනි ශ්‍රේණියේ නිලධාරියකුට රුපියල් 62595 ක් පළවැනි ශ්‍රේණියේ නිලධාරියෙකුට 76175 ක් ලැබෙනවා. මේ වැටුප් ක්‍රමයට අනුව අපි විසින් ඉල්ලුම් කරන දුරකථන දීමනාව සංග්‍රහ දිමනාව ගමන් වියදම් දීමනාව සහ විදුහල්පති සේවයට හිමිව තිබු පසුව අහිමි කළ වාහන බලපත්‍රය ලබාදෙන්න කියලා අපි ඉල්ලීම් කරනවා. ඒ ඉල්ලන්නේ මේ වැටුපට හිමි වරප්‍රසාද ලෙසයි.
ඔබලාගේ ගැටලු සම්බන්ධයෙන් ඇමතිවරයා සහ අමාත්‍යාංශය සමග සාකච්ඡා කළ බව ඔබ පැවසුවා. එයින් යහපත් ප්‍රතිචාර ලැබුණාද?
ගුරු විදුහල්පති සංගම් 11 ක් අපි නියෝජනය කරනවා. මේ සියලු නියෝජන එක්ව අපේ සේවාවන් සම්බන්ධයෙන් යෝජනාවලියක් නිර්මාණය කළා. ඒ යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශය සමග සාකච්ඡා කළා. අපේ ඉල්ලීම් වැටුප් කොමිසමට ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍යවරයා සහ ලේකම්වරයා අපිට දැනුම්දුන්නා. මේ නිසා වැටුප් කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ වැටුප් ක්‍රමය අනුමත වන තුරු අධ්‍යාපන අමාත්‍යාංශය එකඟ වුණ අතුරුවැටුප් යෝජනාවක් තිබෙනවා. ඒ යෝජනාව ඉක්මණින් ක්‍රියාත්මත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ බලාපොරොත්තුව දීර්ඝ කාලයක ඉදන් තිබෙනවා. තවම ඉටුවෙලා නැහැ.
අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ගැලපෙන සුදුසුම පිරිසක් සම්බන්ධ නොවුණහොත් සිදුවන විනාශය ගැනත් කතාකළොත්?
අධ්‍යාපනය කියන්නේ පුළුල් ලෙස ව්‍යාප්ත වු කරුණක්. එවැනි තැනකට නායකත්වය දෙන පුද්ගලයා ප්‍රතිපත්ති ගරුකව ඒ තනතුරුවලට ආවොත් විතරයි ඔහු මේ රටේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ. පස්සේ දොරෙන් ඒ තනතුරුවලට අවොත් ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම වෙනුවට තමන් ඒ තනතුරට පත්කරපු පුද්ගලයෝ ආරක්ෂා කරන්න වෙනවා. එතකොට තනතුරුවලට පත්කරන පුද්ගලයෝ පාසල් ගිහින් තියෙන්නත් පුළුවන්, 08 වැනි ග්‍රේණිය පාස් කරනු අය වෙන්නත් පුළුවන් අධ්‍යාපනයක් ලබලා නැති අය වෙන්නත් පුළුවන්. මේ රටේ අනාගතය දකින්න ඉන්න දරුවන් මෙහෙයවන කෙනෙක් බවට එවැනි කෙනෙක් පත්වුණොත් ප්‍රතිපත්ති වලින් බැහැර ආයතනයක් එතැන හැදෙන්නේ. එතැනින් බිහිවන දරුවා තුළ විධිමත් නායකත්ව ලක්ෂණ දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙම වු⁣ණොත් රටේ අධ්‍යාපනය විනාශ වෙනවා.
මේ ඉල්ලීම් වලට විසඳුම් නැතිවුනොත් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
වෘත්තිය සමිති ලෙස අපේ තිබිය යුතු ශීලාචාරීත්වය තියාගෙන සම්මත ක්‍රමයට ප්‍රශ්නය විසඳාගන්න අපි උත්සහ කරනවා. ඒව ගේම වැටුප් කොමිසම සමග සාකච්ඡා කරලා මේ සියලු විදුහල්පති සංගම්වලට මේ ප්‍රශ්නය දිනාගන්න පුළුවන්වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම එයට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සහයෝගය දිලා අපේ අපේක්ෂාව ඉෂ්ඨ කරයි කියලා අපි විශ්වාස කරනවා. අපේ ප්‍රශ්න විසදුනේ නැතිනම් අපිට සිදුවී තිබෙන අසාධාරණය අනුව නීති ක්‍රියාමාර්ග වලට යනවා.
Previous articleක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : ගෝඨාගේ ඡන්ද පොරොන්දුවට මොකද වුණේ ?
Next articleබහු ආගමික රටක කිසිම ආගමකට ප්‍රමුඛතාව නොදිය යුතුයි – වනවාසී රාහුල හිමි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here