දේශපාලන අතපෙවීම් වු⁣⁣ණොත් නැවතත් බෙදුම්වාදයක් – හිටපු යුද හමුදාපති

තීන්දු තීරණ ගනු ලබන ආයතන සියලු ජාතීන්ට එක සේ සැලකිය යුතු බවත් දේශපාලන අතපෙවීම්වලින් තොරව තීන්දු තීරණ ගැනීම සිදු නොකරන්නේ නම් රට තුළ නැවතත් බෙදුම්වාදයක් ඇති වීම වැළක්විය නොහැකි බවත් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර සිදුවීම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අන්තර්ජාලය හරහා සාක්ෂි ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම විසින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ හැකි බවට විදේශීය බුද්ධි අංශයක් විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධනට සිදු කර තිබු පුර්ව දැනුම්දීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන්ට නොලැබුණ බව ද සේනානායක මහතා පැවසීය.

2019 අප්‍රේල් මස 9 වැනිදා පැවැති බුද්ධි සමාලෝචන රැස්වීමේදී අදාල බුද්ධි තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා කරුණු දැක්වීමක් සිදු ක⁣ළේද යන්න කොමිෂන් සභාව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හෙතෙම සඳහන් කළේ ජයවර්ධන මහතා එවැනි කිසිදු කරුණු දැක්වීමක් සිදු නොකළ බවයි.

මේ අතර 2019 අප්‍රේල් මස 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක අටවන ලද බෝම්බයක් පුපුරුවහැරීමේ සිදුවීම පිළිබඳව කොමිෂන් සභාව ⁣මහේෂ් සේනානායක මහතාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු පැවසුවේ එම සිදුවීම පිළිබඳව එදිනම තමන් දැනුවත් වූ බවය.

තමන් ඒ මොහොතේම එය යම්කිසි අත්හදා බැලීමක් විය හැකි බවට නිගමනය කළ බවත්, එය සහරාන් ඇතුළු පිරිසගේ ක්‍රියාකාරකමක් විය හැකි බව තමන්ට හැඟුණ බවත් සේනානායක මහතා පැවසීය.

නැගෙනහිර පළාත තුල සහරාන් ඇතුළු කණ්ඩායම අන්තවාදී ක්‍රියාකාරකම් සිදු කරන බව ඒ වන විට ජාතික ආරක්ෂක කවුන්සිලයේදීද සාකච්ඡාවට ලක් වී තිබු බවද එම නිසා ඒ පිළිබඳව වහාම සොයාබලා කරුණු වාර්තා කරන ලෙසට තමන් අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ද ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරිදා දින යම්කිසි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වන තොරතුර ඔහුට ලැබුනේද යන්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කළේ තමන්ට එවැනි කිසිදු තොරතුරක් නොලැබුණ බවයි.  කෙසේ නමුත් එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය පහසුකම් ඇත්තේ යුධ හමුදාවට බැවින් ඒ පිළිබඳව අනිවාර්යෙන්ම තමන්ව දැනුවත් කළ යුතුව තිබු බවත් හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

2019 අප්‍රේල් මස 21 වන දින කොළඹ හෝටල් කිහිපයකට එල්ල වීමෙන් පසු ඒ පිළිබඳව තමුන් දැනුම්වත් කිරීමට නිලධාරීන් කටයුතු කළ බවත් ඒ වන විටත් යුධ හමුදා නිලධාරීන් එම ස්ථානවලට යෙදවීමට අදාළ නිලධාරීන් පියවර ගෙන තිබු බවත් ඔහු සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසූවේ එම සිදුවීම පිළිබඳව දැනගත් වහාම එය සහරාන් ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරකමක් බව තමන් දැනගත් බවයි.

“ප්‍රහාරයෙන් පසුව ජයවර්ධන හමු වුණා ආරක්ෂක අමාත්‍යංශයේදී. ඔහු ඉතාමත් කනස්සල්ලෙන් හිටියේ. ඔහු මට දැනුම් දුන්නා තවත් ප්‍රහාර දෙකක් එල්ල වෙන්න හැකියාව තියෙනවා කියලා. තොරතුරු කළින් ලැබිල තිබිලත් ප්‍රහාර වලක්වගන්න නොහැකි වීම පිළිබඳව ඔහු විශාල කනස්සල්ලෙන් හිටියේ ” යැයි හෙතෙම කීවේය.

ඉස්ලාම් රාජ්‍ය මතවාදයට සම්බන්ධ කරුණු පිලිබඳව සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වෙනම ඒකකයක් ස්ථාපිත කළ බවත්, එය අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.

යුද හමුදාපති ලෙස සේනානායක මහතා සේවය කළ කාලය තුළ එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට යුද හමුදාවට නියෝග ලබා දීමේ හැකියාවක් තිබුණේ ද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයින් ඔහුගෙන් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු වශයෙන් හෙතෙම පැවසුවේ එවැනි හැකියාවක් නොතිබූ බවය.

යම්කිසි නියෝගයක් ලැබෙන්නේ නම් එය ලැබුණේ ජනාධිපතිවරයාගෙන් හෝ ආරක්ෂක ලේකම්ගෙන් බව ඔහු පැවසීය.

එවකට ආරක්ෂක ලේකම්වරුන් ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු සමග යුද හමුදාපතිවරයා ලෙස  යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේ ද යන්න කොමිසම විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ ආරක්ෂක ලේකම් සමග තමාගේ යහපත් සම්බන්ධතාවක් පැවති බවයි.

එමෙන්ම ආරක්ෂක ලේකම්වරයාගෙන් ලැබෙන නියෝග ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගෙන් අනුමැතිය ලබාගැනීම අවශ්‍ය ද යන්න රජයේ නීතිඥවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සේනානායක මහතා පැවසුවේ එසේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. ආරක්ෂක ලේකම්වරයාගෙන් ලැබෙන නියෝග සෘජුවම ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන බවද සේනානායක මහතා සාක්ෂි දෙමින් පැවසීය.

එමෙන්ම යුද හමුදාවට අනුබද්ධ බුද්ධි රෙජිමේන්තු මගින් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ධ කරුණු සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බුද්ධි මෙහෙයුම් සිදු කර තොරතුරු විශ්ලේෂණය කිරීම සිදු කළ බවත් එය තවදුරටත් කරගෙන යාම ඉතා වැදගත් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවට සහභාගී නොවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හරහා තමන්ට දැනුම් දුන් බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

එමෙන්ම එම රැස්වීමට සහභාගී වී සාකච්ඡා කළ යුතුව තිබූ බොහෝ දේ ඒ වන විටත් ක්‍රියාත්මක කිරීමට තමන් යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කර තිබූ බවදහෙතෙම සඳහන් කළේ ය.

“ඒ වන විට සාකච්ඡා කරනවාට වඩා කළ යුතුව තිබුණේ නැවත එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව අවධානය යොමු කරලා අවශ්‍ය කටයුතු කරන එක. ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ඒ වන විටත් අරන් තිබුණා” යැයි හෙතෙම පැවසීය.

මේ අතර පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් නොකළේ මන්ද යන්න නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසුවේද යන්න කොමිෂන් සභාව සේනානායක මහතාගෙන් විමසුවේය. ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඒ පිළිබඳව විමසුවත් ඒ සඳහා දිය හැකි සාධාරණ පිළිතුරක් ඔහු සතුව නොතිබු බව තමන්ට හැඟුණ බවයි.”ඔහු සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට මට කතා කළා නමුත් මෙවැනි කරුණක් ගැන කිසිම සඳහනක් කළේ නැහැ” යැයි හෙතෙම කීවේය. සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ව දැනුවත් නොකළේ ඇයිද යන්න තවම සිතාගත නොහැකි බවයි.

එමෙන්ම අදාළ විදේශ බුද්ධි තොරතුර යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයට ලැබුණේ නම් එය වැඩිදුරටත් සංවර්ධනය කොට එහි ඇති නිශ්චිතභාවය තවදුරටත් වැඩි කරගැනීමට තමන් පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

අන්තවාදී කණ්ඩායමක් තවත් අන්තවාදී කණ්ඩායමක් පිළිබඳව නිතිය අතට ගෙන කටයුතු කරන්නේ නම් එය ශිෂ්ට සමාජයක කිසිදු විටෙක අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවත් එමගින් ගැටළු රාශියක් පැනනගින බවත් හිටපු යුධ හමුදාපති සේනානායක  මහතා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.

ඔහු පැවසුවේ තීන්දු තීරණ ගනු ලබන ආයතන සියලු ජාතීන්ට එක සේ සලකා දේශපාලන අතපෙවිම්වලින් තොරව තීන්දු තීරණ ගැනීම සිදු නොකරන්නේ නම් රට තුළ නැවතත් බෙදුම්වාදයක් ඇති වීම වැළක්විය නොහැකි බවයි.

ඔහු සඳහන් කළේ එවැනි ආයතන ජනතාව මුලා කරමින් මධ්‍යස්තව කටයුතු නොකරන නිසා මේ වන විට රට තුළ ප්‍රශ්න ගණනාවක් ඇති වී තිබෙන බවයි. විශේෂයෙන්ම සිංහල සහ දෙමල අන්තවාදී සංවිධාන නිසා නුදුරු අනාගතයේදීම නැවතත් බෙදුම්වාදයක් මේ රට තුළ ඇති වනු ඇති බව හෙතෙම පැවසීය. සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ පිළිබඳව තමන් යුධ හමුදාපති ලෙස කටයුතු කරමින් සිටි අවධියේ පටන්ම අදාල ආයතනවලට කරුණු වාර්තා කර ඇති බවයි.

 

Previous articleනාමල් කුමාරට මෛත්‍රී පඩි දීලා : හිටපු ජනපති පුරුද්දක් විදියට බොරු කියනවා – පූජිත
Next articleකෝප‍්‍රල් අංකය : 01009 මරණයට හේතුව – අතුරුදන් වී වසරකට වැඩි කාලයක් ගතවීම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here