අල්ලස් කොමිසම දූෂිතයන්ට යට වෙලාද?

(විමල් වීරරත්න)
මෙරට දූෂණවිරෝධී කතිකාව වඩාත් ශක්තිසම්පන්න වූයේ 2014 වසරේය. අවාසනාවන්ත ලෙස එහි කූටප්‍රාප්තිය 2015 ජනවාරි 8 හුදු ආණ්ඩු පෙරලියකට පදනම දමමින් නිමා විය. දූෂණවිරෝධී සමාජ හඬ පක්ෂ දේශපාලන බල ව්‍යාපෘති හමුවේ යටපත් වූයේ ඇයිද යන්න ලංකාවේ දේශපාලන සංස්කෘතියට අදාළ වැදගත්ම සාකච්ඡාවකි. එය පසුවට තබමින් මේ කතා කරන්නේ දූෂණවිරෝධී සාකච්ඡාවේ ප්‍රතිපලයක් හැටියට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගත් වැදගත් පියවරක් ආපස්සට අදින වෑයමක් ගැනය.
ජනවාරි 8 ආණ්ඩු වෙනසින් පසුව දූෂණවිරෝධී සාකච්ඡාව ජනමාධ්‍ය වේදිකාවල මුහුණත්තහඩු ක්‍රීඩාවකට සීමා වූ බව සැබෑය. බලය ලබාගත් කණ්ඩායම පවා මාධ්‍ය හමු පවත්වමින් විපක්ෂ ක්‍රියාකාරින් මෙන් සිදුව ඇති දූෂණයේ දිග පළල ගැන කතා සාප්පු දැමීම එහි එක් ප්‍රකාශනයක් විය. එහෙත් මේ අතරේම රාජ්‍ය වශයෙන් ඇතැම් තැන්වල පුංචි පහේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැප වූ මිනිස්සු ද සිටියහ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ද එවැනි වැඩකට අත ගැසු තැනකි. ඒ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හැටියට පත් වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා යටතේය. ප්‍රතිසංස්කරණ සඳහා යම් අදහසක් ඔහුට තිබූ අතර 2017 වනවිට ලංකාව වැටී තිබූ තැන සිට ඉදිරියට යන වැඩපිළිවෙලක් ඔහුගේ ඉලක්කය විය.
අල්ලස වංචා දූෂණය පාලනය කළ රටවල් රැසක්ම ලෝක සිතියමේ තිබේ. එහිදී ඉහළ ජයග්‍රහණ අත්පත් කරගත් බොහෝ රටවල් අයිති යුරෝපාකරයටය. පහළ අඩියට සිටින්නේ ආසියාවයි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හා එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී කාර්යාංශය එක්ව සකසන දූෂණවිරෝධී දර්ශකය දූෂණවිරෝධීන්ගේ ප්‍රධාන දර්ශකයකි. ඊට අනුව 2017 වනවිට අංක එකේ සිටියේ නවසීලන්තයයි. ආසියාවේ ඉහළින්ම සිටියේ සිංගප්පූරුවයි. උත්ප්‍රාසජනක කරුණ නම් දූෂණය නැති කර රට දියුණු කරන්නේ කෙසේද යන්න ලී ක්වාන් යූ නමැති සිංගප්පූරුවේ නායකයා අදිටන් කරගත්තේ ලංකාවට පැමිණි ගමනකදීම වීමය. 2017 වනවිට දූෂණවිරෝධී දර්ශකයේ හය වැනි ස්ථානය සිංගප්පූරුවට හිමිකරගනිද්දී පිළිවෙලින් මැලේසියාව 66, භූතානය 26, ජපානය 20, හොංකොං 13  යන ස්ථාන හිම කරගත්තේය. ලංකාව වැටී සිටියේ 91 තරම් පහළම අඩියකටය. මෙහිලා වැදගත්ම කරුණ නම් සෙසු ආසියාතික රටවල් ද ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රිතාන්‍ය යටත්විජිත වශයෙන් පැවැති රටවල් වීමය. විනාශයට වැටී තිබුණු එකී රාජ්‍ය දූෂණ විරෝධය නිසා අද වනවිට අත්පත් කරගෙන ඇති සංවර්ධනයේ ජයග්‍රහණ සුළුපටු නැත.
මෙම දත්ත විමසුමට ලක්කළ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය යොමුවුණේ හොංකොං වෙතය. දූෂණය නිවාරණයට මෙන්ම අධ්‍යාපනයට ද සමාන අවධානයක් හිමි වූ හොංකොං රාජ්‍ය සේවයේදී අල්ලස දූෂණය මැඩීමේ අධ්‍යාපනය අනිවාර්ය අංගයකි. අල්ලසට දූෂණයට එරෙහිව ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩමුළු, දේශනා, පාඨමාලා ආදිය නිරන්තරයෙන් එහි සංවිධානය කෙරේ. යමෙකුට සේවා උසස්වීමක් ලැබුණ ද මෙම පාඩම් නැවත ආවර්ජනය කළ යුතුය. මනුෂ්‍යයාගේ ආකල්පමය වෙනසකින් තොරව රටක් හැදිය නොහැකිය යන හොංකොං දර්ශනයට සමගාමී අකෘතියක් ගැන අවධානය යොමුවුණේ ඒ අනුවය.
ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 21ක් වෙද්දී හොංකොංහි එහි අගය මිලියන හතකි. එහෙත් ලංකාව සමඟ සසඳද්දී හොංකොංහි දූෂණවිරෝධී යාන්ත්‍රණයට ඇති රාජ්‍ය අවධානය මෙන්ම පහසුකම් ද ඉහළය. දූෂණවිරෝධී අධ්‍යාපන දෙසියයක් ඉක්ම වූ යාන්ත්‍රණයක් එයට හිමි වුවත් ලංකාවේ කොමිසමට සිටින්නේ අතලොස්සකි. අල්ලස දුෂණය නිවාරණයට දිය යුතු බලයවත් හිමි කොමිසමක් නොවේ ලංකාවේ ඇත්තේ. මෙසේ ලෝකය සමග සසඳද්දී ලංකාවේ ඇත්තටම ඇත්තේ හුදෙක් නාමික කොමිසමකි. පොලිස් කොස්තාපලක්වරයකු, ග්‍රාම නිලධාරිවරයකු වැනි සමාජ ස්ථරයේ පහළම සිටින්නන් කරටියෙන් අල්ලාගෙන තබන මාධ්‍ය සංදර්ශනවලින් ඔබ්බට නොයන කතාවේ සැබෑ තත්ත්වය මෙයයි. එහෙත් ජයමාන්න මහතා මූලික වී සකස් කළ යෝජනාවලිය අනුව මෙම හිඩැස් පිරවීමට යම් වැඩපිළිවෙලක් සකස් වුණේය. එහි ප්‍රධාන අංගයක් වූයේ ලංකාවේ විවිධ වෘත්තිකයන් ඇතුළත් වන දූෂණ විමර්ශන කණ්ඩායමක් සකස් කර ඔවුන්ට නවීන තාක්ෂණික හා බුද්ධිමය දැනුම ලබාදීමය.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා දූෂණ විමර්ශන නිලධාරි 200 දෙනකු බඳවාගැනීම සඳහා තරග විභාගයක් පැවැත්වීමට අයැදුම්පත් කැඳවනු ලැබුවේ 2018 ජුනි 8 වැනිදා ගැසට්ටුවෙනි. විමර්ශන නිලධාරින් බඳවාගැනීම සඳහා වන විවෘත තරග විභාගය කොළඹ ඇතුළු නගර හයකදී 2018 ඔක්තෝබර් 27 පවත්වා එයින් සමත් වූ 407 කගේ නම් ලැයිස්තුව 2019 මාර්තුවේදී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරිණි. සමත්වූවන්ට කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේදී අල්ලස් හා දූෂණ විමර්ශනය පිළිබඳ සිද්ධි අධ්‍යයන විභාගයක් 2019 ජූලි 4 වැනිදා පවත්වා තනතුරට අදාළ සම්මුඛ පරීක්ෂණ කටයුතු ද ඊට පසු දිනම සිට ආරම්භ කළේය. එකී සියලු කටයුතුවලින් අනතුරුව ඔවුන් ලබාගත් ලකුණු පිළිවෙල අනුව තනතුරු සඳහා සුදුසුකම් ලැබූ 200 කගේ නම් ලැයිස්තුව 2019 සැප්තැම්බර් මාසය වනවිට ප්‍රසිද්ධ කර ඔවුන්ට අදාළ පොලිස් වාර්තා ද 2019 දෙසැම්බර් මාසය වනවිට ගෙන්වාගෙන තිබිණි. එහෙත් ඉන් මනත මේ පත්වීම් ක්‍රියාවලිය එක්වරම සිර විය. අත ගැසූ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද තනතුර අහිමි විය. 19 වැනි සංශෝධනය වෙනුවට ස්වාධීන කොමිෂන් ජනාධිපති අභිමතය නමැති ගිලටිනයට හසුවන 20 වැනි සංශෝධනයක් ද පැමිණියේය.
පැවැති අල්ලස් කොමිසම මහා බලගතු එකක් නොවුණත් විමර්ශන නිලධාරින් බඳවාගනිමින් දියත් කළ ක්‍රියාවලිය කෙරෙහි ජනමාධ්‍යවේදීන්ට මෙන්ම දූෂණවිරෝධීන්ට ද යම් පැහැදීමක් තිබුණේය. දැන් නව කොමිසම විසින් පාපිස්ස යටට තල්ලු කරනු ලබන්නට යත්න දරන්නේ විමර්ශන නිලධාරින්ගේ පත්වීම් පමණක්ම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ ඒ ජනතා විශ්වාසයයි. විවෘත තරග විභාගයකින් සිද්ධි අධ්‍යයන විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් ද සමත් වූ දක්ෂ තරුණ කණ්ඩායමක් මේ තත්ත්වය මත දැන් සිටින්නේ අපේක්ෂාභංගත්වයෙනි. වාර්තා වන ආකාරයට මෙම ක්‍රියාවලිය සඳහා ද මහජන ධනය රුපියල් ලක්ෂ ගණනක් දැනටමත් වැය කර ඇත. විමර්ශන නිලධාරි පත්වීම් වෙනුවෙන් අවශ්‍ය මුදල් ද වෙන් කර ඇත. එසේ නම් මෙම පත්වීම් ලබා නොදී දූෂණයට ඉණිමං තනන්නට යත්න දරන්නෝ කවරහුද? මේ ගැන සෙවීම දූෂණයට විරුද්ධ සියලුම පුරවැසියන්ගේ වගකීමකි. මක්නිසාද යත් මෙම පත්වීම් ලබාදීමෙන් සෑදෙන යාන්ත්‍රණය තුළ ආරක්ෂා වන්නේ කෝටි ප්‍රකෝටි ගණනින් කාබාසිනියා කරන යටි මඩි ගසන මහජන ධනයම වන බැවිනි.
Previous articleජනමාධ්‍ය රියැලිටි අයියලා හා කළු ජනවාරිය…
Next articleනිර්දේශ ක්‍රියාත්මක නොවුණත් අපරාධ නඩු ගැන සැක මතුකර අවසන් : දේශපාලන පළිගැනීම් කොමිසමේ අරමුණ ඉටුවුණාද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here