පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය බොරු වෙයි

(නිලූක සඳුන් පද්මසිරි)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 168ක් පමණ රඳවා තබාගනු ලැබූ රියාද් බදියුදීන් මහතා මුදාහැරුණේ ඔහුට එරෙහිව සාක්ෂි නොමැති නිසා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජාලිය සේනාරත්න මහතා අද (01) ප්‍රකාශ කළේය.

ඔහු අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇති වීම නිසා බවත් විමර්ශනයෙන් සිදුවන්නේ එම සැකය තහවුරු කිරීම හෝ නිෂ්ප්‍රභ කිරීම බවත් ඒ අනුව රියාද් මහතා සම්බන්ධයෙන් තිබූ සැකය නිෂ්ප්‍රභ වූ බවත් ඔහු සඳහන් කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාද් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ ඉකුත් අප්‍රේල් 14 වැනිදාය.

නමුත් රියාද් මහතා අත්අඩංගුවට ගනු ලැබූ දිනට පසුදින එනම් ඉකුත් අප්‍රේල් 15 වැනිදා ජාලිය සේනාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ රියාද් බදියුදීන් මහතා බෝම්බ කරුවෙකු සමග සෘජුව සම්බන්ධතා පවත්වා ඇති බවත් හෝටලයක සාකච්ඡා පවත්වා ඇති බවත්ය.

ඔහු අද මෙසේ පැවසීය.

“ඔහු අත්අඩංගුවට ගෙන මෙම පාස්කු ඉරිදා විමර්ශන සිද්ධ කළා මාස පහක් පමණ රඳවාගෙන.ඔහුට අදාළ චෝදනා ගැන විමර්ශන කිරීමට තරම් තවදුරටත් සාක්ෂි අනාවරණය වී නැති බැවින් ඔහු මුදාහැරලා තියෙනවා සිදුකරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස. පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නේ සාධාරණ සැකයක් ගොඩ නැගුණට පස්සේ. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට අදාළ චෝදනා එල්ල කිරීමට, විමර්ශන ආරම්භ කිරීමට සාධාරණ සැකයක් අනාවරණය වීමත් සමග.

ඒ සැකය තහවුරු වීම හෝ නිෂ්ප්‍රභ වීම තමයි විමර්ශනයෙන් කෙරෙන්නේ. ඒ අනුව ඒ සැකය නිෂ්ප්‍රභ වීමත් සමග සැකකරු මුදාහැර තියෙනවා. නඩු පැවරීමට තරම් සාක්ෂි අනාවරණය වෙලා නෑ. විමර්ශන තියෙන්නේ අවසන් අදියරේ. එහෙම මොකුත් අනාවරණය වුවොත් බලනවා. සැකකරුවෙකු සාක්ෂි නැතිව රදවා තබාගන්නේ නැ. දේශපාලන අතපෙවීමක් නැ. නීතිමය ප්‍රතිපාදන අනුව ස්වාධීනව විමර්ශන කරනවා. ඒවැනි අතපෙවීමක් ගැන වාර්තා වෙලා නෑ.ඉදිරි සති කිහිපයේ විමර්ශන අවසන් තරනවා. චෝදනා තහවුරු වූ සැකකරුවන්ට එරෙහිව නඩු පවරනවා.”

නමුත් ජාලිය සේනාරත්න මහතා එදා පැවසූවේ මෙසේය.

“මොහොමඩ් රියාජ් බදියුදීන් යන සැකකරු සෘජුව සම්බන්ධතා පවත්වලා තියෙනවා එක් බෝම්බකරුවකු සමග. ඒ වගේම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා එක් බෝම්බකරුවකු සමග ප්‍රසිද්ධ හෝටලයක එකට ඉඳලා සාකච්ඡා කරලා තියෙන බවට. ඒ වගේම විශේෂ සුබසාධන සමිති සමාගම්වල මේ බෝම්බකරුවන් සමග එකට නිලතල දරලා තියෙනවා.ඒ වගේම එම සමාගම්වලට බෝම්බකරුවන් මුදල් ආයෝජනය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.ඒ වගේම ඉඩම් එම සංවිධානවලට පරිත්‍යාග කරලා තියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.” 

රියාද් නිදහස් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දවස් දෙකක් යනතුරු දන්නේ නෑ

රියාද් බදියුදීන් මහතා නිදහස් කළ බව තමන් නොදන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයත් එහි අධ්‍යක්ෂ ජාලිය සේනාරත්න මහතාත් ඉකුත් 30 වැනිදාත් ඊයේත් (01) යළි යළිත් ප්‍රකාශ කළේය.

රියාද් මහතා නිදහස් කර ඇති බවට පෙරේදා සිට පුවත් වාර්තා ද පළ වූ අතර මෙම පුවත් සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් පෙරේදා දින තෙවරක් සහ ඊයේ දින එක්වරක් විමසූ අතර එහිදී ඔවුන් ප්‍රකාශ කළ එකම දේ “අපි එහෙම එකක් දන්නේ නෑ. අපිට කියන්නේ නෑනේ. සීඅයිඩී එකෙන් අපිට කියන්නේ නෑ. එහෙන් විස්තර ගන්න අමාරුයි.” යනුවෙනි.

එම මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජාලිය සේනාරත්න මහතාගෙන් පෙරේදා අවස්ථා දෙකකදී විමසූ අතර එහිදී ඔහු පැවසූවේ ද එවන් නිදහස් කිරීමක් ගැන මෙතෙක් තමන්ට වාර්තා නොවූ බවයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරනු ලැබූවේ අද දිනය එනම් මුදාහැරීමෙන් දින දෙකකට පසුය.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (01) ෆේස්බුක් හී සටහන් කර තිබුණේ තම සහෝදරයා අහිංසකයකු නිසා නිදහස් කර ඇති බවයි.

රිෂාඩ් මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (01) පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසූවද පැවසූවේ ද රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා නිදහස් කිරීම සම්බන්ධයෙන් ⁣හරි තොරතුරක් ගැනීමට නොහැකි බවත් සීඅයිඩියෙන් තොරතුරු නොදෙන බවත් ය.

සබැඳි පුවත්

Previous articleමෑත කාලය තුළ පරිසර හානි 20ක් – පොලිසිය
Next articleහෙම්බිරිස්සාව උණ සාමාන්‍ය දෙයක් : වැඩ කරන්න කියලා කිව්වා – බ්‍රැන්ඩික්ස් සේවකයෙක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here