ඉරනතිව් යෑමට ඉඩ නොදෙන්නැයි ජනපතිත් උපදෙස් දුන්නා – නාවික හමුදාව කියයි

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මුලංකාවිල් අසළ ඉරනතිව් දූපතට යෑමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා පවා උපදෙස් දී ඇති බවත්, එම දූපත සම්පූර්ණයෙන්ම නාවික හමුදා කඳවුරක් (බේස් එකක්) බවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීති අධ්‍යක්ෂවරයා ඊයේ (4) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. එම දූපතට යෑමට අවශ්‍ය නම් ඊට පෙර ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනුමැතියක් අවශ්‍ය වන බව ද, අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීති අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ප්‍රඛට මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දු මහතා කර තිබූ පැමිණිල්ලකට අදාලව මානව හිමිකම් කොමිසම එම දූපතට යාමෙ ඊමෙ නිදහස තහවුරු කිරීමට සහ කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකීරීම සම්බන්ධයෙන් කොමිසමේදී කළ සාකච්ඡාවකදීය.
එම සාකච්ඡාව මානව හිමිකම් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) එල් ටී බී දෙහිදෙනිය මහතා ඉදිරියේ පැවැත්වෙන බැවින් නාවික හමුදාපතිවරයාට ඊට සහභාගී වන ලෙස සිතාසි නිකුත් කර තිබුණ ද ඊයේ (4) සාකච්ඡා අවස්ථාවට නාවික හමුදාපතිවරයා නොපැමිණ ඒ වෙනුවට නීති අධ්‍යක්ෂවරයා තවත් නිලධාරිනියක සමග පැමිණ තිබේ. කොමිසමේ සභාපතිට අමතරව, කොමසාරිස්වරුන් දෙදෙනෙකු සහ කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයාද සාකච්ඡාවට සහභාගිවී ඇත.
රුකී ප්‍රනාන්දු මහතා ජනමාධ්‍යවේදීන් දෙදෙනකු සමග ඉරනතිව් දූපතේ ජීවත්වන පුද්ගලයන්ගේ ගැටලු සම්බන්ධයෙන් වාර්තා කිරීමට සහ උද්ඝෝෂණයකට සහභාගි වීමට 2021 වසරේ මාර්තු 05 වැනිදා එම දූපතට යෑමට මුලංකාවිල් ප්‍රදේශයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පිරිසක් ඔවුන්ට දූපතට යෑමට නොදී වලක්වා තිබේ. එම අවස්ථාවේ දී දිස්ත්‍රික් ලේකම්වරිය පවා ප්‍රකාශ කර ඇත්තේ එහි යෑමට සීමා පනවා නොමැති බවයි. එම සිද්ධිය අවස්ථාවේදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ජනමාධ්‍ය වෙත සඳහන් කළේ කොවිඩ් හේතුවෙන් එසේ යෑමට ඉඩ නොදෙන බවයි. අදාල දූපතේ ජීවත්වන ජනතාවට පමණක් යෑමට ඉඩ දෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මානව හිමිකම් කොමිෂන් සභාවේදී නාවික හමුදාවේ නීති අධ්‍යක්ෂවරයා ඊයේ (4) දැනුම් දී ඇත්තේ දූපතට යෑමට පෙර ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු වන්නේ ආරක්ෂක හේතූන් නිසා බවයි.
නාවික හමුදා නීති අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත්තේ දූපතේ කිතුණු දේවස්ථානයට උදව් කරන්නේ නාවික හමුදාවෙ බෞද්ධ නිළධාරින් බවයි. රුකී ප්‍රනාන්දු පැවසුවෙ තමා නාවික හමුදාව සළකන්නෙ නිරාගමික ආයතනයක් ලෙස බවත්, ගැටලුව වන්නෙ, කතෝලිකයකු ලෙස තමාට දූපතේ පල්ලියෙ වන්දනා කටයුතු කිරීමට අවශ්‍ය වුවද, නාවික හමුදාව ගමන වැලැක්වීම නිසා ඊට ඉඩ නොලැබුණු බවත්, ඒ අනුව තමාගේ ආගමක් ඇදහීමේ, පිළිපැදිමෙ අයිතිය ද උල්ලංඝණය වී ඇති බවත්ය.
රුකී ප්‍රනාන්දු මහතා කොමිසමේදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නාවික හමුදාව තමන්ට දූපතට යෑමට ඉඩ නොදීම නිසා තමාගේ යෑමේ ඒමේ අයිතියට අමතරව ආගමක් ඇදහීමේ පිළිපැදිමේ අයිතියත්, භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය, සාමකාමිව රැස්වීමේ නිදහස ඇතුළු අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය වී තිබුණද මානව හිමිකම් කොමිසම සලකා බලා ඇත්තේ යාමේ ඒමේ අයිතිවාසිකම පමණක් බවයි. එසේම මානව හිමිකම් කොමිසම තමාගෙ යාමේ ඒමේ අයිතිවාසිකම උල්ලංඝණය වී ඇතිබව තීන්දු කලත්, එහි නිර්දේශ මගින් පැමිණිලිකරු ලෙස තමාට කිසිම සහනයක් ලබාදී නැති බවත්, එසේවුවද කොමිසම ලබාදී ඇති සීමිත නිර්දේශ ක්‍රියාත්මක කිරීම පොදු යහපතට වැදගත් වන බැවින් ඒ උදෙසා සහයෝගය ලබා දෙන බවත්ය.
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යාමට ඒමට ඇති අයිතිවාසිකම සීමා කළ හැක්කේ ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ප්‍රතිපාදනවලට අනුව බවත්, ඒ අනුව යම් නීතියක් අනුව යාමට ඒමට ඇති අයිතිය සීමා කළ හැකි වුවද එවැනි නීතියක් ගැන කරුණු අනාවරණය වී නැති බවත් කොමිසම දැනුම්දී තිබේ. දූපතට යෑම වැලැක්වීම සඳහා ඇති නීතියක් ගැන කරුණු කීමට නාවික හමුදාවේ නීති අධ්‍යක්ෂවරයා අපහොසත්වී තිබේ. එලෙස නීතියක් ගැන ප්‍රකාශ නොකර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා පවා අදාල දූපත් වෙත යෑමට ඉඩ නොදෙන ලෙසට උපදෙස් දී ඇති බවයි.
නාවික හමුදාව වැනි ආයතයක් නීතියට පිටින් නියෝග ලබා දෙද්දී එම නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට පුරවැසියන් බැඳී නොසිටින බවත්, නාවික හමුදාව වැනි ආයතනයක නීති අංශයට මෙම තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි වීම ගැන කණගාටු වන බවත් රුකී ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.
එසේම අදාල දූපතේ පුරවැසියන් ජීවත් නොවන බව නාවික හමුදාවේ නීති අධ්‍යක්ෂවරයා පැවසුවත්, දූපතේ පදිංචිකරුවන් සිටින බවට දිස්ත්‍රික් ලේකම්වරිය ලිඛිතව සහතික කර ඇතිබවටත්, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පවා ඒ බව මාධ්‍යට පවසා ඇතිබවත් රුකී ප්‍රනාන්දු පෙන්වාදී ඇත. කෙසේ වුවත් පදිංචිකරුවන් සිටියත් නැතත් යාමේ ඒමෙ අයිතිවාසිකම නීතිමය ප්‍රතිපාදන වලට අනූකූලව මිස සීමාකළ නොහැකි බව රුකි ප්‍රනාන්දු සහ කොමිසම පවසා ඇත.
එසේම කොමිෂන් සභාවෙන් පැමිණිලිකරු සහන රැසක් ඉල්ලා තිබුණද කොමිසම යාමට ඒමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා පමණක් නිර්දේශ නිකුත් කර ඇති බවත්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව බැඳී සිටින බවත් වැඩිදුරටත් කොමිසම නාවික හමුදා නීති අධ්‍යක්ෂට දැනුම් දී තිබේ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් අයිතිවාසිකම් සීමාකරන්නෙනම්, එය නීතිමය රාමුවක් තුළ සිදුවිය යුතු බවත්, අයිතිවාසිකම් සීමාකිරීම අවම වන ලෙස ආරක්ෂක පියවර ගන්නා ලෙසත් කොමිසම නාවික හමුදාවට උපදෙස් ලබාදුන්නේය.
උදාහරණයක් ලෙස මුලංකාවිල්වලින් දූපතට යද්දී සහ දූපතේ සිට මුලංකාවිල්වලට එද්දී පරීක්ෂා කිරීම වැනි පියවර පිළිබඳව සිතාබලන ලෙස කොමිසම අවධාරණය කරන ලදී.
නාවික හමුදාවේ පෙර ස්ථාවරය වසර කිහිපයක් ගත වෙද්දී වෙනස් කර ඇති බව ඊයේ අනාවරණය විය.
Previous articleඉරනතිව් ගැන අහන්න නාවික හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි
Next articleශානි සීඅයිඩියෙන් නෙරපීම ගැන පෙත්සම විභාග කරන්න අධිකරණය තීන්දු කරයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here