17-18-19 තුනටම අත උස්සා 20ටත් අත උස්සන මන්ත්‍රීවරුන් 23ක් පාර්ලිමේන්තුවේ – රජීත් කීර්ති

(හසරිඳු රාජපක්ෂ)

17, 18 හා 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනයන්ට අත ඔසවා ප්‍රතිපත්තියක් නැතිව 20 වැනි සංශෝධනයටද අත ඔසවන මන්ත්‍රීවරුන් 23 ක් පාර්ලිමේන්තුවේ සිටින බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

විමල් වීරවංශ ප්‍රමුඛ ජාතිකවාදී කණ්ඩායම බැසිල් රාජපක්ෂට මිසක් 20 ට විරැද්ධ නොමැති බවත් , ඔවුන්ගේ සැබෑ ප්‍රශ්නය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ අගමැති වීම සහ ජනාධිපති අපේක්ෂකයා වීම වැලැක්වීම මිසක්, 20 සංශෝධනයේ අහිතකර වගන්ති 30 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ගැනීම නොවේයැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සදහන් කළේය.

“සෞභාග්‍යයේ ආණ්ඩුව අද ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් භුමිකා දෙකම රඟපානවා. මේ ආණ්ඩුව හදපු බලවේග අද විපක්ෂයේ භුමිකාව නිරූපනය කරන්න පෙත්සම් අත්සන් කරනවා. පුවත්පත් සාකච්ඡා තියනවා. කුමන්ත්‍රණ කරනවා. වොයිස් කට් දෙනවා. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට තියෙන්නේ ජනාධිපතිවරයා අතේ බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. බැසිල් රාජපක්ෂ පිළිබඳ ප්‍රශ්නයක්” යැයි තෙන්නකෝන් මහතා පැවසූවේ ‘සාහසික වියරුව පරදවමු ජනතා ව්‍යාපාරය’ විසින් නාරාහේන්පිට පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී ය.

“අවසනාවකට ලංකාවේ දේශපාලන අනාගතය තීරණය වන්නේ ප්‍රතිපත්ති මත නොවෙයි මෙවැනි පුද්ගලික කාරණා මතයි. 17, 18, 19, 20 ව්‍යවස්ථා සංශෝධන හතරම ඡන්දය දෙන මන්ත්‍රීවරු 23 ක් ඉන්නවා. දේශපාලන අවස්ථාවාදය මිසක් ප්‍රතිපත්තියක් නැති කම තමයි ප්‍රශ්නය.

20 වන සංශෝධනය පිළිබඳ විරෝධය ජනාධිපතිවරයා අත බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ ඊලඟට රටේ අගමැති, ජනාධිපති පිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 4 – 5 ක මහජන නියෝජිතයෝ 20 ට පක්ෂව ඡන්දය දෙනවා. ආණ්ඩුව 20 ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව 150 ට වැඩිය මන්ත්‍රීවරු 155 කට වැඩිය සුදානම් කරගෙන ඉන්න බව පැහැදිවම පේනවා. මම ප්‍රාර්ථනා කරනවා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඡන්දය අවසන් වෙන කොට බදුල්ල, රත්නපුර, මඩකලපුව දිස්ත්‍රික්කවල විපක්ෂයට එකම මන්ත්‍රිවරයෙක්වත් ඉතිරිවේවා කියලා.

20 ට නීතිපති හරහා ගෙනාව සංශෝධන ඇස්බැන්දුමක්. හරක් මරන්නේ නෑ කියලා හරක් රවට්ටපු ආණ්ඩුවක් මේක. ඒ වගේම පහුගිය සති දෙකේ 20 ට විරුද්ධ වුණු පිරිසක් අද එයට පක්ෂයි කියනවා. මේක පැහැදිලි ඩීල් එකක්. ඉතාම පැහැදිලි ඩීල් යුගයකට රට නැවත පැමිණිලා තියෙනවා. මේ ඩීල් එකේ ප්‍රතිඑලය තමයි ද්විත්ව පුරවැසි භාවය ඇතුළු සියළු සංශෝධන 2/3න් සම්මත කර ගැනීම.

20 සම්මත වෙලා දින දෙකකට පස්සේ ඇමරිකාවේ පොම්පියෝ ලංකාවට එනවා. ඒ කියන්නේ එම්සීසී ගිවිසුම අත්සන් කරනවා කියන එකයි. මේ ආණ්ඩුව එම්සීසී ගිවිසුමට විරුද්ධ වුණේ බොරු ඇමරිකන් විරෝධයක් දක්වලා, මිනිස්සුන්ගේ ඡන්ද ටික ගන්න විතරයි.

20 හරහා ආණ්ඩුව තමන්ට පාලනය කළ හැකි බොරු විපක්ෂයක් නිර්මාණය කර ගන්නට උත්සහ කරනවා. එකේ විපක්ෂ නායකයා විමල් වීරවංශ යි. මේ රටේ මිනිස්සු කවරුත් මේ බොරු අවස්ථාවදී විපක්ෂය රැවටෙන්නේ නෑ” යැයි ද තෙන්නකෝන් මහතා කීවේය.

Previous articleහමුදාව, මාධ්‍ය සහ හාම්පුතුන් නිසා ඇඟළුම් සේවකයින් පීඩාවට පත්වෙලා – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
Next articleසහරාන්ගේ බිරිඳ ඇතුළු 06ක් රිමාන්ඩ්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here