උයිලන්කුලම පොලිස් මුරපොල නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි : බොන්න වතුර නැතැයි ප්‍රදේශවාසීන්ගේ අප්‍රසාදය

(හසරිඳු රාජපක්ෂ)

මන්නාරම පොලිස්ථානයේ නිලධාරීන් දෙදෙනකු නිරෝධායනය කිරීම සඳහා මන්නාරම උයිලන්කුලම පොලිස් මුරපොල නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර ඇතැයි පොලිසිය කියයි.

මන්නාරමින් කෝවිඩ් ආසදන වු රෝගියකු හදුනාගැනීමත් සමග ඔහු අසල සිටි බවට සැක කෙරෙන මන්නාරම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු නිරෝධානයට ලක්කිරීම සඳහා මෙම පොලිස් මුරපොල නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

උයිලන්කුලම පොලිස් මුරපොල තුළ පොලිස් නිලධාරීන් 10කට වැඩි පිරිසක් සේවය කරන අතර ඔවුන් මේ වන විට මන්නාරම පොලිස් ස්ථානය වෙත යොමුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

උයිලන්කුලම ප්‍රදේශයට පානීය ජලය පිරිසිදුකර සපයන ජල පිරිසිදුකාරකය උයිලන්කුලම පොලිස් මුරපොල අසල සවිකර ඇති අතර එය මෙතෙක් ක්‍රියාක්මක කරන ලද්දේ එහි සේවය කළ පොලිස් නිලධාරීන් විසිනි. එම ස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමත් සමග එම ප්‍රදේශයේ ජනතාවට ජලය ලබාගැනීමේ අපහසුතාවක් ඇතිව තිබෙන බවද ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොදාගත හැකි හුදකලා ප්‍රදේශ ඕනෑතරම් තිබියදී මෙම ස්ථානය නිරෝධානයන මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව අප්‍රසාදය පළකර සිටිති.

Previous articleඇතැම් විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට සෞඛ්‍ය ආරක්ෂිිිත ද්‍රව්‍ය තවම නෑ – ලංකා ගුරු සංගමය 
Next articleආසාදිතයින් සැගවීමට හේතුව ජනමාධ්‍ය ඔවුන් අපරාධකරුවන් කිරීමයි – YJA

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here