ගෝඨාභයගේ පාර්ලිමේන්තු සභාව ‘වැඩක් නැතුවම’ අවසන් !

(ශාලික විමලසේන)

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවන ලද පාර්ලිමේන්තු සභාව අද (04) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මුල්වරට රැස් වූ අතර, හඳුන්වාදීම් කිහිපයකින් පසු සභාවේ වැඩ අවසන් කෙරිණි.

කතානායකවරයා විසින් සභාවට සහභාගි වූ සාමාජිකයන් පිළිගැනීමෙන් පසු, කතානායකවරයාගේ උපදෙස් මත නිල බලයෙන් සභාවේ සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තු සභාවේ නෛතික තත්ත්වය සහ එහි වැඩ කටයුතු සිදු වන ආකාරය සම්බන්ධයෙන් සාමාජිකයන්ට දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල බලයෙන් මෙහි සාමාජිකයන් වන අතර, අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයාත්, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස කබීර් හෂීම් මන්ත්‍රීවරයාත් මෙම සභාවට සහභාගි වී තිබේ. පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මුල්ම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවට මාධ්‍ය වාර්තා කළද, එය ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිත මීළඟ සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට එකඟතාව පළවී ඇත.

මහින්දගේ පාර්ලිමේන්තු සභාව

මීට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන් වූයේ අගමැතිවරයා ලෙස දි.මු.ජයරත්න, විපක්ෂ නායකවරයා ලෙස රනිල් වික්‍රමසිංහ, කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ, අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස ඒ.එච්.එම්.අස්වර්, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස ඩී.එම්.ස්වාමිනාදන් සහ එවකට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වූ ධම්මික කිතුල්ගොඩ ය.

මාස හතක් නැති පොලිස්පති

පසුගිය මාර්තු 31 වැනිදා සිට පොලිස්පති ධුරය පුරප්පාඩු වී තිබේ. ඊට හේතුව අනිවාර්ය නිවාඩු යවා සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එදින සිට විශ්‍රාම යෑම ය. ඒ වනවිටත් පොලිස්පති ධුරයේ වැඩ බැලීමට පත්කර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, අද වනවිටත් වැඩ බලන පොලිස්පති ධුරයේම කටයුතු කරයි. ඊට හේතුව පසුගිය මාස හත පුරාම ජනාධිපතිවරයා විසින් මෙතෙක් ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක සභාවට පොලිස්පතිවරයකු සඳහා නමක් යෝජනා නොකිරීම ය.

බලය තිබූ සභාව සහ බලයක් නැති සභාවක්

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් බලාත්මක කරන ලද ව්‍යවස්ථාදායක සභාව වෙනුවට විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙම පාර්ලිමේන්තු සභාව ස්ථාපිත කෙරිණි. එහෙත් ව්‍යවස්ථාදායක සභාව සතුව තිබූ බලතල මෙම පාර්ලිමේන්තු සභාවට හිමි නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති. ජනාධිපතිවරයා විසින් ඉහළ අධිකරණ විනිසුරුවරුන් සහ පොලිස්පති, නීතිපති, විගණකාධිපති ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරි තනතුරු සඳහා නම්කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් නිරීක්ෂණය කොට, අනුමත කිරීමේ හෝ නොකිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට තිබිණි. උදාහරණයක් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අභියාචනාධිකරණයේ සභාපති ධුරයට ඒ.එච්.එම්.ඩී.නවාස් විනිසුරුවරයා අවස්ථා දෙකකදී නම් කළද, ඒ අවස්ථා දෙකේදීම ව්‍යවස්ථාදායක සභාව මගින් එය ප්‍රතික්ෂේප කරන ලදි. ඊට හේතු ලෙස ව්‍යවස්ථාදායක සභාව පාර්ශ්වයෙන් දක්වා තිබුණේ ඔහුට එරෙහිව අල්ලස් නඩුවක් විභාගවීම ය.

ප්‍රජාතන්ත්‍රවාදය

ඉන්පසු තුන්වැනි වරට ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම එවූ විට, එය ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කෙරිණි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ව්‍යවස්ථාදායක සභාවේ එවකට සිටි සාමාජිකයෙකු පැවසුවේ විනිසුරුවරයාට එරෙහිව අල්ලස් කොමිසම මගින් පවරා තිබූ නඩුව පිළිබඳ සභාවේ සාමාජිකයන් දීර්ඝ විමර්ශනයක් කළ බවත්, එහිදී ඔහු එවකට නීතිපති ධුරය දැරූ මොහාන් පීරිස්ගේ උපදෙස් අනුව කටයුතු කර ඇතැයි පොදු එකඟතාවකට පැමිණි බවත්, එම නිසා තුන්වැනි වාරයේදී ජනාධිපතිවරයාගේ නිර්දේශය අනුමත කළ බවත් ය.

ලංකා විදුලි පෞද්ගලික සමාගමට 2010 දෙසැම්බර් 01 සිට දෙසැම්බර් 30 දක්වා කාලයේ දී දේපොළ මිල දී ගැනීමක් සම්බන්ධයෙන් ලබා දුන් නීති උපදෙස් පිළිබඳව මේ නඩුව පවරා තිබේ. හිටපු නීතිපති සහ අගවිනිසුරු මොහාන් පීරිස්, අභියාචනාධිකරණ සභාපති ඒ. එච්. එම්. දිලිප් නවාස් සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ හිටපු සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩුට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ චෝදනාව වන්නේ අල්ලස් හෝ දූෂණ පනතට අනුව වරදක් ලෙස ගැනෙන ‘ලෙකෝ’සමාගමේ දේපොළ වැරදි සහ අනීතික ලෙස භාවිත කිරීමට සහාය දීමයි. මෙම චෝදනාවට අදාළ කාලයේ දී ඒ. එච්. එම්. දිලිප් නවාස්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇත. එම කාලයේ නීතිපතිවරයා වූයේ මොහාන් පීරිස් ය.

19 ගැන වැපිරූ මත

පසුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී, වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයෙන් දිගින් දිගටම පැවසුවේ කුමන අපරාධයක් කළද, පොලිස්පතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති වීම බරපතළ ගැටළුවක් බවයි. ඔවුන් එසේ පැවසුවේ අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාව මත හිටපු පොලිස්පති ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව අවධාරණය කරමින් ය. ඊට හේතුව දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව බලාත්මක කිරීම බව ද පැවසිණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දහනව වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළ කණ්ඩායමේ සාමාජිකයකු වූ, ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න පැවසුවේ 19 නිසා නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවට ගෙනගිය ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බවයි. 2002 අංක 05 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතේ මේ පිළිබඳව පැහැදිලිව සඳහන් වන බවත්, නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට විරුද්ධව චෝදනා තිබේ නම්, ඔවුන්ට නිදහසට කරුණු කීමට ඉඩ දී, පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් යෝජනාවක් සම්මත කිරීමෙන් එම අදාළ ඉවත්කිරීම පහසුවෙන්ම කළ හැකි බවයි. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අධිකරණ ඇමැති ධුරය දැරූ, වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති ජී.එල්.පීරිස් විසින් බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එහෙත් දැනට සම්මත වී ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කිසිදු නිදහසට හේතුවක් හෝ නොවිමසා, නිලධාරීන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇති බව ද අවධාරණය කළ ඔහු, එමගින් ඔවුන්ට ස්වාධීනව රාජකාරි කිරීමට ඇති අවස්ථාව පිළිබඳව වටහාගත හැකි බව ද පැවසීය.

ස්වාධීන කොමිෂන්

මේ අතර විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා ද එම කෙටුම්පත සම්මත කළ දින සිට අහෝසි වේ. ජනාධිපතිවරයා විසින් මෙම කොමිෂන් සභාවලට සාමාජිකයන් නිර්දේශ කිරීමෙන් පසු, පාර්ලිමේන්තු සභාවෙන් එම නම් අනුමත කිරීම ද ඉදිරියේදී සිදුකිරීමට නියමිත ය. කෙසේ වෙතත් මානව හිමිකම් කොමිෂන් සභාවට සහ මැතිවරණ කොමිෂන් සභාවට මෙය අදාළ නොවන බවත්, ඒවායේ නිශ්චිත කාලය අවසන් වූ පසු නව සාමාජිකයන් පත්කිරීම සිදු කළ යුතු බවත් පෙන්වා දෙන නීතිවේදීහු, තවත් සති කිහිපයකින් එම කොමිෂන් සභාවල කාලය ද අවසන් වීමට නියමිත බව පෙන්වා දෙති.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තත්ත්වය

ලංකාවේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන්ගේ නම් නිර්දේශ කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වන අතර, එය 2001 සිට 2011 දක්වා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත් විය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සිදුකරන ලද 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය වෙනස් කෙරිණි. ඉන්පසු 19 වැනි සංශෝධනය බලාත්මක වූ 2015 වසර දක්වා පාර්ලිමේන්තු සභාවට එම බලය පවරා තිබූ අතර, එහි සංයුතිය සහ ස්වාධීනත්වය පිළිබඳව මෙන්ම බලය සම්බන්ධයෙන් ද විවේචන පැවතිණි.

ජනපතිට බැඳීමක් නැත

19 වැනි සංශෝධනයෙන් පසු යළිත් ව්‍යවස්ථාදායක සභාව බලාත්මක වූ අතර, අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් පවා තීරණාත්මක බලයක් එය සතු විය. එහෙත් යළිත් 20 වැනි සංශෝධනය මගින් එය පාර්ලිමේන්තු සභාවට පවරා තිබේ. මෙම සභාවට ව්‍යවස්ථාදායක සභාවට මෙන් විවිධ විෂයයන් පිළිබඳ ප්‍රාමාණික දැනුම ඇති විද්වතුන් සහ සිවිල් සාමාජිකයන් පත්කිරීමක් සිදු නොවන අතර, මෙහි සියලු සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වේ. එසේම ප්‍රධාන විපක්ෂයට මෙහි සාමාජිකත්වය ඇතත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂවලට ද මෙහි සාමාජිකත්වය සඳහා නිල හිමිකමක් නැත. අදාළ තනතුරු සඳහා තමන් පත්කරන පුද්ගලයන්ගේ නම් මෙම සභාවේ නිරීක්ෂණයට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටියද, ඔවුන්ගේ නිරීක්ෂණ අනුව කටයුතු කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින බවක් 20 වැනි සංශෝධනයේ සඳහන් නොවේ. නීතිවේදීන්ට අනුව එහි අදහස ජනාධිපතිවරයාට තම මතය අනුව කටයුතු කිරීමට අවස්ථාව ඇති බවයි.

Previous articleගැසට් හතරයි – කැසට් විතරයි : සහල් මිල පාලනයේ ඇත්ත කතාව
Next articleකොරෝනා රෝගීන් සංඛ්‍යාව 12570 දක්වා ඉහළට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here