Home පුවත් ‘නිදහස සීමා කිරීමට නොපෙනන බාධක යෙදීම උසාවියේ වැඩක් නෙමේ’ – දැඩිගම මුදලාලිගේ නියෝගය දෙමින් අධිකරණය කියයි

‘නිදහස සීමා කිරීමට නොපෙනන බාධක යෙදීම උසාවියේ වැඩක් නෙමේ’ – දැඩිගම මුදලාලිගේ නියෝගය දෙමින් අධිකරණය කියයි

0
‘නිදහස සීමා කිරීමට නොපෙනන බාධක යෙදීම උසාවියේ වැඩක් නෙමේ’ – දැඩිගම මුදලාලිගේ නියෝගය දෙමින් අධිකරණය කියයි
දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධිපති රංජන් දැඩිගම මහතා ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණීමේදී හෝ පැමිණ පැය 48ක් යනතුරු අත්අඩංගුවට ගැනීමෙන් වලකින ලෙස අභියාචනාධිකරණය සිකුරාදා  (27) බොරැල්ල පොලිස් ස්ථානාධිපතිට සහ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිට නියෝග කළේය.
එසේම ඔහුගේ විදේශ ගමන් වලක්වමින් සහ ඔහු ලංකාවට පැමිණීමේදී ඒ බවට පොලිසියට දැනුම් දෙන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය සංශෝධන කළ අභියාචනාධිකරණය ලංකාවට පැමිණ පැය 48ක් ඇතුළත අදාල පොලිසියට වාර්තා කරන ලෙස දැඩිගම මහතාට නියෝග කළේය.
තමා අත්අඩංගුවට ගැනීම වලකන නියෝගයක් ඉල්ලමින් දැඩිගම මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී එම් සමරකෝන් මහතා මේ නියෝගය ලබා දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් පිටු 50ක නියෝගක් ප්‍රකාශයට පත් කරමිනි.
දැඩිගම මහතා පොලිසියට ගිය පසු ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව නීතියේ සඳහන් ආකාරයට කටයුතු කළ යුතු බවටත්, මහේස්ත්‍රාත්වරයා නීතියට අනුව නියෝගයක් කළ යුතු බවත්, එලෙස නියෝග ලබා දෙද්දී මෙම තීන්දුවේ සවිස්තරව දක්වා ඇති නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය සහ නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීම යන සංකල්ප දෙක ගැන සැලකිලිමත් වනු ඇති බවත් අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.
නියෝගය ගැන අවධානය යොමු කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා වෙත පිටපතක් යොමු කිරීමට අභියාචනාධිකරණය එහි ලේඛකාධිකාරීට නියෝග කළේය.
පාර්ලිමේන්තු, කොංග්‍රස්, ලෝක් සභා ආදී නම කුමක් වුවත් සෑම තැනකම ව්‍යවස්ථාදායකයන් මිනිසාගේ ස්වාභාවික නිදහස සීමා කිරීමට ප්‍රමාණවත් හා වැඩි නීති පනවා ඇති බවත්, ඒවා වඩාත් දැඩි කිරීම සඳහා “නොපෙනෙන බාධක” නිර්මාණය කිරීම උසාවිවල කාර්යය නොවන බවත් මෙම නියෝගයේ දී අභියාචනාධිකරණ විනිසුරුවරයා සඳහන් කර තිබේ.
දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධිපති රන්ජන් දැඩිගම මහතා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ 2023 දෙසැම්බර් 07 වැනිදාය. මෙම පෙත්සමට හේතු වී ඇත්තේ ප්‍රදීපා දර්ශනී නම් කාන්තාවක ගොනු කළ පැමිණිල්ලක් අනුව පොලිසිය කළ කරුණු දැක්වීමකින් පසු මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකි. පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ පැමිණිලිකාර කාන්තාවගේ සැමියා පොලිස් නිලධාරියකු බවයි. කාන්තාව තම සැමියා සහ දරුවන් සමග බොරැල්ල මරදාන පාරේ ස්ථානයක පදංචිව සිටින බවත්, එම පරිශ්‍රයේ ඇය හෝටලයක් පවත්වාගෙන යන බවත්, 2023 අගෝස්තු පස් වැනිදා අලුයම එකට පමණ අදාල පරිශ්‍රයේ ගින්නක් හටගත් බවත්, ඊට පෙර දින දැඩිගම සමුහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු වන රගුවනන් සඳනාම් නම් පුද්ගලයා පැමිණ හෝටලයේ වැඩ නතර කරන ලෙස දැනුම් දී ඇති බවත් පොලිසිය සඳහන් කර තිබේ. හෝටලය අලුත්වැඩියා කර නැවත අගෝස්තු 17 වැනිදා ආරම්භ කළ පසු 10 දෙනකුගේ පමණ පිරිසක් පැමිණ පහර දීමක් කළ බවත්, එමගින් පැමිණිලිකාරියගේ ස්වාමිපරුෂයා වන පොලිස් නිලධාරියාගේ හිසට තුවාල සිදුවී ඇති බවත් පොලිසිය වාර්තා කර තිබේ. මෙම පැමිණි පිරිසට මුදල් ගෙවා ඇති බව ද, ඊට අදාල චෙක්පත්වලට අත්සන් කර ඇත්තේ දැඩිගම මහතා බව ද පොලිසිය සඳහන් කර තිබේ.
මේ අතර දැඩිගම මහතා 2023 අගෝස්තු මස පස් වැනිදා (සිද්ධිය වූ දිනයේ) විදේශ ගතව ඇති බවත්, ඔහු ලංකාවට එද්දී එත්අඩංගුවට ගැනීමට අදාල නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය   කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් උසාවිය දැඩිගම මහතාට විදෙස් ගමන් තහනමක් පනවා ඔහු ලංකාවට එද්දී ඒ බව පොලිසියට දැනුම්දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළ බව නඩුවේ දී සඳහන් විය.
අනතුරුව දැඩිගම මහතා මහේස්ත්‍රාත් අධිකරණයට අපේකෂිත ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවත්, අධිකරණය එය ප්‍රතික්ෂේප කළ බවත් කියැවිණි.
අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කළ දැඩිගම මහතා ප්‍රකාශ කර ඇත්තේ තම සමූහ ව්‍යාපාරයේ දේපොළ කළමනාකරු රගුවන් සඳනාම් මහතා   විසින් තමාගේ අනුමැතියක් නැතිව මෙම පරිශ්‍රය පැමිණිලිකාර කාන්තාවට ලබාදී ඇති බවයි. සමූහ ව්‍යාපාරයක අධිපති බවත්, ව්‍යාපාර සමූහයට අදාල චෙක්පත් විශාල ප්‍රමාණයක් තමා අත්සන් කරන බවත්, පැමිණිලි කාරියගේ සැමියාට පහරදීම තමා නොදන්නා බවත්, තමා ඊට කිසිම සම්බන්ධයක් නැති බවත් ඔහු පෙත්සමෙන් කියා තිබිණි. එසේම තමා අගෝස්තු 05 වැනිදා විදෙස්ගත වීම සඳහා ටිකට් පත් ලබා ගත්තේ ජූලි මාසයේ බවද මෙම සිදුවීම සහ විදේශගතවීම අතර සබඳතාවක් නැති බව ද ඔහු කියා ඇත.  දැඩිගම මහතාගේ පෙත්සම සමග එම රගුවන් සඳනාම් නම් පුද්ගලයාගේ දිවුරුම් ප්‍රකාශයක් ද දැඩිගම මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සඳනාම් මහතා සඳහන් කර ඇත්තේ අදාල පැමිණිලිකාර කාන්තාවගේ සැමියා වන වසන්ත නම් පොලිස් නිලධාරියා වැඩ තහනමකට ලක්ව පවුල නඩත්තු කිරීමේ අපහසුතාවයෙන් සිටියදී තම මිතුරකු වන අනුරාධ නැමැත්තකු විසින් ඔහු හඳුන්වාදී ඇති බවයි. අනතුරුව ආයතනයේ විවිධ කොන්ත්‍රාත් වැඩ ඔහුට ලබා දුන් බවත්, එසේම ඔවුන්ට නැවතීමට රාවතාවත්තේ පරිශ්‍රයක් ඇතුළු ස්ථාන විටින් විට ලබා දුන් බවත්, රාවතාවත්තේ පරිශ්‍රෙය් කොටසක වසන්ත නැමැත්තා කඩයක් පවත්වාගෙන ගිය බවත්, මෙලෙස පරිශ්‍රයන් ලබාදීමට පෙර ඒ සඳහා මෙම ව්‍යාපාර සමූහයේ අධිපතිගෙන් අනුමැතිය ලබා නොගත් බවත් එම දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන බව අභියාචනාධිකරණ නියෝගයේ සඳහන්වේ.
වසන්තගේ වැඩ තහනම පසුව ඉවත් වී ඔහු ආමර්වීදිය පොලිසියට අනියුක්ත වූ බවත්, එනිසා ඔහුට නිල නිවාසයක් ලැබෙනතුරු ඒ ආසන්නයේ පරිශ්‍රයක් ලබා ‍දෙන ලෙසට ඔහු ඉල්ලා සිටි බවත්, ඒ අනුව 2020 දී බොරැල්ල මරදාන පාරේ පරිශ්‍රයක් ඔහුට ලබා දුන් බවත්, 2022 දෙසැම්බර් 31 වැනිදා එයින් යන බවට වසන්ත පොරොන්දු වුවත් නොගිය හෙයින් තමන් 2023 ජනවාරි 05, ජනවාරි 10, ජනවාරි 14 සහ 22 යන දිනවලදී පොලිසියට පැමිණිලි කළ බවත් දේපොළ කළමනාකරු සඳනාම් ප්‍රකාශ කර තිබේ.
බොරැල්ල පොලිසිය දෙපාර්ශ්වය කැඳවූ පසු අදාල ස්ථානයෙන් පිටවී යාම සදහා රුපියල් ලක්ෂ 75ක මුදලක් වසන්ත ඉල්ලා සිටි බවත්, වසන්තට උදව් කිරීම සඳහා දැඩිගම මහතාටද නොදන්වා කළ කටුයුතු නිසා තමා දැඩි අපහසුතාවකට ලක්වූ බවත් සඳනාම් සඳහන් කර ඇත.
අධිකරණය ඉදිරියේ නොමැති (පාර්ශ්වයක් නොවන) පුද්ගලයකුගේ දිවුරුම් ප්‍රකාශයක් පිළිගත හැකිද යන්න ගැන ද අභියාචනාධිකරණය මෙම නියෝගයේදී සලකා බලා තිබේ. ඒ අනුව අභියාචනාධිකරණය සඳහන් කරන්නේ සුප්‍රසිද්ධ නඩුවක් වන විවියන් ගුණවර්ධනගේ නඩුවේදී ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය එය පිළිගෙන ඇති බවයි. එම නඩුවේදී විවියන් ගුණවර්ධන සඳහන් කර ඇත්තේ හෙක්ටර් පෙරේරා නැමැති පොලිස් ස්ථානාධිපතිවරයා තමා අත්අඩංගුවට ගත් නිලධාරියා බවයි. කෙසේ වෙතත් හෙක්ටර් පෙරේරා නම් නිලධාරියා විනයාගම් ගනේෂනාදම් නම් නිලධාරියකුගේ දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි සඳහන්ව තිබී ඇත්තේ විවියන් ගුණවර්ධන අත්අඩංගුවට ගත්තේ තමා (ගනේෂනාදම්) විසින් බවයි. ඒ අනුව එම දිවුරුම් ප්‍රකාශය පිළිගත් අධිකරණය ඔහු (ගනේෂනාදම්) විවියන් ගුණවර්ධනගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ද තීන්දු කළේය. ඊට එරෙහිව අදාල නිලධාරියා අයදුම්පතක් ඉදිරිපත් කරමින්   ප්‍රකාශ කළේ තමා දිවුරුම් ප්‍රකාශයේ සාක්කිකරුවකු පමණක් බවත්, එහෙයින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉවත් කරන ලෙසත් ඉල්ලා තිබිණි. එම අයදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනකු විසින් විභාග කර බහුතරයේ තීන්දුව අනුව ගනේෂනාදම්ගේ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කළේය.
එම සිද්ධිය ද සඳහන් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගයේදී සඳහන් කර ඇත්තේ සඳනාම්ගේ දිවුරුම් ප්‍රකාශයෙන් පෙත්සම්කරු (දැඩිගම) ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ මෙම සිදුවීමට තමාගේ සම්බන්ධයක් නොමැති බව බවයි.
පුද්ගලික නිදහස සම්බන්ධයෙන්ද, නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය ගැන ද, අපේක්ෂිත ඇප සම්බන්ධයෙන් ද, ඇප පනතේ ඇතැම් විධිවිධාන සම්බන්ධයෙන් ද මෙම නියෝගයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
ඇප පනතේ 21 වැනි වගන්තියේ සඳහන් වන්නේ ඇප දිය නොහැකි වරදකට  තමන් අත්අඩංගුවට ගත හැකි යැයි විශ්වාස කිරීමට හේතු තිබේ නම් ඔහුට  අපේකෂිත ඇප  ඉල්ලා සිටීමට එම වගන්තියේ විධිවිධාන අදාල බව යැයි ද, පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත්නම් ඔහුට අපේක්ෂිත ඇප ලබා ගත නොහැකි බවට එහි සඳහන්ව නැතැයි ද, පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇත්නම් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි යැයි විශ්වාස කිරීමට වඩාත් හොඳ හේතුවක් තිබෙන්නේ යැයි ද අධිකරණය සඳහන් කරයි.  යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළත් ඔහුව ඇත්ත වශයෙන්ම අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු ඇප පනතේ 21 වැනි වගන්තිය යටතේ සහනයක් ලබාගැනීමට බාධාවක් නැති බව ද අභියාචනාධිකරණය පෙන්වා දී ඇත.
1997 ඇප පනත අවුරුදු 26 ක් පැරණි වුවද  එය අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ වර්තමාන ප්‍රවණතා නියෝජනය කරන ප්‍රගතිශීලී නීති සම්පාදනයක් බවත්, විශේෂයෙන්ම නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් නිර්දෝෂීභාවය පූර්ව නිගමනය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ  සංකල්ප සඳහා වඩාත් හිතකර බවත් අධිකරණය සඳහන් කරයි.
නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියේ 11 වැනි වගන්තියේත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 14 වැනි වගන්තියේත්, යුරෝපා කවුන්සිලයේ මානව හිමිකම් සහ මූලික නිදහසේ ආරක්ෂාව පිළිබඳ සම්මුතියේ 6.2 වගන්තියේත්, එක්සත් රාජධානියේ 1998 මානව හිමිකම් පනතේ හය වැනි වගන්තියේත්, මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකා සම්මුතියේ 1(1) වගන්තියේත්, 1979  පුරුෂයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයේ 09 වැනි වගන්තියේත් සඳහන්ව තිබෙන බව අභියාචනාධිකරණ විනිසුරුවරයා සිය නියෝගයෙන් කියයි.
නඩුවේ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිලූකා දිසානායකගේ උපදෙස් පරිදි නීතිඥ මහින්ද නානායක්කාර මහතා පෙනී සිටි අතර වගඋත්තරකාරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය පෙනි සිටියාය.
සම්පූර්ණ නඩු තීන්දුව පහත දැක්වේ.

CA/RII/55/2023

(TJ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here