ආසාදිතයන් හෙළිකිරීම කොවිඩ් 19 පාලනයට බාධාවක් – නීතිමය පියවර ගත හැකිද ?

(ශාලික විමලසේන)

කොවිඩ් 19 ආසාදිතයන් හෝ ආශ්‍රිතයන්ගේ අනන්‍යතාව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම බරපතළ තත්ත්වයක් බවත්, එය වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාවලියට බාධාවක් බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අවධාරණය කරයි.

මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමක් 

කවර තත්ත්වයක් යටතේ වුවද, රෝගීන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම ආචාරධාර්මික නොවන බව ද පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා, වැඩිදුරටත් සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඊට අදාළ මාර්ගෝපදේශ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවයි. ඇතැම් රූපවාහිනී නාලිකා මගින් ආසාදිතයන් හෝ ආශ්‍රිතයන් රෝහලට හෝ නිරෝධායන ක්‍රියාවලීන් සඳහා රැගෙන යෑම වීඩියෝගත කොට, ඔවුන්ගේ මුහුණු හඳුනාගත හැකි ආකාරයට ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සමාජමාධ්‍ය ඔස්සේ බරපතළ විරෝධයක් එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍යවරයා ඉහත අදහස් පළ කළේය.

නීතිමය පියවර ගත හැකියි !

මාධ්‍යවේදීන් විසින් පෞද්ගලික පරිශ්‍ර තුළදී කරනු ලබන මෙවැනි ක්‍රියාවලියකට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව නීතිඥ ජගත් ලියන ආරච්චි පෙන්වා දෙයි.
‘මාධ්‍යවේදීන් මේ ආසාදිතයන්ගේ පෞද්ගලිකත්වය අනාවරණය කරන හැටි රූපවාහිනී නාලිකාවලින් අපි දැක්කා. පෞද්ගලික පරිශ්‍ර තුළ ඔවුන් වීඩියෝ කරනවා, ඡායාරූප ගන්නවා අපි දැක්කා. අපේ රටේ ඒක කරන්න බෑ. නීතිවිරෝධියි. පෞද්ගලිකත්වයේ නීතිය කියන එක නැතත්, අපේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා අයුතු ඇතුළු වීම කියලා වරදක්. පොලිසියට, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අංශවලට ඕනෑම වෙලාවක අපේ වත්තට ඇතුළුවෙන්න පුළුවන් නිරෝධායන ක්‍රියාවලියක් සඳහා. අපි අකමැති වුණත් ඒක කරන්න නිරෝධායන නීතිවලින් ඔවුන්ට බලය පවරලා තියෙනවා. ඒකෙ කොහෙවත් නෑ, මාධ්‍යවේදීන්ට එන්න පුළුවන් කියලා. මාධ්‍යවේදියෙක් පෞද්ගලික පරිශ්‍රයකට ඇතුළු වෙනව නම් ඒ සඳහා ඒ පරිශ්‍රයේ හිමිකරු හෝ භුක්තිවිඳින්නාගේ අවසරය අනිවාර්යෙන්ම ගත යුතුයි. මාධ්‍යවේදියාට බෑ, පොලිසියත් එක්ක ආවෙ, පීඑච්අයි මහත්තයත් එක්ක ආවෙ කියලා නිදහසට හේතු කියන්න.’

නිරෝධායන රෙගුලාසිවල තත්ත්වය

මේ පිළිබඳව MediaLK සමග වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥවරයා සඳහන් කළේ ආසාදිතයන් හෝ එවැනි සැක සහිත පුද්ගලයන් කොන් කිරීම මගින් ඔවුන් සැඟවීමේ වැඩි ඉඩක් ඇති බවයි. එය නිරෝධායන ක්‍රියාවලියට බාධාවක් බව ද පෙන්වා දෙන ඔහු, ඒ ආකාරයට නිරෝධායන ක්‍රියාවලියට බාධා කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බව නිරෝධායන රෙගුලාසිවල සඳහන් වන බව ද වැඩිදුරටත් පැවසීය. ‘නිරෝධායන රෙගුලාසිවල වැඩිදුරටත් තියෙනවා, ඒ විදිහට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ව නොපමාව මහේස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒකෙන් නොකියා කියන්නෙ පොලිසියට ඇප දෙන්න බෑ කියන එකයි. ඒක බරපතළ වරදක් විදිහට මේ පනත හදපු 1897 දිත් පිළිඅරන් තියෙනවා.’

ආසාදිතයන් අපරාධකරුවන් කරයි 

මාධ්‍ය විසින් මේ ආචාර්ධර්ම විරෝධී වාර්තාකරණය සිදු කිරීම මගින් ආසාදිතයන් අපරාධකරුවන් ලෙස හැඟවීමක් කරන බවත්, එම තත්ත්වය නිසා ඔවුන් සැඟවීම වැළැක්විය නොහැකි කරුණක් වන බවත් මාධ්‍ය ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානී දීපාංජලී අබේවර්ධන අවධාරණය කරයි. ලංකාවට වඩා වැඩි කොවිඩ් 19 ව්‍යාප්තියක් සහිත රටවල් මේ පිළිබඳ පුවත් ආවරණය කළ ආකාරය නිරීක්ෂණය කළ යුතු බවත්, එම රටවල සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පමණක් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ ලබාදුන් බවත් පෙන්වා දුන් අබේවර්ධන මහත්මිය, කිසිදු අවස්ථාවක ආසාදිතයන් අනාවරණය නොකිරීමට ඔවුන් වගබලා ගත් බව ද සඳහන් කළාය. මාධ්‍ය ආචාරධර්මවල ඇති මූලික ම කරුණක් මේ ආකාරයට උල්ලංඝනය කිරීම දැඩි කනගාටුවට කරුණක් බවත්, මීට පෙර මාර්තු මාසයේදී ද මෙවැනි තත්ත්වයක් ඇති වූ විට ඊට එරෙහිව ප්‍රබල විරෝධයක් මතු වුවද, යළිත් එය ඒ ආකාරයටම සිදුවීම බරපතළ තත්ත්වයක් බවත් MediaLK සමග වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවාය.

විද්‍යුත් මාධ්‍යයටත් ආචාර්ධර්ම පද්ධතියක්

මෙරට විද්‍යුත් මාධ්‍ය ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙතෙක් පිළිගත් ආචාරධර්ම පද්ධතියක් නැත. එය මෙවැනි සිදුවීම්වලදී බරපතළ තත්ත්වයක් ලෙසත්, විද්‍යුත් මාධ්‍යවල සේවය කරන මාධ්‍යවේදීන්ට එවැනි දැනුවත්භාවයක් නොමැති වීම මෙවැනි කනගාටුදායක තත්ත්වයන්ට හේතු වී තිබෙන බවත් සිවිල් සමාජ ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ඒ සම්බන්ධයෙන් විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ කැඳවුම්කරු නුවන් ජූඩ් ලියනගේගෙන් MediaLK කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි. 2019 වසරේ සිට එහි කටයුතු සිදු වන බවත්, පසුගිය කාලයේ ඇති වූ ලොක්ඩවුන් තත්ත්වයන් නිසා යම් තරමක ප්‍රමාදයක් පැවතුණද, කඩිනමින් එම කටයුතු අවසන් කිරීමට සංසදය කටයුතු කරන බවත් ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්පත්වල තත්ත්වය

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කර්තෘ සංසදය මගින් සකස් කරන ලද පිළිගත් වෘත්තීය ආචාරධර්ම පද්ධතියක් මෙරට පුවත්පත්වලට අදාළ ව තිබේ. එහි 07 වන අංකය යටතේ මෙසේ සඳහන් ය.
‘පෞද්ගලිකත්වය – 7.1 පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත, ඔවුන්ගේ ගේ-දොර, සෞඛ්‍යය සහ සහසම්බන්ධතාද, සංඛ්‍යාංක සන්නිවේදනය කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා පුවත්පත් විශේෂ සැලකිල්ලකින් ක්‍රියාකළ යුත්තේය. පෞද්ගලිකත්වයට ඇති මේ අයිතිය අදාළ පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කළ හැක්කේ පොදුජන සුබසිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේ නම් පමණකි.
7.2 පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අපේක්ෂාවක් පවත්නා පෞද්ගලික හෝ පොදු තැනක සිටින පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්ත නැතිව ඡායාරූපගත කරනු සඳහා දිගු කාච සහිත හෝ වෙනත් ආකාරයක කැමරා භාවිතය, පොදු යහපත පිණිස නොවන්නේ නම්, එය පිළිගත නොහැක්කේය.
7.3 ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිද්ධි පිළිබඳ කරුණු විමසීමේදීත්, ඒ සඳහා ඒවාට සමීපවීමේදීත් නිසි සංවේදීතාවෙන් හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් ද කටයුතු කිරීමට පුවත්පත් කලාවේදීහු විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේය.

සමාජ සුබසිද්ධියට පටලවා නොගත යුතුයි 

පසුගිය මාර්තු – ජූලි කාලයේ කොවිඩ් 19 ව්‍යාප්තියට අදාළ කාලයේදී මෙන්ම, මෙවර ද මාධ්‍ය ආචාර්ධර්ම උල්ලංඝනය කිරීම පුවත්පත්වලට සාපේක්ෂව විද්‍යුත් මාධ්‍යයේ වැඩි බව ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරි කමල් ලියනාරච්චි MediaLK වෙත පැවසීය. සාමාන්‍ය තත්ත්වයන් යටතේ වාර්තාකරණයට වඩා මෙවැනි සංකීර්ණ අවස්ථාවකදී මාධ්‍යයට බරපතළ වගකීමක් පැවරෙන බවත්, එහිදී නිවැරදි බව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම තීරණාත්මක කරුණු බවත් අප කළ විමසීමට පිළිතුරු දෙමින් ලියනාරච්චි මහතා අවධාරණය කළේය. මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ යන කුමන මාධ්‍යයකට වුවද, පෞද්ගලිකත්වය අනාවරණය කිරීමේ අයිතියක් නැති බවත්, පෞද්ගලිකව අදාළ පුද්ගලයා පෙනී සිටීමට කැමැත්තක් දක්වන අවස්ථාවක හැර, අනෙක් අවස්ථාවලදී මේ පිළිබඳ මාධ්‍යවේදීන් දැඩි අවධානය යොමු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

සමාජ සුබසිද්ධිය සඳහා ඇතැම් අවස්ථාවලදී මාධ්‍යවේදීන්ට යම් යම් අනාවරණ කිරීමට සිදු වුවද, එහිදීද අවම මානුෂීය සහ සදාචාරාත්මක තත්ත්වයන් ආරක්ෂා කළ යුතු බවත්, මේ වසංගත තත්ත්වය යටතේ ආසාදිතයන් හෝ ආශ්‍රිතයන්ගේ අනන්‍යතාව අනාවරණය කිරීමේ ආචාරධර්ම විරෝධී තත්ත්වය ඒ සමග පටලවාගත යුතු නැති බවත් වැඩිදුරටත් පුවත්පත් කොමිසමේ පැමිණිලි නිලධාරිවරයා අවධාරණය කළේය.

Previous articleආසාදිතයින් සැගවීමට හේතුව ජනමාධ්‍ය ඔවුන් අපරාධකරුවන් කිරීමයි – YJA
Next articleජාලිය සේනාරත්න පීඒ තනතුරකට : අජිත් රෝහණ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ බැලීමට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here