සීනි 150ටත් විකිණෙයි : තොග මිලත් 115ට වැඩී

සීනි කිලෝවක මිල ඇතැම් වෙළෙඳසැල්වල රුපියල් 150 දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

මෙලෙස සීනි ඉතා වැඩි මිලකට අලෙවි වන්නේ දැනට බලපැවැත්වෙන පාලන මිල අනුව පැකට් නොකරන ලද සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙසත් පැකට් කරන ලද සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 90ක් ලෙසත් නියම කර ඇති අවස්ථාවකය.

බොහෝ සිල්ලර කඩවල සීනි කිලෝවක මිල රුපියල් 150ට අලෙවි වන බව අප සිදුකළ සොයාබැලීමකදී ද තහවුරු විය.එමෙන්ම බොහෝ වෙළෙඳසැල්වල සීනි කිලෝවක මිල රුපියල් 125-135 වැනි ඉහළ මිලකට අලෙවි වන අතර ඇතැම් සුපිරි වෙළෙඳසැල් වල සීනි කිලෝවක මිල රුපියල් 90ට ද අලෙවි වෙයි.

එමෙන්ම මහ බැංකුව අද (07) නිකුත් කළ මිල වාර්තාවේ නාරාහේන්පිට වෙළෙඳපොළේ සීනි කිලෝවක මිල සඳහන් වන්නේ රුපියල් 125ක් ලෙසය.

ඉකුත් නොවැම්බර් 10 වැනිදා අංක 2201/8 දරණ ගැසට් නිවේදනය මගින් සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් සහ උපරිම තොග මිලක් නියම කෙරිණි. එම ගැසට් නිවේදනය අනුව සුදු සීනි පැකට් කළ කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 90ක් ලෙසත් පැකට් නොකළ කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙසත් ආනයනකරු විසින් විකිණිය යුතු උපරිම තොග මිල රුපියල් 80ක් ලෙසත් සටහන් විය. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වැනි වගන්තිය යටතේ ක්‍රියා කරමින් කිසිම ආනයනකරුවකු, බෙදාහරින්නෙකු, සැපයුම්කරුවකු, හෝ වෙළෙන්ඳකු විසින් මෙම උපරිම මිලට වඩා වෙළෙදාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සහ ප්‍රදර්ශනය කිරීම හෝ සැපයීම නොකළ යුතු බවට එම ගැසට් නිවේදනය මගින් නියම කරනු ලැබිණි.

නමු⁣ත් මේ වන විට ඇතැම් වෙළෙඳසැල්වල සීනි කිලෝවක් අලෙවි වන්නේ පාලන මිල ගැසට්ටුවට වඩා රුපියල් 60කට පමණ වැඩිය.

ගැසට් නිවේදනයෙන් පසු අඩු වූ මිල පාරිභෝගිකයාට ලැබී තිබෙන්නේ එක් දිනක් තුළ පමණක් බව මහ බැංකු වාර්තා පෙන්වා දුන්නේය.(එම විස්තරය මෙතැනින්)

එක් වෙළෙඳසැලකින් සීනි මිලදී ගත් බිලක් පහතින්..

මේ සම්බන්ධයෙන් එක් වෙළෙඳසැල් හිමියකුගෙන් කළ විමසීමකදී පැවසුවේ තමන්ට සීනි කිලෝවක් ලැබෙන තොග මිලද රුපියල් 115කටත් වඩා වැඩියෙන් බවයි. තත්ත්වය එසේ වන විට පාලන මිලට සීනි කිලෝවක් අලෙවි කරන්නේ කෙසේදැයි ඔහු පැවසීය.

“අපිට සීනි කිලෝවක් වැටෙන්නේ රුපියල් 115කට විතර.පෙළක් වෙලාවකට ඊටත් වැඩියි. ඉතින් අපි කොහොමද 90ට දෙන්නේ. එතකොට අපි දෙන්න ඕනේ රුපියල් 30ක විතර පාඩුවට. එහෙම දෙන්නනම් අපි පිනට දෙන්න තමා වෙන්නේ. එහෙම කරොත් මාසයක් යද්දි අපිට වෙන්නේ වහලා ගෙදරට වෙලා ඉන්න.” යැයි ඔහු කීවේය.

තොග මිලට සිනි මිලදීගත් බිලක් පහත දැක්වෙයි.

තවත් වෙළෙඳසැල් හිමියකු පැවසූවේ සිල්ලර පාලන මිලට වඩා අඩු මිලකට සීනි තොග වශයෙන් ලැබේනම් රුපියල් 90ට සීනි කිලෝවක් විකිණිය හැකි බවයි.

” ඒ ඇරෙන්න අපිට පිනට දෙන්න බෑ. පාඩුවට බිස්නස් කරන්න නම් කඩයක් කරන්න ඕන නෑ නේ.” යැයි ඔහු වැඩිදුරටත් කීවේය.

සීනි කිලෝව රුපියල් 150ට අලෙවි කළ සිල්ලර වෙළෙඳසලක බිලක් පහතින්..

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාගේ කාර්යාලයේ ස්ථාවර දුරකථන අංකවලට ඉකුත් 27 වැනිදාත් ඉකුත් 01 වැනිදාත්, 04 වැනිදාත් අද (07) දිනයේත් දුරකථන ඇමතුම් 15කට අධික සංඛ්‍යාවක් ගත්තද කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි.

Previous articleමහජන උපයෝගීතා කොමිසම වහන්න එපා – වාසු ඉල්ලයි
Next articleමහර සිරුරු ආදාහනය නොකරන ලෙස මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here