සීනි ගැසට් එක වලංගු දවසකට පමණයි !

(නිලුක සඳුන් පද්මසිරි)

රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති සීනි කිලෝවක මිල මේ දිනවල රුපියල් 130කට ආසන්න මිලකට අලෙවි කරන බව පාරිභෝගිකයෝ පවසති.

ඉකුත් නොවැම්බර් 10 වැනිදා අංක 2201/8 දරණ ගැසට් නිවේදනය මගින් සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් සහ උපරිම තොග මිලක් නියම කෙරිණි.

එම ගැසට් නිවේදනය අනුව සුදු සීනි පැකට් කළ කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 90ක් ලෙසත් පැකට් නොකළ කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙසත් ආනයනකරු විසින් විකිණිය යුතු උපරිම තොග මිල රුපියල් 80ක් ලෙසත් සටහන් විය.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වැනි වගන්තිය යටතේ ක්‍රියා කරමින් කිසිම ආනයනකරුවකු, බෙදාහරින්නෙකු, සැපයුම්කරුවකු, හෝ වෙළෙන්ඳකු විසින් මෙම උපරිම මිලට වඩා වෙළෙදාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සහ ප්‍රදර්ශනය කිරීම හෝ සැපයීම නොකළ යුතු බවට එම ගැසට් නිවේදනය මගින් නියම කරනු ලැබිණි. නමුත් එම ගැසට් නිවේදනය නිකුත් කර දින පහක්වත් ගත වී නොමැති තත්ත්වයකදී තවමත් එම මිලට සීනි මිලදී ගැනීමට නොහැකි බව පාරිභෝගිකයෝ පවසති.

මෙම මිල ගණන් සම්බන්ධයෙන් රජයේ මූලාශ්‍රයක් වන මහ බැංකු දත්ත වාර්තා ඔස්සේ කළ විමසීමකදී අනාවරණය වූයේ පිටකොටුව වෙළෙඳපොලේ සුදු සීනි කිලෝවක් අලෙවි වන තොග මිල රුපියල් 125ක් බවයි. ඒ අනුව සීනි කිලෝවක තොග මිල පවා සිල්ලර පාලන මිලට වඩා රුපියල් 40කින් වැඩිය. ගැස⁣ට්ටුවේ උපරිම තොග මිලට වඩා වර්තමාන තොග මිල රුපියල් 45කින් වැඩිය.

මහ බැංකු වාර්තා අනුව නාරාහේන්පිට වෙළෙඳපොළේ සුදු සීනි කිලෝවක සිල්ලර මිල ඉකුත් සිකුරාදා (13) සටහන් වූයේ රුපියල් 125ක් ලෙසයි. ගැසට්ටුවේ උපරිම සිල්ලර මිලට වඩා වර්තමානයේ අලෙවි වන උපරිම සිල්ලර මිල රුපියල් 40කින් වැඩි බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. නමුත් සිල්ලර වෙළෙඳසැල්වල මේ දිනවල අලෙවි වන්නේ රුපියල් 130කට වඩා වැඩි මිලකට වන අතර පැකට් කළ සීනි කිලෝවක් රුපියල් 140ටත් අලෙවි වෙයි.

එමෙන්ම මහ බැංකු වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ සීනි කිලෝවක මිල අඩු වී තිබි ඇත්තේ එක් දිනක් පමණක් බවයි. ගැසට්ටුව නිකුත් කිරීමට පෙර පිටකොටුව වෙළෙඳ පොළේ 125ක්ව පැවති සීනි ⁣කිලෝවක තොග මිල ගැසට්ටුව නිකුත් කළ දිනට පසුදින (11) රුපියල් 100ට අඩු වී ඇති නමුත් ඉකුත් 12 වැනිදා වන විට එම මිල නැවත වතාවක් 125ට වැඩි වී ඇත.

එමෙන්ම ගැසට් නිවේදනය නිකුත් කෙරුණු දිනට පසු දින (11) නාරාහේන්පිට වෙළෙඳපොළේ සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 85ට අඩු වී ඇති නමුත් 12 වැනිදා එම මිල නැවතත් රුපියල් 125 දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව ගැසට් නිවේදනයෙන් පසු අඩු වූ මිල පාරිභෝගිකයාට ලැබී තිබෙන්නේ එක් දිනක් තුළ පමණක් බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

නමුත් ගැසට්ටුවේ මිල ගණන්වලට අනුකූලවන ලෙස පිටකොටුව වෙළෙඳපොලේ තොග මිල කිසිදු අවස්ථාවක අඩු වී නැත. එනම් රුපියල් 80ට අඩු විය යුතු අවස්ථාවක එය අඩු වී තිබෙන්නේ රුපියල් 125 සිට රුපියල් 100ට දක්වා පමණි.

ගැසට්ටුවෙන් පසු සුදු සීනි තොග මිල (කොටුව වෙළෙඳපොළ)

නොවැම්බර් 11

නොවැම්බර් 10 වැනිදා වන විට කොටුව වෙළෙඳ පොලේ රුපියල් 125ක⁣ට තොග ⁣අලෙවි වූ සුදු සීනි කිලෝවක මිල ගැසට්ටුව නිකුත් කිරීමෙන් පසු දින එනම් නොවැම්බර් 11 වැනිදා රුපියල් 100ට අඩු කෙරිණි.

නොවැම්බර් 12

නමුත් ඊට පසු දින එනම් නොවැම්බර් 12 වැනිදා නැවතත් සීනි කිලෝවක තොග මිල රුපියල් 125 දක්වා ඉහළ ගොස් තිබේ.

නොවැම්බර් 13

අවසන් වරට දත්ත යාවත්කාලීන කරනු ලැබ තිබෙන ඉකුත් සිකුරාදා දින සීනි කිලෝවක මිල රුපියල් 125ක් ලෙස සටහන් වී තිබේ.

Previous articleසෞඛ්‍ය – ආරක්ෂක වෙනුවට වසංගතයේ වැඩිම අවදානම ඇත්තේ නීතිඥවරුන්ට ද?
Next articleවාහනය පැදවූ කාන්තාවට සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව ඇප : පොලිසිය ඇතුළේ ලොකු කතාබහක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here