කොරෝනා නිසා පාර්ලිමේන්තුවේ දොර මාධ්‍යවේදීන්ට වැසෙයි

(හසරිදු රාජපක්ෂ)

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට මධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට ඉඩ ලබා නොදීමට පක්ෂ නායක රැස්වීමේදී අද(29) තීරණය වී තිබේ.

පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තාවීමත් සමග කථානායක මහින්ද යපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ලබන මස 03 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු වාර්තා කරන සියලු මාධ්‍යවේදීන්ට නිරෝධානයනය වන්නැයි දැනුම්වත් කරන ලෙස පාර්ලිමේන්තුව විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා ඇති අතර මේ සම්බන්ධයෙන් සියලුම මාධ්‍ය ආයතන දැනුවත් කිරීමටද පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී ඇත.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

“මාධ්‍යවේදීයෙක් කෝවිඩ් ආසාදිත වී තිබෙන නිසා ලබන 03 වැනිදා මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුව ආවරණයට අවස්ථාව ලබාදෙන්නේ නැහැ. මොකද මේ මාධ්‍යවේදියා පාර්ලිමේන්තු පැමිණි දින සිට 03 වැනිදා කාලය තුළ දවස් 14 සීමාව  තිබෙන නිසා එවිට අනිකුත් මාධ්‍යවේදීන්ට එම කාලය තුළ නිරෝධායනයට ලක්වීමට අවස්ථාව තිබෙන නිසා මෙම තීරණය ගත්තා. ඒ නිසා පසුගිය 21, 22 දිනවල පාර්ලිමේන්තු පැමිණි මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුව අපි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට යවන්න කටයුතු කරනවා.

කෝවිඩ් ආසාදනය වුණ මේ මාධ්‍යවේදියා පාර්ලිමේන්තුව තුළ සේවකයින් මුණගැසිලා නැහැ. ඒ වගේම ඔහු නිතරම මුඛ ආවරණය පැළදගෙන සිටි බවට අපි තහවුරු කරගෙන තිබෙනවා. එය හොඳ දෙයක්. කොහොම වුණත් මොහු පෞද්ගලික රෝහලකින් පීසීආර් වාර්තාව ලබාගෙන තිබෙන්නේ. රජයේ රොහලකින් පීසීආර් වාර්තාවක් ලබාගත් පසුව හරියට තත්ත්වය දැනගන්න පුළුවන්. කොහොම වුණත් 03 වැනිදා සිට පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකරගෙන යනවා”

Previous articleතමන්ව උදාහරණෙට අරගෙන වාර්තා කළොත් ප්‍රශ්න අඩුවෙයි – හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු
Next articleමාධ්‍යයත් කොවිඩ්-19 නිර්දේශ කඩලා : නිර්දේශ තරයේ පිළිපදින්නැයි ඉල්ලීමක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here