තමන්ව උදාහරණෙට අරගෙන වාර්තා කළොත් ප්‍රශ්න අඩුවෙයි – හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු

වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ මොකක්ද?

වර්තමාන සමාජයේ වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය විදිහට මම දකින්නෙ අපක්ෂපාතීව, නිවැරදි තොරතුරු පාඨකයා වෙත ඉදිරිපත් කිරීමේ තත්ත්වයක්. ඒ සඳහා යම්කිසි වෘත්තීය නිපුණත්වයක් ලබාගන්න ඕනෙ. ඒ වෘත්තීය නිපුණත්වය මගින් ඔහුට පුළුවන් වෙනවා, මං අදහස් කරන මේ තත්ත්වයට ළඟාවෙන්න. හැබැයි අපේ වගේ රටකදි මේ විදිහට තොරතුරු ඉදිරිපත් කරන කොට මාධ්‍යවේදියකුට විවිධ දේවල් කල්පනා වෙනවා. මේ කාරණය මම ඉදිරිපත් කළාට පස්සෙ මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද. ප්‍රතිචාර කියපුවහම කොටස් කීපයක් තියෙනවනෙ. මාධ්‍ය හිමිකරුගේ පැත්තෙන්, දේශපාලනඥයන්ගේ පැත්තෙන්, සමාජය පැත්තෙන් වගේ. ඒ ප්‍රතිචාර නිසා තමන්ගෙ ආරක්ෂාවට මොනවගේ බලපෑමක් වෙයිද කියන එකත් හිතන්න වෙනවා.

හැබැයි මේ මොන තත්ත්වය යටතේ වුණත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න ඕනෙ. ප්‍රවේශම් සහගතව ඒක නොකළොත්, අනවශ්‍ය ප්‍රතිචාරවලට මුහුණ දෙන්නත් මාධ්‍යවේදීන්ට සිදුවෙනවා. මං අදහස් කරන්නෙ ඒ ප්‍රතිචාර නිසා නිවැරදි තොරතුරු සැඟවීමක් නෙමෙයි. මාධ්‍යවේදියා උපක්‍රමශීලී වෙන්න ඕනෙ. ජනතාවට තමන්ගෙ වගකීම නිවැරදිව ඉටුකරන ගමන්, තමන්ගෙ ප්‍රවේශම්සහගත බව ගැනත් හිතන්න ඕනෙ. ඒකෙ අදහස තොරතුරු වෙනස් කරලා හෝ කාටවත් අවශ්‍ය විදිහට හෝ සදාචාරසම්පන්න නොවන විදිහට ඉදිරිපත් කිරීම නෙමෙයි.
උදාහරණයක් ගන්න. අධිකරණයක් ඉදිරියේ විභාග වන යම් නඩුවක් සමාජයට වඩාත් ඵලදායී විදිහට ඉදිරිපත් කරන්නෙ කොහොමද. ඒකෙන් සමාජයේ ඉදිරි ගමනට ලබාදෙන තල්ලුව මොකක්ද කියලා හිතන්න ඕනෙ. අධිකරණයේ විභාග වෙන ලිංගික අපයෝජන නඩුවක් ගැන ඒකෙ තොරතුරු සියල්ල එක්ක පළකරන එක කොයිතරම් සමාජයට අවශ්‍යද, ඒකෙන් සමාජය දූෂ්‍ය කරන්නෙ නැද්ද කියලා බලන්න ඕනෙ. අධිකරණවලින් පවා සමහර අවස්ථාවල මාධ්‍යවේදීන් ඉවත් කරන්න කටයුතු කරන්නෙ ඒකයි. මාධ්‍යවේදියා වාර්තා කරන තොරතුර සමහර විට හුඟක් අයට බලපාන්න පුළුවන්. ඒ ගොල්ලන්ගෙ පවුලේ අයට, දරුවන්ට, ඒ අයගෙ අනාගතයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. මේ විදිහට සමාජයට වැදගත් දේ මොකක්ද කියලා හරියට තෝරාගන්න එක තමයි මම හිතන්නෙ මාධ්‍යවේදියාගෙ මූලික වගකීම වෙන්න ඕනෙ.

අද වෙනකොට මාධ්‍යවල තියෙන්නෙ මීට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයක්. ඇයි එහෙම වෙලා තියෙන්නෙ…?

මම හිතනවා, ලොකුම ප්‍රශ්නය ධනාත්මක සුබවාදී දෙයක් වෙනුවට සෘණාත්මක අසුබවාදී දෙයක් වාර්තා කරන්න හුඟක් මාධ්‍යවේදීන් කැමැත්තක් දැක්වීම. මාධ්‍ය අතරෙ තියෙන තරගය, එක එක බලපෑම් ඒවට හේතුවෙන්නත් පුළුවන්. කොහොම වුණත් ආකර්ෂණීය දේ මිසක්, ඒකෙ තියෙන ආකර්ෂණීය බව ගැන මිසක්, ඒකෙ ඵලවිපාක ගැන හුඟදෙනෙක් හිතන බවක් පෙනෙන්නෙ නෑ. වරක් මගෙන් මාධ්‍යවේදියෙක් ඇහුවා, ලංකාවේ අපරාධ නඩුවලින් සියයට හතරක් වගේ නේද වැරදිකාරයා වෙන්නෙ කියලා. ඒක වැරදියි. ඔය වාර්තා ඇවිත් තිබුණෙ රටේ සිදුවන සිදුවීම්වලට අනුව. ඒ කියන්නෙ කොයිතරම් අපරාධ ප්‍රමාණයකට කිසිම කෙනෙක් අහුවෙන්නෙ නැද්ද. හොරකම් කීයක් තියෙනවද, හොරු නැති. ඉතින් මම ඒක පැහැදිලි කළා. ඒවත් එක්කයි ඔය සංඛ්‍යා කියන්නෙ. එතකොට ඒක නඩු කියලා හැඳින්වීමම වැරදියි කියලා. විමර්ශන කරලා, සැකකරුවො ඉන්න, නීතිපතිතුමා අධිචෝදනා ඉදිරිපත් කරන නඩුවලින් සීයට අසූවකට වඩා වැරදිකාරයො වෙනවා කියලා. මං ඒ මහත්තයට අවශ්‍ය සියලුම තොරතුරු දෙන්නම් කියලත් කිව්වා. ඒත් ඔහු ඒ ගැන උනන්දුවක් දැක්වුවෙ නෑ. ඔහු ඒ ගැන ලිව්වෙත් නෑ. අනෙක් පැත්ත තමයි ඔහුට අවශ්‍ය වුණේ. ඒකට හේතුව තමයි මිනිස්සුන්ගෙ ආකර්ෂණය තියෙන්නෙ මේ සෘණාත්මක දේවල් ගැන.

දේශපාලන සහ මාධ්‍ය හිමිකරුවන්ගෙ බලපෑම් මේ වගේ තත්ත්වයකට සැලකිය යුතු දායකත්වයක් සපයනවා. මාධ්‍යවේදියො තමන්ගේ වගකීම ඉටුකරන ගමන්, කොහොමද ඒ වගේ තත්ත්වයක් කළමනාකරණය කරගන්නෙ. ඔබ කරන යෝජනා මොනවද?

මම හිතන්නෙ ඒක ඉතාමත් අසීරු දෙයක්. හිතන්න, රාජ්‍ය මාධ්‍ය. මාධ්‍යවේදියට කිසිම අවස්ථාවක ඇත්ත ඒ විදිහටම ලියන්න පුළුවන්ද. පෞද්ගලික මාධ්‍යයත් බොහොමයක් එහෙම තමයි. මේ ඔක්කොම ව්‍යාපාරනෙ. ඒගොල්ලොන්ට අවශ්‍ය ලාබ. තරගයේ ඉස්සරහට යන්න. හුඟක් මාධ්‍යවේදීන් මට කියලා තියෙනවා, අපිට ඇත්ත කියන්න – ලියන්න අවශ්‍යයි, ඒත් ඒකට ඉඩක් නෑ කියලා. නමුත් මගේ අදහස නම් පුළුවන් තරම් ස්වාධීනව වැඩ කරන්න මාධ්‍යවේදීන් උත්සාහ කරන්න ඕනෙ. මේ සීමාවල් යටතේ වුණත් අපක්ෂපාතීව, ධනාත්මකව, සමාජයට හානියක් නොවන විදිහට වැඩ කරන එක නේද වැදගත්. අපේ රටේ විතරක් නෙමෙයි, ලෝකයේම තත්ත්වය ඒක තමයි. හැබැයි අත්හරින්නෙ නැතුව, කොහොම හරි තමන්ට අවශ්‍ය දේ ලියන්න – කියන්න, ජනතාව අතරට ගෙනියන්න මාධ්‍යවේදීන් උත්සාහ දරන අවස්ථා අපි දැකලා තියෙනවා. හැකිතරම් එහෙම කරන්නත් ඕනෙ.
තවත් කාරණයක් තියෙනවා. පහුගිය දවස්වල අපි දැක්කා, මේ කොවිඩ් ආසාදිතයන්ව මාධ්‍ය මගින් පෙන්නනවා. ඒ වගේ ඒවා ඉතාමත් වැරදියි. මගෙ අදහස නම් ඒවා මාධ්‍යවේදීන්ට වෙනස් කරගන්න පුළුවන්. ඒවට දේශපාලන බලපෑම් හෝ ඒ වගේ දේවල් නෑනෙ. ඒව කරන්නෙ තමන්ගෙ මාධ්‍ය ජනප්‍රිය කරගන්න. ආකර්ෂණය වැඩිකරගන්න. සමාජයට හානියක් කරලා, තව කෙනෙකුගෙ පෞද්ගලිකත්වයට හානියක් කරලා ආකර්ෂණය අරගෙන වැඩක් තියෙනවද. කෙනෙකුගෙ දරුවා මැරිලා, ඒ ගෙදර අය අඬනවා. ඒවා මාධ්‍යවල දාන්න සුදුසුද. මගෙ නම් අදහස අපි හැම වැඩක්ම කරන කොට, ඒක තමන්ට වුණොත් මොකද වෙන්නෙ කියලා හිතුව නම් හරි. මගේ පෞද්ගලිකත්වය අනාවරණය කරනවට මම කැමැතිද කියලා හිතන්න ඕනෙ. මාධ්‍යවලින් වෙන හානිය අවම කරගන්න පුළුවන්, මාධ්‍යවේදීන් මේ විදිහට වාර්තාකරණය ගැන හිතනව නම්.

ඔබත් පුවත්පත් මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. ඔබ ඒ කාර්යය කරන කාලෙ වගේ නෙමෙයි, මේ වෙනකොට සමාජමාධ්‍ය තොරතුරුවලට ලොකු බලපෑමක් කරනවා. අදටත් මාධ්‍යවලින් පෙර ආකාරයටම ජනතාව තොරතුරු බලාපොරොත්තු වෙනවද?

සමාජමාධ්‍යවලට තමයි ආකර්ෂණය වැඩියෙන් තියෙන්නෙ. ඒත් ඉතාමත්ම කනගාටුදායක දේ තමයි, එතැනදි හුඟදෙනෙක් වගකීම් විරහිතව වැඩකරනවා. සමහර වෙලාවට අසත්‍ය පතුරුවනවා. ඒවගෙන් ලොකු ප්‍රශ්න මතුවෙනවා. මගෙ අදහස නම් මාධ්‍යවලින් තවමත් ජනතාව විධිමත්ව තොරතුරු බලාපොරොත්තු වෙනවා. මාධ්‍යවේදියා ඒ බලාපොරොත්තුව වෘත්තීය විනයකින් ඉෂ්ඨ කරනව නම්, මං හිතන්නෙ ඔය හුඟක් මාධ්‍යයට තියෙන විවේචන අවම කරගන්න පුළුවන්.

Previous articleනීතියේ සහ නීති හැදීමේ හැඩය පෙන්වන දුමින්ද සිල්වාගේ නිදහස
Next articleකොරෝනා නිසා පාර්ලිමේන්තුවේ දොර මාධ්‍යවේදීන්ට වැසෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here