කොස්තාපල්ට බොරු නඩු පැවරූ ඒඑස්පී, ඕඅයිසී ඇතුළු පොලිසියේ හතරකට පුද්ගලික මුදලින් වන්දි ගෙවන්න නියෝග

(තරිඳු ජයවර්ධන)
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් නිදහස් කරන ලෙසට කළ නීති විරෝධී ඉල්ලීම් පිළිනොගත් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ව්‍යාජ චෝදනාමත අධිකරණයට කරුණු වාර්තා කළ කොස්ගොඩ පොලිසිය අධීක්ෂණය කළ සහකාර පොලිස් අධිකාරී සහ කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිසියේ හතර දෙනකුට තම පුද්ගලික මුදලින් ලක්ෂ 20ක වන්දියක් කොස්තාපල්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) නියෝග කළේය.
නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පොලිසියට පවරා ඇති බවත්, මහජනතාවගේ ආරක්ෂාව බාරව සිටින ආරක්ෂකයන් ඔවුන් බවත්, මෙම නඩුව අනුව ආරක්ෂකයන් ආරක්ෂා කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව සඳහන් කළේ කොස්ගොඩ පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ඊයේ (31) ප්‍රකාශයට පත් කරමිනි. ප්‍රීති පත්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ කේ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළ එම තීන්දුව ලියා තිබුණේ ප්‍රිියන්ත ප්‍රනාන්දු විනිසුරුවරයාය.
පෙත්සමේදී පෙත්සම්කාර පොලිස් කොස්තාපල් වෙනුවෙන් නීතිඥ භාග්‍යා පීරිස් සමග නීතිඥ ගීත් කරුණාරත්න මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අනූප ද සිල්වා මහතා පෙනී සිටියේය.
කොස්ගොඩ පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල් 28442 පී ඩී ඒ පනාපිටිය මහතා සහ ඔහුගේ බිරිඳ ගයත්‍රී හේවාවසම් විසින් ගොනු කර ඇති පෙත්සමේ ප්‍රධාන වගඋත්තරකරුවන් වූයේ කොස්ගොඩ පොලිසිය අධීක්ෂණය කළ සහකාර පොලිස් අධිකාරී යූ එම් අමරසිරි, කොස්ගොඩ එවකට පොලිස් ස්ථානාධිපති මංගල ද සොයිසා අමරසේකර, එම පොලිසියේ අපරාධ අංශයේ හිපු ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් ද සිල්වා සහ පොලිස් සැරයන් 9476 වික්‍රම ඩිලාන් ඉන්දික ද සිල්වා යන පොලිස් නිලධාරීන් සිව්දෙනාය.
නඩුතීන්දුවේ සඳහන් වන අන්දමට මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති පොලිස් කොස්තාපල්වරයා කොස්ගම පොලිසියේ දූෂණ මර්දන අංශයට අනියුක්තව රාජකාරි කරමින් සිට ඇති අතර එහි එම අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාට උපරිම සහයෝගය ලබාදෙමින් ඔහු සුපරික්ෂාවගෙන් රාජකාරි කර තිබේ. එසේ රාජකාරි කරද්දී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුදා හරින ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ පෙර සඳහන් කළ පොලිස් සැරයන්වරයා විටින් විට බලපෑම් කර ඇති බවත්, එලෙස බලපෑම් කළ ද එම නීති විරෝධී බලපෑම් ගණනකට නොගෙන කොස්තාපල්වරයා කටයුතු කර ඇති බවත් එසේ හෙයින් ඔවුන් තිදෙනා තමා සමග අමනාපයෙන් සිටි බවත් පෙත්සමේ සඳහන්වී ඇති බව නඩුතීන්දුව පෙන්වා දෙයි.
2021 නොවැම්බර් දෙවැනිදා උදේ 11.00ට පමණ පෙත්සම්කාර කොස්තාපල්වරයා කොස්ගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශය අසලම ඇති ශාලාවේ සිටි බවත්, එදින දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරියකට අම්බලංගොඩ ගොස් සිටි බවත්, පස්වරු 2.00ට පමණ තමා පොලිස් ස්ථානාධිපතිගේ කාමරයට කැඳවූ බවත්, ස්ථානාධිපතිගේ කාමරයේදී පොලිස් සැරයන් වික්‍රම ඩිලාන් ‘මල්ලි උඹ මෙහේ ඇවිල්ලා දැඟලුවා වැඩියි, බලාගනිං උඹට මොකද වෙන්නේ කියලා. උඹේ ජොබ් එකට කෙළිනවා.‘ යනුවෙන් ප්‍රකාශ කළ බවත්, එම අවස්ථාවේ පොලිස් ස්ථානාධිපති සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ද එම ස්ථානයේ සිටි බවත් පෙත්සමේ සඳහන්වේ.
අම්බලංගොඩ සහකාර පොලිස් අධිකාරී යූ එම් අමරසිරි එදින පොලිස් ස්ථානාධිපතිගේ කාමරයට පැමිණි බව ද, ‘ආ… තෝද මිනිහා, ඉඳපන් මම උඹට කෙලෝලා ගන්නම්, තොගේ ජොබ් එකට මං කෙලිනවා. තෝ හිරේ තමයි යවන්නේ.‘ ආදී වශයෙන් බැන වැදුණු බව ද, මේ නිසා තමා දැඩි කම්පනයට පත්ව ගොස්ගොඩ පොලිසියෙන් පිටවී ගිය බව ද කොස්තාපල් සඳහන් කර තිබේ. අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙම කොස්තාපල්ගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳ සහ මාස නවයක් වූ දරුවාද පොලිසියට රැගෙන ගොස් පැය 05කට ආසන්න කාලයක් රඳවාගෙන සිට ඇති බවත් මෙම සිද්ධිය ගැන කොස්තාපල්ගේ බිරිඳ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බවත් නඩු තීන්දුවේ සඳහන්වේ.
අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම පොලිස් කොස්තාපල්වරයා පොලිස් කියවීම් ශාලාවේ දී හෙරොයින් පානය කරන බවට අපරාධ අංශයේ ස්ථානාධිපති සහ පෙර කී පොලිස් සැරයන්වරයා පැමිණිලි කළ බවට කරුණු වාර්තා කළ අතර එම ශාලාවේ සිට හමුවූයේයැයි කියමින් නඩු භාණ්ඩ කිහිපයක් රස පරීක්ෂක වෙත යැවීමට නියෝගයක් ලබා ගත්තේය.
එලෙස බී වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර දින සහකාර පොලිස් අධිකාරීවරයා විසින් තමාගේ වැඩ තහනම් කළ බව ද, ඉන් පසු සහකාර පොලිස් අධිකාරීවරයාගේ කාර්යාලයට විමර්ශනයකට යැයි කියමින් තමා කැඳවුවද තමා නොගිය බව ද, බී වාර්තාව ගැන දැන ගැනීමෙන් පසු තමා විසින් නවලෝක රෝහලට ගොස් 2021 නොවැම්බර් හත් වැනිදා ‘Drug abuse screening profile, urine, rapid test’ නම් පරීක්ෂණය කළ බව ද, මාස තුනක කාලයක් ඇතුළත මත්ද්‍රව්‍ය භාවිත කර ඇතිනමන් එමගින් සහතික කර ගත හැකි බව ද, තමා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට එම වර්තාව මගින් තහවුරු වූ බව ද පොලිස් කොස්තාපලරවායගේ පෙත්සමේ සඳහන් වේ.
කොස්තාපල්වරයා එම වාර්තාව සමඟ 2021 නොවැම්බර් 10 වැනිදා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් බරවීමෙන් පසු කොස්ගොඩ පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසත්, අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ පෙනී සිටින ලෙසත් නියෝග කරමින් ඔහු ඇප මත මුදාහැර තිබේ. මහේස්ත්‍රාත් නියෝගය අනුව අධිකරණ වෛද්‍යවරයා සිය වාර්තාව 2021 නොවැම්බර් 25 වැනිදා දිනැතිව අධිකරණයට ලබා දී ඇති අතර එහිද සඳහන් වී ඇත්තේ කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බවයි.
මෙම සිදුවීම ගැන පොලිස් කොස්තාපල්වරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත්, පොලිස් විශේෂ විමර්ශන ඒකකයටත් පැමිණිලි කර තිබේ. ⁣
මේ අතර ඔහු මහේස්ත්‍රාත් නියෝගය අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිසියට ගිය අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා ඔහුගේ ප්‍රකාශය ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ ඔහු මත්ද්‍රව්‍ය භාවිත කළ බවට පැමිණිලි කළැයි අධිකරණයට වාර්තා කළ ⁣සැරයන්වරයාටමය. තමාට එරෙහිව පැමිණිලි කළ පුද්ගලයාටම තමාගේ පැමිණිල්ල සටහන් කර ගැනීම යුක්ති සහගත නොවන බවත්, ඔහු ඇතුළු නිලධාරීන්ට එරෙහිව තමා නීතිමය පියවර ගන්නා බවත් එම අවස්ථාවේදී කොස්තාපල්වරයා දැනුම් දී තිබෙන බව නඩු තීන්දුවේ සඳහන් වේ.
ඉන් පසු 2021 ජනවාරි මස 22 වැනිදා රස පරීක්ෂක වාර්තාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත එවා තිබෙන අතර එමගින් සඳහන් කර ඇත්තේ පොලිස් ස්ථානාධිපති ඉදිරිපත් කළ නඩු භාණ්ඩවල නීති විරෝධී ද්‍රව්‍ය කිසිවක් තිබී නැති බවයි.
එම වාර්තාව ලැබුණු පසු 2022 ජනවාරි මස 31 වැනිදා කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා යළිත් අලුත් බී වාර්තාවක් බලපිටිය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරමින් මෙම කොස්තාපල් 2021 නොවැම්බර් 10 ප්‍රකාශය ලබා දීමට පැමිණි දිනයේ මෙම නඩුවේ සාක්කිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ප්‍රකාශ කරමින් තර්ජනය කළේයැයි කරුණු වාර්තා කළේය. ඉන් අනතුරුව මුල් නඩුව එනම් කොස්තාපල්ට එරෙහි මත්ද්‍රව්‍ය නඩුව 2022 මාර්තු මස නව වැනිදා කැඳවූ අතර රස පරීක්ෂකගේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තා පදනම් කර ගනිමින් මහේස්ත්‍රාත් විසින් කොස්තාපල් නිදහස් කරනු ලැබීය.
කෙසේ වෙතත් කොස්තාපල් සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ මහේස්ත්‍රාත් තමා නිදහස් කළද ඒ වන විට සිද්ධිය ගැන ජනමාධ්‍යවල පලවීමෙන් තමාගේ පිළිගැනීමට විය යුතු හානිය වී හමාර බවයි.
කොස්තාපල්වරයා පෙත්සමෙන් ඉදිරිපත් කළ කරුණු සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රෙෂ්ඨාධ්කරණය තීන්දුව ලබා දෙමින් සඳහන් කළේ කොස්තාපල්ගෙ බිරිඳ සහ දරුවා නිවසේ සිටියදී පොලිසියට ගෙන යෑම නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් බවයි. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 සහ 13.1 යන ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එසේම පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව බොරු නඩු පවරා ඇති බව තහවුරු වන බවත්, එය පැහැදිලිවම පොලිසිය බලය අවභාවිත කිරීමක් බවත්, එය නීති විරෝධී, අත්තනෝමතික ක්‍රියාවක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි. එසේම සාධාරණ රැකියාවක නිරතවීමේ අයිතිය ද කොස්තාපල්ගේ වැඩ තහනම් කිරීමෙන් අහිමිවී ගොස් ඇති බවත් සඳහන් කළ අධිකරණය සහකාර පොලිස් අධිකාරී, පොලිස් ස්ථානාධිපති, පොලිස් සැරයන් සහ අපරාධ අංශයේ ස්ථානාධිපති විසින් පොලිස් කොස්තාපල්වරයාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළේය.
ඒ අනුව රජය විසින් කොස්තාපල්ට සහ ඔහුගේ බිරිඳට රුපියල් 25,000ක් බැගින් ගෙවිය යුතුයැයි ද, පොලිස් නිලධාරීන් හතර දෙනා ඔවුන්ගේ පුද්ගලික මුදලින් එක් අයකු ලක්ෂ පහ බැගින් ලක්ෂ 20ක වන්දියක් කොස්තාපල් වෙත ගෙවිය යුතු යැයිද නියෝග කළේය.
එසේම පොලිස් නිලධාරීන්ට විරුද්ධය විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තීන්දුවේ පිටපතක් පොලිස් කොමිසමට යවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම දුන්නේය.
Previous article‘නිදහස සීමා කිරීමට නොපෙනන බාධක යෙදීම උසාවියේ වැඩක් නෙමේ’ – දැඩිගම මුදලාලිගේ නියෝගය දෙමින් අධිකරණය කියයි
Next articleපළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here