මෑත කාලය තුළ පරිසර හානි 20ක් – පොලිසිය

(නිලූක සඳුන් පද්මසිරි)

වන හානි, රක්ෂිත හානි, කඩොලාන සහ තෙත්බිම් විනාශ කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පැමිණිලි 20ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජාලිය සේනාරත්න මහතා පවසයි.

එම සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඉන් සමහරක් රිමාන්ඩ් කර ඇතැයි ද ඒ මහතා කීවේය.

එම පරිසර විනාශයන් සම්බන්ධ පැමිණිලි ලැබී ඇත්තේ පහත ප්‍රදේශවලිනි.

  1. මහනුවර – හන්තාන
  2. කල්පිටිය කඩොලාන පරිසරය
  3. වනාතවිල්ලුව
  4. මාරවිල – මුහුදු කටුව
  5. හොරොව්පතාන – මොරවැව
  6. ආනවිළුන්දාව රැම්සා තෙත්බිම්
  7. මංගලපුර
  8. කාවන්තිස්සපුර
  9. මින්නේරිය
  10. නකල්ස්
  11. පොලොන්නරුව – වැලිකන්ද
  12. අනුරාධපුර – ඉහලතලාව
  13. මීගමුව කලපුව කඩොලාන පරිසරය
  14. කැකිරාව – මලවිවැව රක්ෂිතය
  15. සෝමාවති ජාතික වනෝද්‍යානය
  16. වන්නියගම රක්ෂිතය
  17. මහනුවර – හෑදෙනිය
  18. කිරිදිඔය රක්ෂිතය
  19. කන්තලේ
  20. ගලෙන්බිදුණූවැව

මෙම පැමිණිලි ලැබී ඇත්තේ පහත දැක්වෙන කරුණුවලට අදාළවය.

  1. රක්ෂිතවල ගස් කැපීම
  2. කඩොලාන රක්ෂිතවලට හානි කිරීම
  3. රක්ෂිත ඩෝසර් කිරීම
  4. අනවසරයෙන් අල්ලා ගැනීම
  5. ගස් කපා දමා බෝග වගා කිරීම
  6. වැලිගොඩ දැමීමට සහ නිධන් හැරීමට රක්ෂිත විනාශ කිරීම

වන හානි කරන, රක්ෂිත විනාශ කරන, කඩොලාන හා තෙත්බිම් විනාශ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුවක් නැතැයි ද නීතිය නිසිලෙස ක්‍රියාත්මක කර ඇතැයි ද ජාලිය සේනාරත්න මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට දැනුම් දී අදාළ පියවර ගෙන ඇති බවත් ඔහු සදහන් කළේය.

ජනාධිපති හෙළා දුටු මාධ්‍ය වාර්තා පොලිසියේ ඇගයීමට

වත්මන් ආණ්ඩුව පත්වීමත් සමග පරිසර විනාශ වැඩී වී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ඒවා හෙළා දකින බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා පැවසීය.

නමුත් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පැවසූවේ පරිසර විනාශ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළ නිසා එම පරිසර විනාශයන් පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට උපකාරී වූ බවත් එම මාධ්‍ය වාර්තාවලට ගෞරවය පුද කරන බවත්ය.

ඒ මහතා මෙසේද පැවසීය.

“අපි දන්නවා පසුගිය කාලේ වාර්තා වුණා මාධ්‍ය ගණනාවකින්ම වන විනාශ කිරීම් සම්බන්ධයෙන් සහ රක්ෂිත වලට අදාළ වැරදි සම්බන්ධයෙන්. විශේෂයෙන්ම එවැනි තොරතුරු වාර්තා කරපු මාධ්‍ය වලට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලීසිය අපේ ගෞරවය පුද කරන්න කැමතියි. ඒ සමහර තොරතුරු වන හානිය සහ රක්ෂිත වලට කරන ලද අලාභානි සම්බන්ධයෙන් මාධ්‍ය විසින් වාර්තා කිරීමත් එක්ක ශ්‍රී ලංකා පොලීසිය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළා.”

පරිසර හානි දැනුම්දෙන්න නව දුරකථන අංකයක්

වන හානි කිරීම්, රක්ෂිත හානි කිරීම්, කඩොලාන හා තෙත්බිම් විනාශ කිරීම් සම්බන්ධ සිද්ධීන් සහ පුද්ගලයින් ගැන පොලිසිය දැනුම්වත් කිරීම සදහා සදහා 1997 දරණ දුරකථන අංකය හරහා අද සිට අවස්ථාව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

සෘජුවම පොලිස්පති අධීක්ෂණය යටතේ පොලිස් මූලස්ථානය මෙම දුරකථන අංකය ක්‍රියාත්මක වන බව ද තොරතුරු ලබාදෙන අයගේ අනන්‍යතාවය හෙළි නොකරන බවද රහසිගත බව රකින බවද සේනාරත්න මහතා කීවේය.


ඡායාරූප : අන්තර්ජාලයෙනි

Previous articleතොරතුරු පනත ගමට : එක් දිනකදී තොරතුරු දැනගැනීමේ අයදුම්පත් 2500ක්
Next articleපොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය බොරු වෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here