ඉතිහාසයේ පළමු වතාවට මරණ දඬුවම ලැබූවෙක් පාර්ලිමේන්තු⁣වේ දිවුරුම් දෙයි : විපක්ෂය කළු පටි බඳී

මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මරණ දඬුවම හිමිවූවෙකු පාර්ලිමේන්තු සම්ප්‍රදාය විනාශ කරමින්  පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දීමට ඉඩ සැලසීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරු කළුපටි බැඳ විරෝධය දැක්වූහ.

මරණ දඬුවම ලැබූ පුද්ගලයකු පාර්ලිමේන්තු ඉතිහාසයේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් පළමු අවස්ථාව මෙයයි.

2015 ජනාධිපතිවරණයට අදාළව කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකට හානි කර, පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමින් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු දේශපාලනඥයින් තිදෙනකුට රත්නපුර මහාධිකරණය පසුගිය ජුලි 31 වැනිදා මරණ දඬුවම ලබා දුන්නේය.

මෙවර මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම සඳහා මීළඟ පාර්ලිමේන්තු සභා වාරයට රැගෙන එන්නැයි මීට පෙර කතානායකවරායා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දුන්නේය.

නමුත් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි බව නීතිපතිවරයා සිය මතය දක්වමින් පසුගියදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ අධිකරණ අමාත්‍යාංශයට දන්වා තිබිණි.

කෙසේ වෙතත් ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි අභියාචනාධිකරණය ඊයේ (07) නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙලෙස ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ අද දිවුරුම් දුන්නේය.

ව්‍යවස්ථාවේ තත්ත්වය 

මරණ දඩුවම නියමු වු අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්තිවල දක්වා ඇත.

ඒ මෙසේය,

89 ව්‍යවස්ථාව –  89.(ඈ) යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් කියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තෝරා පත් කිරීමේ ඡන්ද හිමියකු වීමේ අයිතිවාසිකම. ඡන්ද බලය අහිමිවීම. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 75 මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය:

එසේ වුව ද, මේ ඡේදය යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යන්නේ ය.

91 ව්‍යවස්ථාව –  91.(1) (අ) යම්කිසි තැනැත්තකු 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වු හෝ නුසුදුසුකමකට යටත් වේ නම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජනය වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරාගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.

Previous articleමාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතන නඩුව අවසන් – නියෝග දුන් පිරිස නිදහස් 
Next articleරජයේ රූපවාහිනී – රේඩියෝ ආයතනවල පඩි ගෙවන්න සල්ලි නෑ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here