රජයේ රූපවාහිනී – රේඩියෝ ආයතනවල පඩි ගෙවන්න සල්ලි නෑ

(නිලූක සඳුන් පද්මසිරි)

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී සේවය යන රජයේ මාධ්‍ය ආයතනවල වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී තිබේ.

වැටුප් ගෙවීම් ඇතුළු අත්‍යවශ්‍ය වියදම් ආවරණය කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද එහිදි සාකච්ඡා වී ඇත.

මේ හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය මුදල්  මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීම සඳහා වන යෝජනාවක් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරීම මෙම ආයතනවල අදායම පහත වැටීමට හේතුවී ඇතැයි ද කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

මේ හේතුවෙන් 2020 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වන මාස 04 ක කාලය සඳහා එම ආයතනවල අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් සඳහා මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට එහිදී අනුමැතිය ලබා දී තිබේ.

මෙම ආයතනවල ආදායම ඉහළ නැංවීමට උපායමාර්ගික සැලසුම් සකස් කළ යුතු බව ද මහා භාණ්ඩාගාරයේ එකඟතාවය මත එම සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

නමුත් ඉහත ආයතන කඩාවැටීමට පටන් ගත්තේ කොරෝනා කාලයට පෙර බව එම ආයතනවල ආරංචිමාර්ග පවසයි.

කොරෝනා නිසා පුවත්පත්වල වෙළෙඳ දැන්වීම් දැමීමට නොහැකි වු නිසා බොහෝ සමාගම් වෙළෙඳ දැන්වීම් පළ කළේ රූපවාහිනි නාලිකාවල සහ රේඩියෝ නාලිකාවල බව ද ඔවුහු පෙන්වා දෙති.

ජාතික රූපවාහිනීය, ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය යන ආයතන පාඩු ලබන බවට පසුගිය ආණ්ඩුවේ අවසන් කාලයේ සිට එම ආයතනවල වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.

එම ආයතනවල සේවකයින්ට වැටුප් ගෙවා තිබුණේ ස්ථාවර තැන්පතුවලින් බව ද අදාළ වෘත්තීය සමිති ඒ කාල වකවානුවේ දී පැවසීය.

එලෙස සිදු කිරීම මගින් අනාගතයේදී එම ආයතන කඩාවැටීමට හේතුවනු ඇති බැවින් එලෙස සිදු නොකරන ලෙස ද වෘත්තීය සමිති ඒ අවස්ථාවලදී ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් එම කාලයේදී වෘත්තීය සමිති සහ සේවකයෝ උද්ඝෝෂණ ද පැවැත්වූහ.

කොරෝනා කාලයේදී ආදායම අඩුවූයේ කෙසේද සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් පැවසූවේ එම කාලයේදී ආදායම අඩුවූ ආකාරය ගැන දැනුවත් නැති බවත් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට පෙර සොයා බැලීමට අවශ්‍ය බවත් ය.

Previous articleඉතිහාසයේ පළමු වතාවට මරණ දඬුවම ලැබූවෙක් පාර්ලිමේන්තු⁣වේ දිවුරුම් දෙයි : විපක්ෂය කළු පටි බඳී
Next articleපොලිස්පති ඉවත් කිරීම ගැන අලි සබ්‍රිගේ ප්‍රකාශය ජයම්පති බොරු කරයි 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here