ජනමාධ්‍ය රියැලිටි අයියලා හා කළු ජනවාරිය…

ජනමාධ්‍යට එරෙහි අපරාධවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් සිදුව ඇති කාලය නම් වසරක ආරම්භය වූ ජනේරුවයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමත් ඇතුළුව මාධ්‍යවේදීන් ඝාතන, මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම්, පැහැරගෙන යාම් ඇතුළු අපරාධවලට පොදුවේ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ විරෝධය පළකිරීමට සංකේතාත්මකව ජනවාරි මාසය යොදාගෙන ඇත්තේ එහෙයිනි.
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවල චූදිතයන්ට දඬුවම් දෙන්නට පාරම් බාමින් ජනවාරි 8 වැනිදාකම බලයට පැමිණි යහපාලන ආණ්ඩුව ද කළේ බලය උදෙසා අපරාධ විමර්ශන ක්‍රියාවලි හෝද හෝදා මඩේ දැමීමකි.
අද ඊට වන්දි ගෙවන්නට සිදුව තිබෙන්නේ පාට පාක්ෂ භේදයක් නැතිව යුක්තිය වෙනුවෙන් ක්‍රියා කළ අපරාධ විමර්ශකයන් අතලොස්සකටය. (රංජන් රාමනායක කී ආකාරයටම ඔහුගේ බසින් සරලවම කිව්වොත් දෙගොල්ලොම මල්ලි යාළුවෝය.)
අපේක්ෂිත අයුරින් යුක්තිය ඉටු නොවුණ ද කළු ජනවාරිය සම්බන්ධයෙන් යුක්තිය පතා ක්‍රියා කරන ජනමාධ්‍යකරුවන්ගේ ආධ්‍යාත්මය අදටත් වෙනස් වී නැත.
සංකේතාත්මකව හෝ ලසන්ත, ප්‍රගීත් මරා දැමීම කීත් නොයා පැහැරගෙනයාම හා උපාලි තෙන්නකෝන්ට කළ පහරදීම ගැන පරීක්ෂණ සිදු වුණත් ඒවාට යහපාලන දේශපාලන අධිකාරියෙන් ද වෙට්ටු දැමීම් මිස යුක්තිය වෙනුවෙන් කළ අවංක මැදිහත්වීම් තිබුණේ නැත.අනෙක් අතට පෝද්දල ජයන්තට පහරදීම සිවරාම් ඝාතනය වැනි අපරාධ ගැන සොයාබැලීමක් වුණේත් නැත.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 2019 ජනවාරියේදී යහපාලන ආණ්ඩුව අපරාධකරුවන් ආරක්ෂා කරන බවට ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් කරමින් කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලයට පෙස්සමක් ද බාරදුන්නේය. මේ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ඇතුළු සෙසු මාධ්‍ය සංවිධාන ද ඒකාබද්ධවත් වෙන වෙනමත් යුක්තිය පතා විවිධ පියවර ගත්තේය.
මේ වනවිට තත්ත්වය තවත් වෙනස් වී ඇති අතර ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරනු වස් ක්‍රියා කොට හිංසනයට ඝාතනයට ලක් වූ සහෝදර ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් කතා කරනු වෙනුවට අපකීර්තිමත් ඉතිහාසයක් හා නීතියෙන් දඬුවම් ලබා ඇති ජනමාධ්‍ය මුදලාලිලා වෙනුනේ කඩේ යන තැනට වඩාත් අවමානුෂික වීමට ඇතැම් ජනමාධ්‍ය රියැලිටි තරු මාධ්‍යකරුවන්ට සිදු වී තිබේ.කෙසේ වෙතත් එසේ වූවාය කියා යුක්තිය වෙනුවෙන් වූ ජනමාධ්‍යවේදීන්ගේ ආධ්‍යාත්මයෙහි හෝ ආධ්‍යාශයෙහි වෙනසක් කඩා වැටීමක් අදටත් සිදු වී නැත.
සහෝදර ජනමාධ්‍යවේදීන්ට සිදුකළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කෙරෙන ප්‍රභාතයක් වෙනුවෙන් වෙන වෙනමත් ඒකාබද්ධවත් කරන අරගලය හෙටත් සිදුවනු ඇත.ජනමාධ්‍ය රියැලිටි තරු අයියලාගේ රංගනවලින් සමරවික්‍රමයන්ගෙන් දෑස් නිලංකාර කර නොගෙන ඇත්ත යුක්තිය වෙනුවෙන් හඬ නැගීම එහිදී පොදු ජනයාගේ ද වගකීමකි.
මන්දයත් මේ සියලු නාට්‍ය අවසාන වන්නේ පොදු ජනයාගේ ද අයිතින් උදුරාගන්නා ව්‍යසනයකින් වන බැවිනි.
Previous articleනැගෙනහිර ජැටියේ ඉතුරු සියයට 51 කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක් !
Next articleඅල්ලස් කොමිසම දූෂිතයන්ට යට වෙලාද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here