හිරේ ගිය නිසා ෆොන්සේකාගේ මන්ත්‍රීකම නැතිවූ හැටි

මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම්දීමට ඊයේ (08) අවස්ථාව හිමි වුවද, මීට දස වසරකට පෙර අවුරුදු තුනක සිර දඬුවමක් නියම වූ සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තුට පැමිණීමට නොහැකිවූවා පමණක් නොව ඔහුගේ මන්ත්‍රී ධුරයද අහෝසි විය.

එදා කථානායකවරයා ලෙස සිටි චමල් රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී පැවසූවේ සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ නොහැකි බවයි.  එවකට සිටි පාර්ලිමේන්තු වැඩ බලන මහලේකම්වරයා සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දුන්නේය.

මෙම ලිපිය සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීම ගැනයි.

ෆොන්සේකාගේ සිද්ධිය

2009 දී යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගත් හිටපු යුද හමුදාපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා මහතා 2010 ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. නමුත් එහීදි ෆොන්සේකා මහතාගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද දහ අට ලක්ෂයකින් පමණ ජයග්‍රහණය ක⁣ළේය.

ඉන්පසු 2010 පෙබරවාරි 08 වැනිදා කොළඹදී හමුදා නිලධාරීන් පිරිසක් විසින් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු  රිමාන්ඩ් බාරයේ සිටිය දී 2010 වසරේ අප්‍රේල් මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග කළේය.

එම මැතිවරණයේදී මනාප ඡන්ද 98,456ක් ලබාගත් ඔහු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.නමුත් ඔහුට එරෙහිව යුද අධිකරණ දෙකකදී චෝදනා විභාග කෙරෙමින් පැවතිණි. ඉන් එක් යුධ අධිකරණ තීන්දුවක් මඟින් මාස 30ක සිරදඬුවමක් නියම කෙරිණි.

අනෙක් යුද අධිකරණ තීන්දුව මඟින් හිටපු හමුදාපතිවරයාට හිමිව තිබූ සියලු තනතුරු, පදක්කම් සහ වරප්‍රසාද හිමිකම් අහිමි කෙරිණි. සුදු කොඩි සිද්ධිය සහ හයිකොප් ගනුදෙනුව සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව නඩු දෙකක් මහාධිකරණයේ පවරා තිබිණි.

සුදු කොඩි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහු වරදකරු බවට තීරණය කෙරිණි. ඔහුට වසර තුනක සිරදඬුවමක් නියම වූ අතර සිරදඬුවම් ලැබීම නිසා සරත් ෆොන්සේකා මහතාට මාස 3කට අධික කාලයක් පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගී වීමට අවස්ථාව නොලැබිණි.

ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) සහ 91 වගන්තිය මත සරත් ෆොන්සේකා⁣ මන්ත්‍රී අසුන අහිමි කරන බවට එවකට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඔක්තෝබර් 07 වැනිදා මැතිවරණ කොමසාරිස්වරයාට දැන්වීය.

ව්‍යවස්ථාවේ 89 (ඈ) සහ 91 (අ) වගන්තිවල මෙසේ සඳහන් වෙයි.

89 ව්‍යවස්ථාව –  89.(ඈ) යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තෝරා පත් කිරීමේ ඡන්ද හිමියකු වීමේ අයිතිවාසිකම. ඡන්ද බලය අහිමිවීම. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 75 මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය:

91 ව්‍යවස්ථාව –  91.(1) (අ) යම්කිසි තැනැත්තකු 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වු හෝ නුසුදුසුකමකට යටත් වේ නම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජනය වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරාගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.

ෆොන්සේකා වෙනුවට කැටගොඩ පාර්ලිමේන්තුවට

සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමෙන් පසු ඊළඟට වැඩිම මනාප ලබාගෙන තිබුණේ ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතාය. ඔහු මන්ත්‍රී අසුනට නම් කෙරුණ නමුත් ඒ මහතා එම මන්ත්‍රී ධුරය බාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. පසුව එම මන්ත්‍රී ධුරය⁣ට ජයන්ත කැටගොඩ මහතා පත් කෙරිණි.

ජනාධිපති සමාව ලැබුණත් මන්ත්‍රී ධුරය නොලැබෙයි

2012 වසරේ දී සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබුණු අතර  2015 ජනවාරි මාසයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ෆොන්සේකා මහතාට එරෙහිව නගා තිබූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

ඉන්පසු තමාට අහිමි වූ මන්ත්‍රී ධුරය යළි ලබාදෙන ලෙස ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි⁣යේය.

නමුත් එම ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව මන්ත්‍රී ධුරයෙහි දිගටම කටයුතු කිරීමේ හැකියාව ජයන්ත කැටගොඩ මහතාට ලැබිණි.

ව්‍යවස්ථාව අනුව 89 (ඈ) සහ 91 (අ)  යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යයි.

පූර්ණ ජනාධිපති සමාව ලැබූ තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව දෙන ලෙස ෆොන්සේකා මහතා ඉල්ලා සිටි නමුත් අභියාචනාධිකරණය මෙහිදී ෆොන්සේකා මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුලේගොඩ, හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, කොළඹ තේරීම්භාර නිලධාරී එච්.ටී. කමල් පද්මසිරි, ලක්ෂ්මන් නිපුනආරච්චි, ජයන්ත කැටගොඩ සහ නීතිපතිවරයා මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටියහ.

ෆොන්සේකාගේ මන්ත්‍රී ධුරය අහිමි වූ දවසේ පාර්ලිමේන්තුව

සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන් 2010 ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති විවාදය තරමක් උණුසුම් විය.

රනිල් වික්‍රමසිංහ මහතා – ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා ඔබතුමාට මේ කාරණය කියන්න කැමැතියි. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. මේ Debate එක ගැන නොවෙයි. මේ ගරු සභාවේ මන්ත්‍රීවරයකු වන සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමාගේ මන්ත්‍රීකම අහෝසි කරනවා කියා අද වැඩ බලන මහ ලේකම්තුමා ඡන්ද කොමසාරිස්ට ලිපියක් යවලා තිබෙනවා. ඒක වැරදියි. මොකද, අපි තීරණය කළා මේ ගැන.

නියෝජ්‍ය කථානායක – ව්‍යවස්ථාව අනුව වැඩ බලන මහ ලේකම්තුමා කටයුතු කරලා තිබෙන්නේ. [බාධා කිරීම්]

රනිල් වික්‍රමසිංහ මහතා- 2010 සැප්තැම්බර් 24 වන දා මේ ගරු සභාවේදී ගරු කථානායකතුමා කිව්වා ඒ ගැන තීරණයක් ගන්න ඕනෑ කියලා. නමුත් ගරු කථානායකතුමා තීරණයක් දීලා නැහැ. [බාධා කිරීම්] කථානායකතුමා තීරණයක් දීලා නැහැ. [බාධා කිරීම්] මට මේ කථාව ඉවර කරන්න දෙන්න

නියෝජ්‍ය කථානායක – කරුණාකර නිශ්ශබ්ද වන්න. [බාධා කිරීම්]

රනිල් වික්‍රමසිංහ මහතා – 2010 සැප්තැම්බර් 24 වන දා හැන්සාඩ් වාර්තාවේ 743 වන තීරුවේ- [බාධා කිරීම්] මේ ගැන ප්‍රශ්න කළාම කථානායකතුමා කිව්වා, “‘තමුන්නාන්සේලා කියපු කරුණු හැම එකක් ගැනම අධ්‍යයනය කරලා ඕනෑ තීරණයක් ගන්න.” ඊට පස්සේ විජිත හේරත් මන්තීතුමා කියලා තිබෙනවා, ”යුද හමුදා පනතේ 144 වන වගන්තිය අනුව ඔබතුමා ඊයේ අධ්‍යනය කරනවා කියලා කිව්වා.” කියලා. [බාධා කිරීම්] නැවතත් කථානායකතුමා කිව්වා, ” හොඳයි මම ඒ ගැන බලන්නම්.” කියලා. ඒ නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කථානායකතුමා මෙම සභාවට එන තෙක් එම තීරණය..

නියෝජ්‍ය කථානායක – ව්‍යවස්ථාව අනුව වැඩ බලන මහ ලේකම්තුමා ක්‍රියාත්මක වෙලා තිබෙනවා.

නියෝජ්‍ය කථානායක – ගරු විපක්ෂ නායකතුමනි, ව්‍යවස්ථාව අනුව නීත්‍යානුකූලව කටයුතු කරලා තිබෙනවා. එතැනින් එහාට කියන්න දෙයක් නැහැ. [බාධා කිරීමක්]

නියෝජ්‍ය කථානායක – පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම්වරයා ව්‍යවස්ථාව අනුව කටයුතු කරලා තිබෙනවා. ඒකයි මට කියන්න තිබෙන්නේ ඊට වැඩිය දෙයක් නැහැ. කරුණාකර නිශ්ශබ්දව වාඩි වෙන්න. [බාධා කිරීමක්]

රනිල් වික්‍රමසිංහ මහතා – ව්‍යවස්ථාව අනුව නොවෙයි.

නියෝජ්‍ය කථානායක- ව්‍යවස්ථාව අනුව තමයි කටයුතු කරලා තිබෙන්නේ. ඊට එහා තීරණයක් නැහැ.

එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා – ගරු කථානායකතුමා මෙම සභාවට තීරණයක් දුන්නා, මම සොයලා බලලා ඒක කියන්නම් කියලා. [බාධා කිරීමක්] එතකොට එතුමා තවම කිව්වේ නැහැ, සරත් ෆොන්සේකා⁣ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවාද, නැද්ද කියලා.

නියෝජ්‍ය කථානායක – ව්‍යවස්ථාව අනුව තීරණයක් අරෙගන තිබෙනවා. එපමණයි පිළිතුර.

අජිත් කුමාර මහතා – මේ රටේ ජනතාව එල්ටීටීඊ එකට දඬුවම් දෙන්න ඕනෑය කියලා කිව්වා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද එල්ටීටීඊ නායකයන්ට සැප දෙනවා. කේපීලාට, කරුණා අම්මාන්ලාට, පිල්ලෙයාන්ලාට සැප දෙනවා. අද මේ රටේ ජනතාවගේ විශ්වාසය භංග කර තිබෙනවා. මහින්ද චින්තන ඉදිරි දැක්මේ තිබෙනවා, “කෘතගුණ සලකමු රණ විරු අභිනද” කියලා. අද මොකක්ද කර තිබෙන්නේ? කේපීලාට සැප දෙනකොට – [බාධා කිරීමක්] අද ආණ්ඩුව පම්පෝරි ගහන්නේ මේ රටේ යුද ජයග්‍රහණය ගැන කියලායි. ඒ යුද ජයග්‍රහණය වෙනුවෙන් නායකත්වය දුන්න ජනරාල් ෆොන්සේකා මැතිතුමාට මොකක්ද කර තිබෙන්නේ?

ඉස්සෙල්ලා තරු ගැලෙව්වා. විශ්‍රාම වැටුප නැවැත්වූවා. මේ දුෂ්ට ආණ්ඩුව, කළ ගුණ නොදත් ආණ්ඩුව,මේ ජනතා විරෝධී ආණ්ඩුව ජනරාල් ෆොන්සේකාගේ තරු ගැලෙව්වාට, විශ්‍රාම වැටුප නැවැත්තුවාට මේ රෙට් මහ ජනතාව එතුමාට දිය යුතු ගෞරවයත්, විශාම වැටුපත් ලබා දෙනවා කියලා අපි විශ්වාස කරනවා. අද මොකද කරලා තිබෙන්නේ? ගරු නියෝජ්‍ය කථානායකතුමා මේ සභාවට ප්‍රකාශ කළා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්තුමා අද වාර්තා කරලා තිබෙනවා, පාර්ලිමේන්තු මහ ලේකම්තුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (6) යටතේ මැතිවරණ කොමසාරිස්තුමාට ලිපියක් යවා තිබෙනවාය කියලා. රණ විරුවන්ට කෘතගුණ සලකන ආණ්ඩුව මොකක්ද කරලා තිබෙන්නේ? අද යුද අධිකරණ තීන්දුවයි, නීතිපති උපදේශ අනුවයි මැතිවරණ කොමසාරිස්වරයාට ලියුමක් යවලා තිබෙනවා ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරලා කියලා. ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව,අධිකරණ සංවිධාන පනත අනුව යුද අධිකරණය අදාළ වන්නේ නැහැ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න යුද්ධය අවසන් කරපු ජනරාල් ෆොන්සේකා මැතිතුමාට කරලා තිබන්නේ මේකයි. අද කැලෑ නීතියයි ක්‍රියාත්මක වන්නේ. අද නීතිපතිවරයා ආණ්ඩුවේ හෙංචයියෙක් බවට පත් කරලා, අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරලා, කැලෑ අධිකරණවලින් අද ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න කටයුතු කරලා තිබෙනවා. අපි අහනවා මොන නීතිය යටෙත්ද මේක කළේ කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවට මේ රටේ මහ ජනතාවගේ විශ්වාසය භංග වනවාය කියන පණිවුඩය දෙනවා කියා. ඒ නිසා තමුන්නාන්සේලා මේ කරන සාපරාධී අපරාධයට උත්තර දෙන්න ලැහැස්ති වෙලා ඉන්න. මේ අකටයුත්තට විරුද්ධව අපි මහ ජන අධිකරණයට යනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ජනරාල් ෆොන්සේකා මැතිතුමාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න කිසිම අයිතියක් තමුන්නාන්සේලාට නැහැ.

ඒ නිසා කලගුණ සලකනවාය කියපු ආණ්ඩුව, එල්ටීටීඊ සංවිධානය මර්දනය කරලා ඒකෙන් ලකුණු දා ගන්න ආණ්ඩුව ඒ සඳහා නායකත්වය දුන්නු ජනරාල් ෆොන්සේකා මැතිතුමාව අද ජම්පරය අන්දවලා, බෙලක් තැටිය දීලා, පැදුරු කෑල්ලකට යවලා තිබෙනවා. [බාධා කිරීමක්] ඔව්. ඇයි? එල්ටීටීඊ සංවිධානෙය් කොටි නායකයන්ට, කේපීලාට, කරුණා අම්මාන්ට, ත්‍රස්තවාදීන්ට සැප දෙන අත⁣රෙ මේ රටේ යුද්ධය අවසන් කරපු නායකයාට තමුන්නාන්සේලා මොකක්ද කරන්නේ? ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද මේ පාර්ලිමේන්තුවත් හෑල්ලු කරලා, මේ රටේ මහ ජනතාවත් හෑල්ලු කරලා මහ ජනතාවට මහින්ද චින්තනයෙන් දුන්නු පොරොන්දු කඩලා අද මොකක්ද කරලා තිබෙන්නේ? ඒ නිසා තමුන්නාන්සේලාට අප කියන්න ඕනෑ මේ යෝජනාව නොවෙයි ගේන්න ඕනෑ. මේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම ජනතාවගේ විශ්වාසය භංග කරලායි තිබෙන්නේ.

විමල් වීරවංශ මහතා – ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සමහර නිලධාරින් ගිහිල්ලා එය ඔළුවට දුන්නා; විෂ පෙව්වා; වයින් කළා. මේ කට්ටිය තමයි මෙතුමාව දේශපාලනයට ඇදන් ඇවිල්ලා මේ විපතට ඇදලා දැම්මේ. අදත් කරන්නේ මොකක්ද? අදත් කරන්නේ ඒ විපත ඉදිරියට අරෙගන යාමක්.දෙවි හාමුදුරුවෙන් මටත් දුකයි, අපේ ෆොන්සේකා මැතිතුමා ගැන. දුක නම් මොකද කරන්න ඕනෑ? යුද අධිකරණෙයන් ගත්තු තීන්දුවට අත්සන් නොකර ඉන්න සේනාධිනායකයාට බැහැ. අත්සන් නොකර හිටියොත් යුද අධිකරණය හෑල්ලුවට ලක් කළා වනවා. යුද අධිකරණය කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාෙග් අධිකරණයක් නොවෙයි. මේ පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත කරපු අධිකරණයක්. ඒකේ විනිසුරු මඩුල්ලට දැන් එක එක කථා කියනවා. හැබැයි ෆොන්සේකා මහත්තයා පත් කරලා, නැගෙනහිර ආඥාපති පරාක්‍රම පන්නිපිටියට විරුද්ධව නඩු අහපු යුද අධිකරණයේ හිටපු විනිසුරුවරුන් තුන් දෙනක් මේ යුද අධිකරණ විනිසුරු මණ්ඩලයේ ඉන්නවා. ඒ, පරාක්‍රම පන්නිපිටියව හිරේට දමන්න, ඔහුට දඬුවම් කරන්න පත් කරපු යුද අධිකරණය, ෆොන්සේකාම පත් කරපු යුද අධිකරණය. ඉතින් ඒ නිසා මේ විනිසුරුවරුන් අපි පත් කළ විනිසුරුවරුන් නොවෙයි. ඒ අය සරත් ෆොන්සේකා පත් කළ යුද අධිකරණවලත් හිටපු විනිසුරුවරුන්. ඒ විනිසුරුවරුන් තීන්දුවක් දුන්නාම ඒක අපේ තීන්දුවක් නොවෙයි. අනික, තීන්දුව දුන්නේ මොකක් ගැනද? හයිකොප් වංචාව ගැන; තමන් යුද හමුදාපති හැටියට ඉන්න ගමන් බෑනනුවන්ගේ සමාගමක් එක්ක යුද අවි ගනුදෙනු කිරීම ගැන. ඒ ගැන තීන්දුව ආවා. ඒකයි තීන්දුව. ඒකට සේනාධිනායකයා අත්සන් නොකළා නම් ඒකෙන් අනියමින් ගම්‍ය වනවා, “යුද අධිකරණ තීන්දුව තමන් පිළිගන්නේ නැහැ, වැරදියි” කියලා. ඒ වැරැද්ද කරන්න සේනාධිනායකයා හැටියට ජනාධිපතිතුමාට බැහැ. එතුමා සේනාධිනායකයා හැටියට අත්සන් කරනවා; ඒ තීන්දුවට අත්සන් කරන්න වනවා. දැන් තිබෙන්නේ ජනාධිපතිවරයා හැටියට එතුමාගෙන් සමාවක් ගන්න එක. සමාව ගන්න නම් මොකක්ද ක්‍රමය?

අපේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු දන්නවා, නැක්සලයිට් චෝදනාව යටතේ එදා විජය කුමාරණතුංග මහත්තයා, මර්වින් සිල්වා මැතිතුමා, ෆීලික්ස් පෙ⁣රේරා මැතිතුමා ඇතුළු කණ්ඩායමක්ම හිරයට දැම්මා කියලා. ඒ, නැක්සලයිට් කියලා බොරු චෝදනා යටතේ. අන්තිමට මොකද වුණේ? චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට තමන්ගේ ස්වාමි පුරුෂයාව ගෙදරට ගෙන්නා ගන්න ඕනෑ වුණා. ඕනෑ වුණේ නැත්නම් එතුමිය මොකද කරන්නේ? එතුමිය කියනවා, “අපට සමාව ගන්න දෙයක් නැහැ. අපි යනවා, වීදි සටන්. අපි යනවා, උද්ඝෝෂණ.” කියලා. ඒකෙන් කියවෙන්නේ මොකක්ද?

“චන්ද්‍රිකාට විජය ගෙදර නාවාට ප්‍රශ්නයක් නැහැ” කියලා. හැබැයි චන්ද්‍රිකා මැතිනියට ඕනෑකම තිබුණා, විජයව ගෙදර ගෙන්වා ගන්න. ඒ නිසා එතුමිය ගිහින්, ජයවර්ධන ජනාධිපතිතුමාව හම්බ වුණා. හම්බ වෙලා කිව්වා, “මගේ ස්වාමිපුරුෂයාට සමාව දෙන්න” කියලා. ජයවර්ධන ජනාධිපතිතුමා ඊට පස්සේ විජය කුමාරණතුංගට සමාව දුන්නා. එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ අනෝමා ෆොන්සේකා මැතිනිය කාපු ලණුව කෑවේ නැහැ. අනෝමා ෆොන්සේකා මැතිනියත්, තමන්ගේ ස්වාමි පුරුෂයා ගෙදර එන එකට නම් ඇත්තටම කැමැති, තමන්ගේ ස්වාමි පුරුෂයා ගෙදර ඇවිල්ලා සතුටින් සමාදානයෙන් -අර කලින් හිටියා වාගේ – ඉන්න නම් කැමැති, එහෙම නම් දෙයියනේ! කරන්න තිබෙන්නේ වෙන මොකක්වත් නොවෙයි. පා⁣රේ උද්ඝෝෂණ කරලා හරි යන්නේ නැහැ; හිනා වෙවී මාධ්‍ය සාකච්ඡා කරලා හරි යන්නේ නැහැ. අර චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විජය කුමාරණතුංග වෙනුවෙන් ජනාධිපති ජයවර්ධන හම්බ වෙලා, තමන්ගේ ස්වාමි පුරුෂයාට සමාව ඉල්ලුවා වාගේ ගිහිල්ලා ජනාධිපතිතුමාව හම්බ වෙලා තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් සමාවක් ඉල්ලන්න. ඔහුව නිදහස් කරලා දෙන්න කියලා ඉල්ලන්න. ඕකනේ කරන්න තිබෙන්නේ හත් වලාමේ!

ඉතින් ගෙදර එනවා දකින්න අකැමැති නම්, ගෙදර ආවොත් මළ වාතයක් කියලා හිතනවා නම්, ගෙදර ආවොත් දැන් බුක්ති විඳින නිදහස නැති වනවායි කියලා හිතනවා නම්, ගෙදර ආවොත් අලකලංචි ගොඩයි කියලා හිතනවා නම් ආන්න එහෙම නම් ඔය යන වැඩේ හරි, ඔහොම යන්. ඔය කරන ක්‍රමය හරි, ඔහොම යන්. දවසට උද්ඝෝෂණ දෙකයි, පෙළපාළි තුනයි, මාධ්‍ය සාකච්ඡා හයයි, ඉතාලියේ රැස්වීම් දෙකයි, එංගලන්තෙය් රැස්වීම් තුනයි. මාර ජොලිය. ලෝකේ වටේ යනවා, රට වටේ යනවා, අර්ජුන රණතුංග මැතිතුමන්ලා ඔක්කොම ළඟින් ඉන්නවා. ඉතින් ඒක හොඳයි. ෆොන්සේකා මැතිතුමා එනවාට අකැමැති නම් ඕක තමයි කරන්න ඕනෑ දේ. ගෙදර එනවාට අකැමැති නම්, ගෙදර සාමය බිඳ වැටෙයි කියලා භය නම් ඕක තමයි ක්‍රමය. ෆොන්සේකා මහත්තයා ගැන අපිත් දුක් වනවා. මේ මිනිස්සු රවට්ටලා, අනේ! නොදන්න දේශපාලනයකට ඇද ගෙන ඇවිල්ලා, අර බ්‍රේක් නැති කටෙන් එක එක ඒවා කියවලා, මේ අය ඔක්කොම දැන් ඒ මනුස්සයාව අමාරුවේ දාලා, දැන් මෙතැන බබාලා වාගේ ඉන්නවා. ඇවිල්ලා, බොරුවට රීති ප්‍රශ්නයක් මතු කරනවා; “ඇයි මේ මන්ත්‍රී ධුරය නැති වන්නේ?” කියලා අහනවා. නැති වන්නේ තමුන්නාන්සේලා කරපු කෙහෙල් මල හන්දා.

ඔබතුමන්ලා තමයි ඒ මනුස්සයාව මේ අමාරුවේ දැම්මේ. ඔබතුමන්ලා තමයි මේ අමාරුෙව් දැම්මේ. දැන්වත් අපි කියන්නේ, “ඒ මනුස්සයාව තවත් අමාරුවේ දමන්න එපා, වඳින්නම්” කියලා. වඳින්නම්, ඒ මනුස්සයාෙගන් තවත් දේශපාලන ප්‍රයෝජන ගන්න.මේ ගොල්ලෝ කැමැතියි, හිරේ ඉන්නවාට. අපි නම් කැමැති එළියේ ඉන්නවාට. එතුමා එළියේ හිටියොත් තමයි බ්‍රේක් නැති කටෙන් සෑහෙන දේවල් කියවෙන්නේ. හත් වලාමේ එළියේ හිටියා නම් ජනතා විමුක්ති පෙරමුණේ අයටත් දෙකක් ඇනලා මේ වන කොට. දෙකක් ඇනලා! විපක්ෂ නායකතුමාට මොනවා වෙලාද කියා හොයා ගන්න බැරි වෙනවා, එහෙනම්. අපි කැමතියි, එතුමා පරමාණු බෝම්බයක් වාගේ කෙළින්ම ඔතැන ඉන්නවා නම්. අන්ත්‍රාවයි. පුපුරණසුලුයි. ඈත් වෙලා හිටියොත් හරි. ළං වුණොත් ඉවරයි. එතුමා එළියේ ඉන්න ඕනෑ.

විමල් වීරවංශ මහතාගේ කතාවෙන් පසු අදහස් දැක්වූයේ ජෝසප් මයිකල් පෙරේරා මහතාය. විමල්ගේ කතාවෙන් පසු තත්ත්වය ගැන වෙනත් කොටසකින් බලාපොරොත්තු වන්න.
 

Previous articleපොලිස්පති ඉවත් කිරීම ගැන අලි සබ්‍රිගේ ප්‍රකාශය ජයම්පති බොරු කරයි 
Next articleකුට්ටිමනීගේ නීතිය ප්‍රේමලාල්ට අදාළ නැද්ද ? – සජිත්ගේ ප්‍රශ්නයට ආණ්ඩුව නිහඬයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here