නාමල් කුමාරට මෛත්‍රී පඩි දීලා : හිටපු ජනපති පුරුද්දක් විදියට බොරු කියනවා – පූජිත

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එවකට කරුණු ප්‍රකාශ කළ නාමල් කුමාර නම් පුද්ගලයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලයයෙන් වැටුප්  ගෙවා ඇති බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද(09) සාක්ෂි දෙමින් ඒ මහතා මෙසේ පැවසීය

එමෙන්ම නාමල් කුමාර සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ දී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් අබ්දුල් ලතීෆ් ජමීල් යන පුද්ගලයා සම්බන්ධයෙන් විශේෂයෙන්ම සොයාබැලිය යුතු බවද ඔහු කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළේය .

ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමක් විසින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ හැකි බවට ලැබුණු තොරතුර ඉතාමත් වැදගත් තොරතුරක් ලෙස සැලකුවේ නම් ඒ පිළිබඳව 2019 අප්‍රේල් 16 දින හිටපු ජනාධිපතිවරයා විදෙස්ගත වීමේ දී හෝ ඔහු දැනුවත් නොකළේ මන්ද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයෙක් හිටපු පොලිස්පතිවරයාගෙන් විමසීය.

ඊට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා එදින ගමන් ගත් ගුවන් යානයටද නැග තමන් ඔහුට ආචාර කළැයි හිටපු ජනාධිපතිවරයා විසින් පසුගියදා කොමිෂන් සභාව හමුවේ සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.

“ජනාධිපතිවරයා මා සමග සුහදව කටයුතු කළ කාලය තුළ මම එහෙම කරපු අවස්ථා තිබුනා. නමුත් 2019 වන විට ඔහු මා දිහා බැලුවෙත් අප්පිරියාවෙන් වගේ” යැයි ජයසුන්දර මහතා පැවසීය.

ඒ හේතුව නිසාම ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු වූ යම් යම් කාර්‍යයන් එවකට ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා හරහා සිදු කර ගැනීමට තමන් කටයුතු කළ බවද හෙතෙම සදහන් කළේය.

මේ අතර ජනාධිපතිවරයා ඒ ආකාරයෙන් බොරු කියනවාදැයි කොමිෂන් සභාවේ සාමාජිකයෙක් යළිත් ඔහුගෙන් විමසූ අවස්ථාවේ ජයසුන්දර මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා පුරුද්දක් වශයෙන් බොරු කියන බවයි. එවැනි අවස්ථා සඳහා උදාහරණ රාශියක් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“සිංහල හින්දු අළුත් අවුරුද්දට සුබ පතන්න ඇවිල්ලා මම පැය දෙකක් වගේ ඉඳලා දවල් ආහාරයත් අරන් ගියා කියල ඔහු කිව්වා. නමුත් ඒකත් සම්පූර්ණ අසත්‍යයක්. මම එදින විනාඩි දහයක් වගේ තමයි හිටියේ. කෑම කෑවෙත් නැහැ. චාරිත්‍රයක් විදියට රාජ්‍ය නායකයාට සුබ පතන්න ගියා පමණයි, ” යැයි ජයසුන්දර මහතා පැවසීය.

එමෙන්ම නාමල් කුමාර වැනි කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයෙක් ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් වැටුප් ලබාගත්තේ කුමන පදනමක් යටතේ ද යන්න සොයාබැලිය යුතු බවත් ජයසුන්දර මහතා කීවේය.

” එවකට ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ජනාධිපති කාර්‍ය සාධක බලකායේ හිටපු අධ්‍යක්ෂක, වෛද්‍ය සමන්ත කිතලවාරච්චි මට කිව්වා නාමල් කුමාරට එම කාර්‍ය සාධක බලකායෙනුත් වැටුප් ගෙව්වා කියලා” යැයි හෙතෙම පැවසීය.

එමෙන්ම ජනාධිපතිවරයාගෙන් ඒ ආකාරයෙන් විශේෂ වරප්‍රසාද ලබා ගත් ආණ්ඩුකාරවරු සහ ජනාධිපති උපදේශකවරුන් තවත් කිහිපදෙනෙක්ම සිටි බවත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

මේ අතර දිගන ප්‍රදේශයේ ඇති වූ කෝලාහලයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍යව තිබූ තොරතුරක් ලබා දීම හේතුවෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් ලක්ශ පහක පමණ ත්‍යාගයක් නාමල් කුමාරට ලබා දුන් බවද හිටපු පොලිස්පතිවරයා කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළේය .

Previous articleඅපේ බිය අපව පහත් කරනවා : අපේ නිදහස නැතිකරනවා – මහාචාර්ය හූල්
Next articleදේශපාලන අතපෙවීම් වු⁣⁣ණොත් නැවතත් බෙදුම්වාදයක් – හිටපු යුද හමුදාපති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here