මහර සිරුරු ආදාහනය නොකරන ලෙස මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් මිය ගිය රැඳවියන්ගේ සිරුරු අදාළ පරීක්ෂණ අවසන් වන තුරු ආදාහනය නොකරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාගම රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.එම්. ෂෙල්ටන් පෙරේරා මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එම සිරුරු දැනටමත් ආරම්භ කර ඇති පරීක්ෂණයක කොටසක් බව සඳහන් කරමින් එම කොමිසම මේ බව පවසා ඇත.

එබැවින් ඒවා සෞඛ්‍ය අවශ්‍යතාවන්ට අනුකූල වන අයුරින් ආරක්ෂා කළ යුතු බවත් ඔවුන්ගේ මරණයට අදාළ මරණ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ආදාහනය කිරීම හෝ විනාශ කිරීම නොකළ යුතු බවත් මානව හිමිකම් කොමිසම පෙන්වා දී තිබේ.

හැකියාව පවතින අවස්ථාවලදී එම සිරුරු ඡායාරූප ගැනීම වැනි බාහිර පරීක්ෂාවන් ආරම්භ කළ හැකි බවත් ඒ සඳහා සඳහා අධිකරණ වෛද්‍ය කණ්ඩායමට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එම කොමිසම නිර්දේශ කර ඇත.

එම ලිපියේ මෙසේද දැක්වෙයි.

“නොවැම්බර් 29/30 දින මහර බන්ධනාගාරයේදී මියගිය එකොළොස් දෙනාගේ සිරුරු නොවැම්බර් 30 වැනිදා කොළඹ උතුරු ශික්ෂණ රෝහලට බාර දුන් බවත් දැන් ඔබේ බාරයේ පසුවන බවත් බලධාරීන් අපට දන්වා තිබේ.

වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් 11 දෙනාගෙන් 8 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය. වෛරසය ආසාදිතයින්ගේ සිරුරු බැහැර කිරීම සම්බන්ධ රෙගුලාසි පිළිබඳව අප දැන සිටියද, මෙම සිරුරු දැනටමත් ආරම්භ කර ඇති පරීක්ෂණයක කොටසක් බව ඔබට මතක් කර දීමට මෙසේ ලියන්නෙමු.

එබැවින් ඒවා සෞඛ්‍ය අවශ්‍යතාවන්ට අනුකූල වන අයුරින් ආරක්ෂා කළ යුතු නමුත් ඔවුන්ගේ මරණයට අදාළ මරණ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ආදාහනය කිරීම හෝ විනාශ කිරීම නොකළ යුතුය.

තවද, හැකියාව පවතින අවස්ථාවලදී එම සිරුරු ඡායාරූප ගැනීම වැනි බාහිර පරීක්ෂාවන් ආරම්භ කළ හැකි අතර ඒ සඳහා සඳහා අධිකරණ වෛද්‍ය කණ්ඩායමට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දිය යුතුය.

අපගේ සොයාබැලීම්වලදී තහවුරු වන්නේ වෛරසයට ගොදුරු වූවන්ගේ සිරුරු පිළිබඳ මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔබේ රෝහලේ පහසුකම් නොමැති වුවද, කොටිකාවත්ත බෝවන රෝග රෝහලේ මෘත ශරීරාගාරයේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇති බවත් අවශ්‍යනම් ඔවුන්ගේ විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ලබා ගත යුතු බවත් ය.

මෙම ලිපිය 1996 අංක 21 දරණ මානව හිමිකම් කවුන්සිල පනතේ 11 (ඇ) වගන්තිය යටතේ යොමු කර ඇති අතර එම වගන්තිය නිදහස අහිමි වූවන්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලයට වි⁣⁣ශේෂයෙන් පැවරේ.”

Previous articleසීනි 150ටත් විකිණෙයි : තොග මිලත් 115ට වැඩී
Next articleවිදුලි මාෆියාවේ සැලසුම් පරදවා, ආණ්ඩුව ජනතාවගේ පැත්ත දිනවයිද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here