ආසාදිතයින් සැගවීමට හේතුව ජනමාධ්‍ය ඔවුන් අපරාධකරුවන් කිරීමයි – YJA

කොරෝනා වෛරසය ආසාදනය වූවන් ඉදිරිපත් නොවීමට සහ ඉදිරිපත් වීමට බියක් දැක්වීමට ප්‍රධානම හේතුව ජනමාධ්‍ය මගින් කොවිඩ්-19 ආසාදිතයන් අපරාධකරුවන් සේ සලකා වාර්තා කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන ආකාරයට වාර්තා කිරීම බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය(SLYJA) පවසයි.

කොවිඩ්-19 පිළිබඳ වාර්තා කරන විට ඇතැම් ජනමාධ්‍ය රෝගය ආසාදනය වූවන්ගේ සහ රෝගය අසාදනය වූවායැයි සැකකරන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් කරන වාර්තා කිරීම් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එම සංගමය කියයි.

වෛරසය ආසාදිතයන් සහ ආසාදනය වූවායැයි සැකකරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ සිටම ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ ආසාදිතයන් වැරදිකරුවන්යැයි යන හැඟීම මහජනතාවට ඇතිවන අයුරින් සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන අයුරින් බව එම සංගමය පෙන්වා දෙයි.

මීට පෙර කොරෝනා බෝකරන්නේ ඒක්තරා ජාතියකට අයත් පිරිසක් බවට ඒ්ත්තු ගැන්වීමට පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල ව්‍යාජ පුවත් පවා ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළ අතර ඒය සමාජයේ දැඩි කතාබහකට ලක් වූ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

මෙවර covid-19 ආසාදනය වීම සම්බන්ධයෙන් ඇතැම් ජනමාධ්‍ය ඇඟළුම් සේවිකාවන් අගතියට පත්වන ආකාරයෙන් සහ ඔවුන් කෙරෙහි සමාජයේ ද්වේශයක් ඇතිවන ආකාරයෙන් වාර්තා කිරීම් කර තිබෙනු දක්නට ලැබුණු බව එම සංගමය කියයි.

කොරෝනා ආසාදනය වූවන්ගේ සහ ආසාධිතයැයි සැක කරන පුද්ගලයන්ගේ නිවාස පෙන්වමින්, ඔවුන්ට පීසීආර් පරීක්ෂණය සිදු කරන ආකාරය පෙන්වමින් සහ ඔවුන්ගේ මුහුණු පෙන්වමින් වාර්තා කිරීම් සිදු කරන ආකාරය පසුගිය දින කිහිපයේම දක්නට ලැබූණු බවත් මෙවැනි වාර්තා කිරීම් යහපත් ජනමාධ්‍ය සංස්කෘතියකට කොහෙත්ම නොගැලපෙන බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.එම වාර්තා කිරීම් මාධ්‍ය ආචාරධර්ම අමුඅමුවේ උල්ලංඝණය කිරීමක් බව ද ඔවුහු පෙන්වා දෙති.

covid-19 නිසා පීඩාවට පත්වී සිටින ජනතාවට ජනමාධ්‍ය නිසා තවත් පීඩනයක් ඇතිවීම සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයක් බවත් ඒබැවින් මෙවැනි ආචාර ධර්ම විරෝධී සහ සහ නීති විරෝධී වාර්තා කිරීම් නතර කරන ලෙසත්, ආචාරධාර්මිකව වාර්තා කිරීම් සිදු කරන ලෙසත් එම සංගමය ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

ජනමාධ්‍යවලට සිය රාජකාරි කරගෙන යෑමට ඉඩ ඇත්තේ ලෝකයේ පොදුවේ පිළිගත් ජනමාධ්‍ය ආචාරධර්මවලට සහ ශ්‍රී ලංකාවේ බලපවත්නා නීති රාමුව ඇතුළේ බව ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

Previous articleඋයිලන්කුලම පොලිස් මුරපොල නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි : බොන්න වතුර නැතැයි ප්‍රදේශවාසීන්ගේ අප්‍රසාදය
Next articleආසාදිතයන් හෙළිකිරීම කොවිඩ් 19 පාලනයට බාධාවක් – නීතිමය පියවර ගත හැකිද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here