හමුදාව, මාධ්‍ය සහ හාම්පුතුන් නිසා ඇඟළුම් සේවකයින් පීඩාවට පත්වෙලා – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

(නිලූක සදුන් පද්මසිරි)

නිදහස් වෙළෙද කලාපය තුළ කොවිඞ් 19 මර්දනය සහ නිරෝධායන කටයුතු වලදී හමුදාව, ඇඟළුම් කම්හල් සමාගම් සහ මාධ්‍ය විසින් ඇඟළුම් සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරනු ලැබ ඇතැයි සදහන් කරමින් ‘වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ එකතුව’ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

එම කටයුතු වලදී සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය නොවන බව තහවුරු කිරීම පිණිස මාර්ගෝපදේශ/නිර්දේශ නිකුත් කරන්නැයි මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටිමින් එම එකතුව මෙම පැමිණිල්ල සිදු කර ඇත.

වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ එකතුව වෙනුවෙන් රයිට්ස් නව් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා සාමූහිකය, චමිලා තුෂාරි – ඩාබිදු සාමූහිකය, පද්මිණි වීරසූරිය – ස්ත‍්‍රී මධ්‍යස්ථානය, අශිලා නිරෝෂනි දන්දෙණිය – Stand Up Movement Lanka සහ චන්ද්‍රා දේවනාරායන – මානව සංවර්ධනය සදහා විප්ලවීය පැවැත්ම යන පාර්ශ්ව මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

කලාපය තුළ මෙම වසංගතය මර්දනය කිරීම සදහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළ අවිධිමත් හා බලහත්කාරී වීමත් මෙවැනි අවස්ථාවක වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු පාර්ශ්වයන් වගකීමකින් තොරව කටයුතු කිරීමත් හේතුවෙන් සහ මෙම දෙවන රැල්ලට වගකිව යුත්තේ ඇඟළුම් සේවක සේවිකාවන්ය යන වැරදි මතය හේතුවෙන් ඇඟළුම් සේවක සේවිකාවන් බරපතළ ගැටලූ රැසකට සහ දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව එම පැමිණිල්ලේ දැක්වෙයි. මේ වන විට කොවිඞ් 19 වසංගතය නිදහස් වෙළෙඳ කලාපය තුළ මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නයක් පමණක් නොව අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අර්බුදයක් දක්වා වර්ධනය වී ඇතැයි ඔවුහු පවසති.

වෛරී හා අපහාසාත්මක ප‍්‍රකාශ

නිදහස් වෙළෙඳ කලාපය තුළින් මෙම වසංගත ව්‍යාප්තිය ඇරඹීමත් සමග ප‍්‍රධාන දහරාවේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද ඇඟළුම් සේවිකාවන්ගේ ලිංගිකත්වය, වෘත්තීය සහ ස්ත‍්‍රීත්වය පදනම් කර ගත් වෛරී හා අපහාසාත්මක ප‍්‍රකාශ දිගින් දිගටම සිදුවන බවට නිරීක්ෂණය වී ඇතැයි එම පැමිණිල්ලේ සදහන් වෙයි. මේ හේතුවෙන් ඇඟළුම් සේවක සේවිකාවන් වෛරසය පැතිරවීමේ වාහකයින් යැයි සමාජය හමුවේ දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි ද විශේෂයෙන්ම මෙවැනි චෝදනා සමග ඔවුන්ට නවාතැන් ගැනීම්, ගමනාගමනය, කඩ සාප්පුවලට යෑම් අවහිර කෙරෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඔවුහු පැමිණිල්ලෙන් පෙන්වා දෙති.

පුද්ගල ගෞරවය අහිමි කිරීම

නිරෝධායනයට ලක් කිරීමට හෝ ආසාදිතව රෝහල් කරා ගෙන යන ඇඟළුම් සේවක සේවිකාවන් වෙත පැහැදිලි තොරතුරු නොදී බස් රථවලට පැටවීම, නිරෝධායන මධ්‍යස්ථානවල දුර්වල සනීපාරක්ෂක පහසුකම් පැවතීම සහ පීසීආර් පරීක්ෂණ කිරීම් නොසැලකිලිමත් අන්දමින් සිදුව ඇති බවටත් එම ක‍්‍රියාවලිය ඔස්සේ මෙම ඇඟළුම් සේවක සේවිකාවන් වෙනස් කොට සැලකීමට ලක්ව ඇති බවටත් වාර්තා වී තිබෙන බව ඔවුහු පවසති.

විශේෂයෙන්ම හමුදාව රාත‍්‍රී කාලයේ පැමිණ නිසි සුදානමකට හෝ තමන් ගෙන යන ස්ථානයක් පිළිබද හෝ පැහැදිලි තොරතුරු දැනගැනීමකට ඉඩක් නොතබා අපරාධ වරද සදහා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ආකාරයට පැමිණ නිරෝධායන ක‍්‍රියාවලිය සදහා ඇඟළුම් සේවක සේවිකාවන් බස් රථවලට පටවා ගෙන යන බවට කරුණු වාර්තාවී ඇතැයි පැමිණිල්ලේ සදහන් වෙයි. කාන්තාවන්, ගැබිණි මව්වරුන්, වයස්ගත කාන්තාවන් සහ දරුවන් මෙම පිරිස්වලට අයත් වන බවත් ඔවුන් නිරෝධායනට ලක් කරන්නේ නම් ගෙන යන ස්ථාන පිළිබද පැහැදිලි තොරතුරු ලබාදීමට කටයුතු කිරීම මෙන්ම වෙනස් කොට සැලකීමට ලක්නොවී නිරෝධායනය වීමට හැකිවීම අනිවාර්ය මෙන්ම අත්‍යවශ්‍ය බවත් ඔවුහු පෙන්වා දෙති.

සෞඛ්‍ය අනාරක්ෂිත බව

ප‍්‍රබල සෞඛ්‍ය තර්ජනයක් සහමුලින් යටපත්ව නොතිබුණ වාතාවරණයක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලා බොහොමයක් සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම පැහැර හැර ඇතැයි උද්ගතව ඇති තත්ත්වය විසින් සනාථ කර තිබෙන බව ඔවුහු පවසති.

“වැඩපොළේ සුරක්ෂිතතාව සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ 1981 අංක 155 දරන ප‍්‍රඥප්තිය (Occupational Safety and Health Convention, 1981 (No. 155) ප‍්‍රකාර, සේවකයන්ට වැඩපොළේ දී වසංගතය බෝවීමේ හැකියාව අවම කිරීම සඳහා සහ සේවකයන් වසංගතයෙන් ආරක්ෂා කිරීම පිණිස ප‍්‍රායෝගිකව ගත හැකි හැකි සියලූ පියවර ගැනීම සහතික කිරීමේ සම්පූර්ණ වගකීම සේව්‍යයන්ට (හාම්පුතුන්ට) පැවරෙන බව ලෝක කම්කරු සංවිධානයේ නිර්දේශයකි..”යැයි එම පැමිණිල්ලේ දැක්වෙයි.

එමෙන්ම වසංගතයක් සමයක ඒ සම්බන්ධයෙන් සිය සේවකයන් නිසි පරිදි දැනුවත් කිරීමත් වැඩපොළේ සුරක්ෂිතතාව සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීමත් සේව්‍යයන්ගේ වගකීමක් බවත්  වැඩපොළේ දී කම්කරුවෙකු අසනීප වූයේ නම් කම්කරු බලධාරීන් දැනුවත් කිරීමට ද ඔවුහු බැඳී සිටින බවත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ මාර්ගෝපදේශවල දක්වා ඇතැයි වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ එකතුව සිය පැමිණිල්ලේ දක්වා තිබේ.මෙම ජාත්‍යන්තර කම්කරු නීති මග හැර කලාපයේ සේවා ආයතන කටයුතු කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවද එහි සදහන් වෙයි.

පීසීආර් පරීක්ෂණ සිදුනොකරන ලද කම්කරුවන් නිරෝධායන මධ්‍යස්ථානවල දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ එකට තබා ගැනීමත් පරීක්ෂා නොකරන ලද අයද ඇතුළුව සියලූ දෙනා එකම බස් රථවල නිරෝධායන මධ්‍යස්ථාන කරා ප‍්‍රවාහනය කිරීමත් හේතුවෙන් මෙම කම්කරු පිරිස රෝගයට ගොදුරු වීමේ සැබෑ අවදානමක් මතුව ඇතැයි ඔවුහු පවසති. නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන්ට යහපත් සෞඛ්‍යයකට ඇති අයිතිවාසිකම ආයතනවල අනාරක්ෂිත තත්ත්වයන් සහ අවිධිමත් සහ බලහත්කාරී නිරෝධානයන ක‍්‍රියාවලිය විසින් පැහැදිලි ලෙස අහිමි කර ඇති බව ද එම පැමිණිල්ලේ සදහන් වෙයි.

රැකියා හා වැටුප් කප්පාදුව

රැකියා සහ වැටුප් කප්පාදු කිරීම කොවිඞ් වසංගතය මෙරට ඉස්මතු වූ මාර්තු මාසයේ සිට ක‍්‍රමිකව උද්ගත වූවක් බවත් කොවිඞ් වසංගත ව්‍යාප්තිය සමග මෙරට අපනයන සදහා තිබෙන ඉල්ලූම අවම වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් පසුගිය මාර්තුවේ සිට මේ දක්වා 14,500ක් වැනි අවම වැටුපකට අතිකාල දීමනා නොමැතිව ශ‍්‍රමය යෙදවීමට සිදුවූ බවත් ඔවුහු පෙන්වා දෙති. හාම්පුතුන් තම සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමටත් වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන්ගෙන් තොර ස්ථානයක් බවට සේවා ස්ථාන පත් කර ගැනීම සදහාත් මෙය අවස්ථාවක් කරගෙන ඇතැයි ද මේ වන විට අසූදහසකට ආසන්න සේවක පිරිසකගේ රැකියා අහිමිව ඇතැයි ද පැමිණිල්ලේ දැක්වෙයි. කොවිඞ් වසංගත අර්බුදයට මෙරට අපනයනයේ ප‍්‍රධානම ඉපැයීම් මුලාශ‍්‍රයක් වන ඇඟළුම් ක්ෂේත‍්‍රයේ රැකියා අහිමි කිරීම හෝ සේවක වැටුප් කප්පාදුව හෝ විසදුම නොවන බවත් මෙය සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ එකතුව අවධාරණය කරයි.

මෑන් පවර් සේවකයන් වෙනුවෙන් වගකියන පාර්ශ්වයක් නොමැති වීම

පවත්නා වාතාවරණය හමුවේ වඩාත් අර්බුදයට පත්ව ඇත්තේ මෑන් පවර් ආයතන හරහා සේවයේ නියුතුව සිටි පිරිස යැයි ද මේ වන විට කිසිදු මෑන් පවර් සේවකයෙකුට ආයතන තුළ කටයුතු කිරීමේ ඉඩකඩ ලබා දී නැතැයි ද කිසිදු සේවායෝජකයෙකු ඔවුන්ගේ වගකීම දැරීමට ද සුදානම් නැතැයි ද ඔවුහු ප්‍රකාශ කරති. එසේම කිසිදු ආයතනයක ස්ථිර සේවකයන් නොවීම නිසා සේවක අර්ථ සාධක, රක්ෂණ, වන්දි, දීමනා වැනි අමතර කිසිදු වරප‍්‍රදාසයක් හෝ ආයතනික හිමිකමක් ඔවුන්ට නැති බවත් එනිසාම වෘත්තීය සමිති සාමාජිකත්වයක් දැරීමේ හැකියාව ඔවුන්ට අහිමිව ඇති බවත් කිසිදු වෘත්තීය සමිතියකට ඔවුන් නියෝජනය කිරීමේ හැකියාව ද නැති බවත් පැමිණිල්ලේ සදහන් කර තිබේ. දෛනික වැටුපකින් ජීවත් වන නිසාම නවාතැන් සදහා කුලිය ගෙවීමට නොහැකි වීමෙන් මෑන් පවර් සේවකයන්ට නවාතැන් පහසුකම් ද අහිමිවි ඇතැයි ද විශේෂයෙන්ම දෛනිකව ආයතනයෙන් ආයතනයට හුවමාරු වෙමින් කටයුතු කරන කණ්ඩායමක් වීමෙන් මොවුන් වඩාත් අනතුරාසන්නව සිටින අතරම රෝග වාහකයන් යැයි සමාජයේ අපවාදයට ලක්වීමේ ඉඩකඩක් ඇතැයි ද සදහන් වෙයි. මොවුන් මෙරට ශ‍්‍රම බලකායේ අත්‍යවශ්‍ය කොටසක් වශයෙන් කටයුතු කර තිබුනද උද්ගතව ඇති වාතාවරණය හමුවේ මෙම පිරිසගේ අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණයට ලක්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

බලහත්කාරයෙන් වැඩ ගැනීම සහ නිවාඩු අහිමි කිරීම

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයෙන් පළමුවරට හදුනාගත් ආසාදිත වූ කාන්තාව ප‍්‍රකාශ කර ඇති පරිදි ආයතනයේ අසනීප තත්ත්වයන් පෙන්වූ සේවිකාවන් සිටියද නිවාඩු ලබා දීමක් හෝ රෝග පරීක්ෂාවක් හෝ සිදුව නැති බව එම පැමිණිල්ලේ සදහන් වෙයි. බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ ශ්වසන රෝග තිබූ සේවක සේවිකාවන් සැප්තැම්බර් 20 වන දින සිට තමන්ට අසනීප තත්ත්වයන් ඇති නිසා සේවය කළ නොහැකි යැයි කියූ විට පැනඩොල් පෙති ලබා දී වැඩ කරන මෙන් කළමනාකරුවන් බලකර ඇති බවටත් සහ හදිසි ඇණවුමක් ඇති නිසා නිවාඩු ලබා දිය නොහැකි යැයි පවසා ඇති බවටත් පැමිණිල්ලේ සදහන් කර තිබේ.

අදාළ ආයතනය මෙන්ම අනෙකුත් කර්මාන්ත ශාලා බොහෝමයක තත්ත්වය ද මෙය බව ද සේවකයන්ට සේවයට වාර්තා කිරීම කුමන තත්ත්වයක් යටතේ පවා අනිවාර්ය වී ඇති බවද ඔවුහු කියති.

“සිය සෞඛ්‍යයට හෝ ජීවිතයට හදිසි තර්ජනයක් විය හැකි තත්ත්වයක් මතු වී තිබෙන්නේ යැයි විශ්වාස කරන අවස්ථාවක වැඩපොළෙන් ඉවත්ව යාමට සේවකයන්ට හිමිකමක් තිබෙන බව ලෝක කම්කරු සංවිධානය පෙන්වා දෙයි. සේවකයෙකු එසේ ඉවත්ව ගියහොත් ඒ හේතුව නිසා ඔහු/ඇය සේවයෙන් පහකිරීම හෝ සේවකයාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීම වැනි තත්ත්වයකට මුහුණ නොදිය යුතු බව ද එම නිර්දේශවල දැක්වේ.” යැයිද පැමිණිල්ලේ දැක්වෙයි.

වසංගත කළමනාකරණයේදී භාෂාවන් පිළිබද සැලකිලිමත් වීම

නිදහස් වෙළෙඳ කලාපය තුළ කටයුතු කරන පිරිස රටේ විවිධ ප‍්‍රදේශවලින් සංක‍්‍රමණය වූවන් සිටින අතර දෙමළ භාෂාවෙන් පමණක් කතා කරන කම්කරුවන් දහස් ගණනක් කලාපයේ සිටින බැවින් නිසා නිවැරදි හා පැහැදිලිව තොරතුරු දැනගැනීමට සෞඛ්‍ය අංශ ගෙනයන වසංගත මර්දන වැඩපිළිවෙළ හා මැනවින් සම්බන්ධ වීමට දෙමළ භාෂාවෙන්ද සේවාවන් ලබා ගැනීමේ පහසුකම් සහතික කළ යුතු බව වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ එකතුව අවධාරණය කරයි.

වෘත්තීය සමිති අයිතිය අහිමි වීම

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි තෙවන පරිච්ඡේදයේ 14.1 අනුව්‍යවස්ථාවට අනුව, මේ රටේ සියලූ පුරවැසියන්ට ඒකරාශිවීමෙත් සංවිධානයවීමේත් වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීමේත් අයිතිය මූලික මානව හිමිකමක් වුවද වෙළද කලාපයේ එම අයිතියට ඉඩක් නැති බව පෙන්වා දෙන ඔවුහු මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලේ පිළිගත් නිල සේවක වෘත්තීය සමිතියක් තිබුණා නම් රෝගී සේවක සේවිකාවන්ට පැනඩොල් දී වැඩ ගැනීමට ඉඩ නොලැබෙන බවද අවධාරණය කරති.

මිලිටරි මැදිහත්වීම

මර්දනය ක‍්‍රියාවලිය තුළ වන හමුදා ක‍්‍ර‍්‍රියාකාරකම් හේතුවෙන් විශේෂයෙන්ම කලාපයේ කම්කරු ප‍්‍රජාව පීඩාවට පත්ව ඇති බවත් වසංගත මර්දනය වූ කලී යුද්ධ කිරීමක් නොවන අතර හමුදා නිලධාරීන් මෙවැනි සිවිල් ක‍්‍රියාකාරකම් සදහා යෙදවීමට පෙර කිසියම් පුහුණුවක් ලබා දිය යුතුව ඇති බව වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ එකතුව අවධාරණය කරයි. (මේ සම්බන්ධයෙන් සිදු කෙරුණු තවත් පැමිණිල්ලක් පිළිබද තවත් ලිපියකින්)

එම පැමිණිල්ලේ මෙසේද සදහන් වෙයි.

“රජය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන්වල සහයෙන් මෙරට කොවිඞ් වසංගතය මර්දනය කිරීම සදහා ගෙන යන නිරෝධායන වැඩපිළිවෙළ හා අනෙකුත් සෞඛ්‍යාරක්ෂණ වැඩසටහන් සදහා සිවිල් සමාජ සංවිධාන සහ සිවිල් ක‍්‍රියාකාරීන් වශයෙන් අපි අපගේ පූර්ණ සහයෝගය පළ කරන අතරම මෙරට සියලූ පුරවැසි ජනතාව එම ක‍්‍රියාවලියට වගකීමෙන් සහයෝගය දැක්විය යුතු බවද අප අවධාරණය කරමු.

මෙම අධි-වසංගතය ජාති, කුල, ආගම් හෝ වෙනත් භේදයකින් තොරව සමස්ත මානව වර්ගයාටම එල්ල වී ඇති මාරාන්තික අභියෝගයකි. මෙහිදී වෙනත් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේද අත්දැකීම වන්නේ වෛරසය පැතිරෙන ආකාරය යම් කිසි ප‍්‍රජාවකට හෝ සමාජ පන්තියකට ලඝු කළ නොහැකි වීමයි. එහෙත් සමාජයේ අඩු ආදයම් ලාභී, අඩු වරප‍්‍රසාදිත ජන කණ්ඩායම් හෙවත් අවදානම් සහිත කණ්ඩායම් වෙත වෛරසයෙන් සහ වෛරසය මැඩලීමට ගන්නා ක‍්‍රියාමාර්ග වලින් ඇතිවන බලපෑම සමාන නැත. ග‍්‍රාමීය ප‍්‍රදේශ වල සිට, විවිධ ජනවර්ගයන් නියෝජනය කරමින් වෙළෙද කලාපයට සංක‍්‍රමණය වී සිටින, කාන්තාවන් බහුතරයකගෙන් සමන්විත වෙළෙද කලාපයේ කම්කරු ප‍්‍රජාව, එවැනි අවදානම් සහගත කණ්ඩායමක් බව අප සියලූ දෙනා දන්නා සත්‍යකි. මේ වන විට කොවිඞ් දෙවන රැල්ල වෙළෙද කලාපය තුළින් ආරම්භ වී රට තුළ ව්‍යාප්ත වෙමින් පවතී. මෙය වෙළෙද කලාපයෙන් ආරම්භ වූයේ කලාපය තුළ දිගින් දිටම පැවති දැඩි සෞඛ්‍ය අනාරක්ෂිත බව සහ දුර්වල ජීවන සහ වෘත්තීය තත්ත්වය නිසා බව අපගේ වටහා ගැනීමයි.

කොවිඞ් 19 සමග සටනේදී ගනු ලබන ක‍්‍රියාමාර්ග ඇතැම් විට පුද්ගල සහ ජන කණ්ඩායම්වල අයිතීන්ට සෘජුව බලපානු ලැබේ. එහෙත් කොවිඞ් වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක‍්‍රියාත්මක වීමට ලබාදෙන බලපත‍්‍රයක් නොවේ. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, මෙන්ම ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලෙස ඔබ ආයතනය විසින් ද මීට පෙර නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්/නිර්දේශයන්, පුද්ගල/කණ්ඩායම් අයිතිීන් රැකගෙන කොවිඞ් මර්දනය කළ යුතු බව අවධාරණය කර ඇත.

කොවිඞ්-19 සමඟ සටන් කිරීම රජයේ හුදෙකලා ක‍්‍රියාවලියක් නොවන අතර ඒ උදෙසා ගනු ලබන සෞඛ්‍ය හා සමාජීය පියවරයන් මහජනතාවගේ පූර්ණ සහභාගීත්වයෙන් ක‍්‍රියාත්මක කළ යුතු ඇති බව අප අවධාරණය කරන්නෙමු. එම ක‍්‍රියාදාමය මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ක‍්‍රියාත්මක විය යුතුව ඇත. එහෙත් මෙම අභියෝගාත්මක අවස්ථාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය, වෙනස් කොට සැලකීම්වලට ලක් නොවී සිටීමේ අයිතිය මෙන්ම අවමන් සහගත සැලකීම්වලට ලක් නොවීමේ ව්‍යස්ථාපිත අයිතිවාසිකම් කලාපයේ ඇඟළුම් සේවක සේවිකාවන් අරඹයා යථාර්ථයක් නොවන බව අප නිරීක්ෂණයයි.

නිදහස් වෙළෙද කලාපය තුළ උද්ගතව ඇති මෙම වාතාවරණය මෙරට ආර්ථීක ප‍්‍රගමනයට දරුණු පහරක් එල්ල කරමින් ඇති බව අප හොදින්ම වටහා ගන්නෙමු. එහෙත් කලාපීය කම්කරු ප‍්‍රජාවගේ මානව හා සේවක අයිතිවාසිකම්වලට ගරු කිරීම තහවුරු කරමින් වෙළෙද කලාපයේ කටයුතු පවත්වා ගෙන යා යුතුව ඇත. ඒ සදහා නිවැරදි හා විධිමත් නිරෝධායන නිර්දේශ අනුගමනය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍යව තිබේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි එන මූලික අයිතිවාසිකම් සම්බන්ධව වන විධිවිධාන නිසි පරිදි ක‍්‍රියාත්මක වන බව තහවුරුකිරීමටත්, විධායක සහ පරිපාලන ක්‍රියාවන් හරහා මූලික අයිතිවාසිකම් ආරක්ෂාවන බවට තහවුරුකිරීමටත් 1996 අංක 21 දරන ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත ප‍්‍රකාරව මානව හිමිකම් කොමිසමට බලතල හිමිව ඇත. ඒ අනුව රජයේ පරිපාලන ක‍්‍රියාමාර්ග, මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා පිළිගෙන ඇති මානව හිමිකම් ප‍්‍රමිතීන් පදනම් කරගෙන පරීක්ෂාවට ලක් කිරීමත් එම ක‍්‍රියාමාර්ග ඔස්සේ පුරවැසි මානව හිමිකම් කඩනොවන බව තහවුරු කිරීමත් මානව හිමිකම් කොමිෂන් සභාවේ මුඛ්‍ය වගකීමක්ව ඇත.

මෙම වගකීම අනුව යමින් මානව හිමිකම් කොමිෂන් සභාව මීට පෙර අවස්ථා කිහිපයකදීම පරිපාලන ක්‍රියාමාර්ග මූලික අයිතිවාසිකම් ප‍්‍රමීතීන්ට අනුකූලව ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව වෙත නිර්දේශ නිකුත් කරන ලද බවත් එවැනි නිර්දේශයන් මෙරට මානව හිමිකම්හි උන්නතිය සම්බන්ධයෙන් ඉතා ප‍්‍රයෝජනවත් වූ බවත් අප අවධාරණය කරමු.

මෙම ලිපියේ පළමු ඇමුණුමෙහි අප විසින් නිරීක්ෂණය කර ඇති පරිදි, රජයේ වසංගත මර්දන ක‍්‍රියාදාමය තුළ කලාපයේ සේවක සේවිකාවන් මුහුණ දෙන ප‍්‍රමුඛතම ගැටලූ ගණනාවක් මතු කර තිබේ. මෙහි දෙවැනි ඇමුණුම දැනටමත් (ඔක්තෝබර් 16 වන දින) ඔබ ආයතනය වෙත යොමු කර ඇති අතර එමගින් වසංගත මර්දන ක‍්‍රියාදාමයේ හමුදාකරණය වූ වැඩපිළිවෙළ තුළ පීඩනයට පත් කලාපයේ කම්කරු ප‍්‍රජාව සම්බන්ධයෙන් ඔබ ආයතනයේ අවධානය යොමු කරවයි.

මෙම කරුණු පදනම් කර ගනිමින් වෙළෙද කලාපය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන කොවිඞ් මර්දන ව්‍යාප්තිය අවම කිරීම හා මර්දනය කිරීම මූලික කර ගත් වැඩසටහන් තුළින් කම්කරු ප‍්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව තහවුරු කිරීම සදහා සුදුසු නිර්ණායක හා නිරෝධායන ක‍්‍රියාවලියේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ/නිර්දේශ නිකුත් කරන ලෙසත් කොවිඞ් මර්දනය සදහා පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, කොවිඞ් ව්‍යාප්තිය වැළැක්වීම සදහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ ශ‍්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන එකී නිර්ණායක අනුගමනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් අප ඉල්ලා සිටිමු.

විශේෂයෙන්ම වසංගත මර්දනය අතරවාරයේ සිදුවන කලාපයේ සේවක සේවිකාවන්ගේ රැකියා හා වැටුප් කප්පාදුව සහ අනෙකුත් ආයතනික ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානය ඒ වෙත යොමු කරවන මෙන්ද අප ඉල්ලා සිටිමු.

ඒ සදහා මානව හිමිකම් කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් වෙළෙද කලාපයේ සේවක සේවිකාවන්ගේ නියෝජිතයන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, ජනාධිපති කාර්ය සාධක බලකායෙහි නියෝජිතයින්, හාම්පුතුන්ගේ සංගම්, ආරක්ෂක අංශ, සෞඛ්‍ය සහ කම්කරු නිලධාරීන් අතර කඩිනම් විශේෂ සාකච්ඡාවක් කැදවන ලෙසද අපි යෝජනා කරන්නෙමු.’

Previous articleඅගමැති ආරක්ෂකයන්ට පුහුණුව ඉන්දියාවෙන් – විපක්ෂ නායක මහින්ද 2019 දී ප්‍රතික්ෂේප කරලා
Next article17-18-19 තුනටම අත උස්සා 20ටත් අත උස්සන මන්ත්‍රීවරුන් 23ක් පාර්ලිමේන්තුවේ – රජීත් කීර්ති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here