කුට්ටිමනීගේ නීතිය ප්‍රේමලාල්ට අදාළ නැද්ද ? – සජිත්ගේ ප්‍රශ්නයට ආණ්ඩුව නිහඬයි

මරණ දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටි සෙල්වරාජා යෝගරාජන් හෙවත් කුට්ටිමනීට 1982 දී පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමට අවස්ථාව ලබානොදුන් බවත්, එම පූර්වාදර්ශය මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර සම්බන්ධයෙන් නොසලකා හැරියේ ඇයි ද යන්න පිළිබඳවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කුට්ටිමනී නම් කොට තිබූ අවස්ථාවක, එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් එවකට කතානායක ධුරය දැරූ බාකිර් මාකාර් වෙත යොමු කළද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 වගන්ති ප්‍රකාරව කතානායකවරයා ඔහුට දිවුරුම් දීමට ඉඩ නොදුන් බවත් විපක්ෂ නායකවරයා අද (11) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කුට්ටිමනීට දඬුවම් නියම වී තිබූ බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

“1982 සෙල්වරාජා යෝගචන්ද්‍රන් නැත්නම් කුට්ටිමනී නමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ද්‍රවිඩ එක්සත් පෙරමුණ පාම මන්ත්‍රී කෙනෙක් විදියට නම් කරා ටෙලෝ සංවිධානයේ නායකයා හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට නම් කරා. මැතිවරණ කොමසාරිස්වරයා ඒ නම මන්ත්‍රී කෙනෙක් විදියට ගැසට් කරලා කථානායකවරයාට පාර්ලිමේන්තු මහලේකම්ට යවලා තියෙනවා.

එවිට ඔහු ත්‍රස්තවාදී පනත යටතේ මරණ දඩුවමක් හිමිවී සිටි කෙනෙක්. විශේෂයෙන් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරලා තිබුණ අවස්ථාවකදීත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්නේ නෑ එවකට සිටිය කථානායකවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 ව්‍යවස්ථාවලට අනුව හිටපු ගරු කථානායක බාකීර් මාකර් මහතා බොහොම වැදගත් පූර්වාදර්ශයක් ලබාදීලා තියෙනවා ඒ ප්‍රතිපත්තිය තුළ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ පූර්වාදර්ශයට පටහැනිව තමයි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 89 සහ 91 ව්‍යවස්ථාවන් උල්ලංඝණය කරමින් මේ දින කිහිපයකට පෙරදි එම තීන්දුව අරගෙන තියෙන්නේ.

සෙල්වරාජා යෝගචන්ද්‍රන් කියන පුද්ගලයට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වුණේ මරණ දන්ඩනය නියම වෙලා අභියාචනය ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවකදී. ඇයි ඔබතුමා ඒ පූර්වාදර්ශය ක්‍රියාත්මක නොකරන්නේ.

මම පැහැදිලිව කියනවා ඔබතු⁣මාගේ වගකීම තමයි මේ සභාව ආරක්ෂා කිරීමත්, මන්ත්‍රීතුමන්ලාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එකත්.රටේ උත්තරීතර නීතිය ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕනේ.ඔබතුමා ගත්ත තීරණයෙන් මට හැඟී යන විදියට ව්‍යවස්ථාවේ 89 සහ 91 වගන්ති උල්ලංඝණය වෙලා තියෙනවා කියලා කණගාටුවෙන් ප්‍රකාශ කරනවා.”

මෙහිදී කතානායකවරයා මෙන්ම ආණ්ඩු පක්ෂය ද නිහඬව සිටීම විශේෂත්වයක් වූ අතර, සභානායක දිනේෂ් ගුණවර්ධන ඉල්ලා සිටියේ එම කරුණු හැන්සාඩ් ගත නොකරන ලෙසයි.

කුට්ටුමනී කවුද ?

1981 මාර්තු 25 වැනිදා වඩමාරච්චි සිට යාපනයට එමින් සිටි මහජන බැංකුවට අයත් වෑන් රථයක් යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ නීර්වේලිහිදී මංකොල්ලකෑමට කුමන්ත්‍රණ කිරීම සහ මංකොල්ලය සිදු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන ලද නඩුවේ පළමු විත්තිකරුවා වූයේ නඩරාජා තං‍ගවේලු හෙවත් තංගදුරෙයි ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලංකා ඉතිහාසයේ පවරන ලද දෙවන නඩුව සේ සැලකෙන එහි අනෙකුත් විත්තිකරුවන් අතරට සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී, ගනේෂනාදන් ජෙගනාදන් හෙවත් ජෙගන්, සුබ්‍රමනියම් දේවන්, නඩරාජා සිවපතම් හෙවත් සිවපාලන් මාස්ටර් හා නඩේසුදාසන් අයත් වූහ. පසුකාලීනව දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (TELO) නායකත්වයට පත් ශ්‍රී සභාරත්නම් ද විත්තිකරුවකු ලෙස නම්කර සිටියද, ඔහු ඉන්දියාවට පළායෑම හේතුවෙන් නඩු විභාගයට පෙනී නොසිටි බව මාධ්‍ය වාර්තා කර ඇත. 1982 නොවැම්බර් 02 වැනිදා ආරම්භ වූ මෙම නඩු විභාගය නිමාවට පත්කරමින් 1983 පෙබරවාරි 24 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත්කළ අධිකරණය, විත්තිකරුවන් හය දෙනාම වැරදිකරුවන් බවට පත්කරමින් ඔවුන් සියල්ලන්ට මරණ දඬුවම් නියම කරනු ලැබුවේය.

තීන්දුව ලබාදී මාස පහකට පසු ජූලි මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ සිටි තංගදුරෙයි සහ කුට්ටිමනී ඇතුළු දෙමළ සිරකරුවන් 54 දෙනෙකු ඝාතනය කෙරිණි. කුප්‍රකට කළු ජූලියේ ආරම්භය එය විය.

මන්ත්‍රී ධුරය 

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ වඩුක්කොඩෙයි කොට්ඨාසය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වූ ටී.තිරුනාවුක්කාරු 1982 අගෝස්තු 01 වැනිදා මියයෑමෙන් පසු, හිස් වූ මන්ත්‍රී ධුරයට කුට්ටිමනීගේ නම නිර්දේශ කෙරිණි. ඒ ඔක්තෝබර් 1982 වසරේ 15 වැනිදා ය. එවකට බන්ධනාගාර කොමසාරිස් ධුරය දැරූ ප්‍රියා දෙල්ගොඩ විසින් ඔක්තෝබර් 16 වැනිදා නිවේදනය කළේ දිවුරුම් දීම සඳහා ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කළ නොහැකි බවයි. කුට්ටිමනීගේ නම අදාළ මන්ත්‍රී ධුරයට ගැසට් කර තිබූ නිසා, වෙනත් අයෙකුට දිවුරුම් දීමේ හැකියාවක් ද නොවීය. එම නිසා ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.


Cover Photos : අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

Previous articleහිරේ ගිය නිසා ෆොන්සේකාගේ මන්ත්‍රීකම නැතිවූ හැටි
Next article20න් නීතිඥ වෘත්තීයටත් බලපෑම් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here