බෝම්බකරුවන්ගේ සංවිධානයේ හමුදා ඒජන්තයකුත් ඉඳලා

පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ සංවිධානයක් වන ජේඑම්අයි සංවිධානය තුලට බුද්ධි අංශ ඒජන්තවරයකු ද යොදවා සිටි බව ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂක තුවාන් සුරේෂ් සලේ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලබා දුන් සාක්ෂියෙන් අනාවරණය වන්නේ යැයි සමාජය සහ සාමායික කේන්ද්‍රය (සී.එස්.ආර්) සඳහන් කරයි.
එලෙස ඒජන්තවරයකු ද යොදවා තිබියදී මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවීම ප්‍රශ්න සහගත යැයි ද, පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්කි සටහන් රජය ප්‍රසිද්ධ නොකර සඟවා තබාගෙන සිටින්නේ මෙවැනි කාරණා හෙලිදරව්වීම වැලැක්වීම සඳහා බවට පැහැදිලි යැයි ද එම ආයතනය කියයි.
මරදානේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රය මේ බව සඳහන් කරන්නේ ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී 2023 සැප්තැම්බර් මස 21 සහ 22 දිනවලදී පාස්කු ඉරුදින ප්‍රහාරය හා චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් පැවැති විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාගත කළ පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ලබාගෙන ඒවා අධ්‍යයනය කිරීමෙන් පසු මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන බව ද එම නිවේදනයේ සඳහන් කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සලේ සහ සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා යන පිරිස ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලබා දුන් සාක්ෂි සටහන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී හංස අබේරත්න මහතා මරදාන සමාජය සහ සාමයික කේන්ද්‍රය (සීඑස්ආර්) වෙත නිල වශයෙන් මුදා හැරිය බවත්, ආයතනයේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයන් එම සාක්කි සටහන් අධ්‍යයනය කිරීමෙන් පසු මහජනතාව වෙත සන්නිවේදනය කළ යුතු වැදගත් කරුණු එලෙස නිවේදනයක් මගින් නිකුත් කරන බවත් එම ආයතනය සඳහන් කරයි.
එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තුවාන් සුරේෂ් සලේ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ ලෙස සිටියදී සහරාන් හෂීම් සම්බන්ධයෙන් වන තොරතුරු ඔවුන් සතුව තිබී ඇති බවයි. සලේ මහතා විසින් 2020 ජුනි 25 වැනිදා ජනාධිපති කොමිසමට ලබා දුන් සාක්ෂියේදී  ඒ බව පිළිගෙන ඇති බවත්,  තව්හිත් ජමාත් කණ්ඩායමක් ආරක්ෂක අමාත්‍යංශයට ගෙන්වා සාකච්ඡා පවත්වා ඇති බව ඔහු තම සාක්ෂියේ 113 පිටුවේදී ප්‍රකාශ කර තිබෙන බවත් සමාජය හා සාමයික කේන්ද්‍රය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
සහරාන් හෂීම්ගේ බිරිඳ ජනාධිපති කොමිසම වෙත 2020 ඔක්තෝබර 20 වැනි සාක්කි ලබා දී ඇති බව ද,  2019 අප්‍රේල් තුන් වැනි දා බෝම්බකරුවන්ගේ පානදුර හා කටුවාපිටිය ආරක්ෂිත නිවාස අතර බොම්බ ද්‍රව්‍ය හුමවාරුවක් සිදුවී ඇති බවට එම සාක්කියෙන් අනාවරණය වන්නේයැයි ද, සැකකටයුතු ලොරියක් ගැලනිගම අධිවේගයේ පිටවීමේදී නිදහස් කරන ලෙසට දේශබන්දු තෙන්නකෝන් මහතා බලපෑම් කළ බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූ සිද්ධිය සිදුවී ඇත්තේ ද 2019 අප්‍රේල් 03 වැනිදා බව ද, තෙන්නකෝන් මහතා බෝම්බ ප්‍රහාරය වූ දිනය ඇතුළුව අප්‍රේල් 18 වැනිදා සිට නිවාඩු ලැබීමට නිවාඩු ඉල්ලුම්පත් යොමු කර ඇත්තේ ද 2019 අප්‍රේල් 03 වැනිදා බවට වාර්තා වන බව ද සඳහන් කරන සමාජය හා සාමයික කේන්ද්‍ර මෙම සිදුවීම්වල අන්තර් සම්බන්ධය ගැන පරීක්ෂණ සිදුවිය යුතු බව ද අවධාරණය කරයි.
සමාජය හා සාමයික කේන්ද්‍රය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
මාධ්‍ය නිවේදනය
පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසමේ වැදගත්ම සාක්කි හතරක් නිල වශයෙන් CSR වෙත ලැබෙයි ; බෝම්බකරුවන් ගැන ආරක්ෂක අංශ පෙර සිට දැන සිටි බව තවදුරටත් තහවුරු වෙයි
පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සලේ සහ සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා යන පිරිස ලබා දුන් සාක්කි සටහන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී හංස අබේරත්න මහතා විසින් මරදාන සමාජය සහ සාමයික කේන්ද්‍රය (CSR) වෙත නිල වශයෙන් මුදා හරිනු ලැබීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී 2023 සැප්තැම්බර් මස 21 සහ 22 දිනවලදී පාස්කු ඉරුදින ප්‍රහාරය හා චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් පැවැති විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සාක්කි සටහන් සභාගත කර තබිණි. එම තොරතුරු ඉල්ලමින් සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම තොරතුරු පනත යටතේ යොමු කළ තොරතුරු ඉල්ලීමකට අනුව අදාල තොරතුරු ලබා දීම සිදුවිය.
එලෙස ලැබුණු තොරතුරු පර්යේෂණ කණ්ඩායමක් විසින් කියවා විශ්ලේෂණය කිරීමෙන් පසු ඒවායේ අන්තර්ගත වන සහ ඒවායෙන් අනාවරණය වන පහත සඳහන් කරුණු ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට සමාජය හා සාමයික නේන්ද්‍රය ලෙස අපි තීරණය කළෙමු.
1) තුවාන් සුරේස් සලේ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියදී සිට හමුදා බුද්ධි අංශ සතුව සහරාම් හෂීම් සම්බන්ධයෙන් තොරතුරු පැවතිය බව.
නැගනෙහිර බුද්ධි නිලධාරීන් සහරාන් හෂීම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බව තුවාන් සුරේෂ් සලේ මහතා විසින් 2020 ජුනි 25 වැනිදා ජනාධිපති කොමිසමට ලබා දුන් සාක්කියේ දී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සංජීව දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. එම සාක්කියේ 94 සහ 95 පිටුවල මේ බව සඳහන්ව ඇත. තව්හිත් ජමාත් කණ්ඩායමක් සමග ඔවුන් සම්බන්ධ වූ බවත්, ඔවුන් ආරක්ෂක අමාත්‍යංශයට ගෙන්වා සාකච්ඡා පවත්වා ඇති බවත් ඔහු තම සාක්කියේ 113 පිටුවේදී ප්‍රකාශ කර තිබේ. න්‍ඵෂ සංවිධානයට තම හමුදා බුද්ධි අංශයේ ඒජන්තවරයකු යොදවා තොරතුරු ගත් බවත් එය සංවේදී ක්‍රියාදාමයක් බවත් ඔහු තම සාක්කියේ දී ප්‍රකාශ කර තිබේ.
2) සහරාන්ගේ ආරක්ෂාව ගැන වෙහෙසුණු ඉන්දියාවේ සිටින බවට සහරාන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති අබුහින්ද් නම් පුද්ගලයා සහරාන් සමග කතා බහ කිරීමට ආරම්භ කර ඇත්තේ 2017 වසරේ අවසානයේ පමණ සිට බව සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා තම සාක්කියේ දී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති කොමිසම වෙත ඇය සාක්කි ලබාදී ඇත්තේ 2020 ඔක්තෝබර 20 වැනිදිනය. 2017 වසරේ අවසානයේ සිට 2019 වන තෙක් අබුහින්ද් නමින් සිටි පුද්ගලයා සහරාන් සමග නිරන්තරයෙන් සන්නිවේදනය කළ බව හාදියාගේ සාක්කියේ 76වැනි පිටුවේ සඳහන්වේ. එසේම අප්‍රේල් තුන් වැනි දා පානදුර හා කටුවාපිටිය නිවාස අතර බඩු හුවමාරුවක් (බෝම්බ ද්‍රව්‍ය) සිදුවීම ගැන හාදියාකේ සාක්කියේ 124 සහ 125 පිටුවල සඳහන්වේ. මහනුවර පැවැති ආයුධ පුහුණුව අතරතුරදී පොලිසිය පැමිණ පරීක්ෂා කරද්දී සහරාන් ඇතුළු පිරිස සතුව ගිනි අවි තිබුණු බවත්, සහරාන්ගේ බෑගය පරීක්ෂා කළ ද පොලිසිය ගිනිඅවිය සොයා නොගත් බවට සහරාන් ප්‍රකාශ කළ බවත් හාදියා තම සාක්කියේ 150 වැනි පිටුවේ කියා තිබේ. සයින්දමරුදු සිදුවීම අවස්ථාවේදී නිවස ගිනි ගනිද්දී නිවසේ එළියෙන් පැමිණ ජනේලයෙන් සහරාන්ගේ සහෝදරයා සෙයිනි තමාට කතා කළ බවත්, තමා නොගිය බවත්, ටික වේලාවකට පසු වෙඩි සද්ධ ඇසුණු බවත්, වෙඩි සද්ධවලින් පසු සාරාගේ වැනි කඩහඩක් ඇසුණු බවත්, තමා පිටුපසට හැරී බලන විට කාන්තාවක් සිටගෙන සිටි බවත්, ඇගේ මුහුණේ ලේ තිබුණු බවත්, ඇඳුම පිළිස්සී තිබුණු බවත් සහරාන්ගේ බිරිඳ තම සාක්කියේ 170 සහ 171 වැනි පිටුවල සඳහන් කර තිබේ. එම කාන්තාවගේ හැඩහුරුකම සාරාගේ මෙන් බව ද හාදියා ප්‍රකාශ කර තිබේ.
3) දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ද 2017 සිට සහරාන්ගේ නම අසා ඇති බවත්, 2017 දී නාලක සිල්වා මහතා පැවැත්වූ වැඩසටහනකට ඔහු සම්බන්ධ වූ බවත්, එහිදී ආගමික අන්තවාදය ගැන සඳහන් කරද්දී සහරාන්ගේ නම ද ප්‍රකාශ වූ බවත් දේශබන්දු තෙන්නකෝන් තම සාක්කියේ දී පිළිගෙන තිබේ. පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුර පොලිස්පතිවරයා විසින් පහළ නිලධාරීන්ට ලබා දුන් පසු බස්නාහිර පළාත භාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා ඇතුළු නිලධාරීන් පිරිසකට ලිඛිතව ඊට අදාලව කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දුන් බවත්, එම උපදෙස් හරි ආකාරව ක්‍රියාත්මක කළා නම් කටුවාපිටි ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබූ බව තමා පිළිගන්නා බවත් දේශබන්දු තෙන්නකෝන් තම සාක්කියේ 78 සහ 79 පිටුවලදී කියා තිබේ. අදාල ලිපි කට්ටල තමා පහළ නිලධාරීන්ට යැවූ බවත්, අප්‍රේල් 18 වැනිදා රාජකාරි කර තමා නිවාඩු ගිය බවත්, බෝම්බ ප්‍රහාරය අවස්ථාවේ තමා සිටියේ මහියංගනය ප්‍රදේශයේ බවත් තෙන්නකෝන් කියා තිබේ. පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වන බවට සඳහන්ව තිබෙන නිසා කිතුණු පියතුමකුවවත් මේ ගැන දැනුම් නුදුන්නේදැයි දේශබන්දු තෙන්නකෝනගෙන් විනිසුරුවරුන් විමසද්දී ඔහු කියා ඇත්තේ දැනුම් නුදුන් බවයි. නුදුරේදීම පල්ලිවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී පාස්කු දිනය යනු නුදුරුම දිනයක් බවට සරල වැටහීමක් තිබියදීත් නිවාඩු යාමට පෙර තම ආරක්ෂක සැලැස්ම ගැන වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිට උපදෙස් දුන්නේදැයි කොමිසම ප්‍රශ්න කළ විට දේශබන්දු තෙන්නකෝන් කියා ඇත්තේ එලෙස නුදුන් බවයි.
ඉහත කරුණු සහ සාක්කි සියල්ල සාවධානව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ සරහාන් සම්බන්ධයෙන් පමණක් නොව කොළඹ කේන්ද්‍රකරගෙන පැවැති ඊබ්‍රහිම් පුතුන්ගේ සංවිධානය වූ ජේඑම්අයි සංවිධානය ගැන පවා බුද්ධි අංශ දීර්ඝ කාලයක සිට දැනගෙන සිට ඇති බවයි. ලැබී ඇති සාක්කි අනුව ඉතා සුළු පිරිසක් සාමාජිකත්වය දැරූ ජේඑම්අයි සංවිධානයට හමුදා බුද්ධිඅංශවල ඒජන්තවරයකු පවා යොදවා සිටියදී බෝම්බ ප්‍රහාරය ගැන තොරතුරු ලබාගෙන ප්‍රහාරය වලක්වා නොගැනීම ඉතාම පුදුම සහගත කරුණක් බව සඳහන් කරමු. ආරකෂක අමාත්‍යංශයට තවුහිත් ජමාත් නියෝජිතයන් කැඳවා සාකච්ඡා කර ඔවුන්ගේ හැසිරීම ගැන නිරන්තරයෙන් අවධියෙන් සිටි බුද්ධි අංශ බෝම්බ ප්‍රහාරය වලක්වා නොගත්තේ කාගේ බලපෑමක් මතද යන්න සහ මේ පිටුස සිටින්නේ කවුරුන්ද යන්න ගැන රටට හෙළිදරව් කළ යුතුව ඇත.
සහරාන්ගේ බිරිඳගේ සාක්කිය අනුව අප්‍රේල් තුන් වැනිදා පානදුර නිවස සහ කටුවාපිටිය නිවර අතර යම් භාණ්ඩ හුවමාරුවක් සිදුවී තිබේ. ගැලනගමදී නීති විරෝධී නියෝගයක් අනුව මුදා හැරි බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූ ලොරි රථය එලෙස මුදා හැරීම සිදුවී ඇත්තේ ද අප්‍රේල් තුන් වැනිදා බව සඳහන්වේ. දේශබන්දු තෙන්නකෝන් ගේ බල ප්‍රදේශයේ තිබූ කටුවාටියේ නිවස සහ ඔහුගේ බලප්‍රදේශයෙන් පිට තිබූ පානදුර නිවස අතර භාණ්ඩ හුවමාරුවත්, ඔහුගේ බල ප්‍රදේශයෙන් පිට ගැලනිගම පොලිසියට කතා කර ලොරිය සම්බන්ධයෙන් උපදෙස් දීමත්, අප්‍රේල් 19 සිට දින කිහිපයක නිවාඩුවක් සඳහා ඔහු අප්‍රේල් 03 වැනිදා නිවාඩු ඉල්ලු‍ම්පත්‍ර යොමු කිරීමත් අතර අන්තර් සම්බන්ධතාවය ගැන මෙතෙක් නිසි විමර්ශනයක් සිදුවී නැත.
ෆාතිමා හාදියාගේ සාක්කිය අනුව සයින්දමරුදු පිපිරීමෙන් පසු සහරාන්ගේ සහෝදරයා වන සයිනි සහ සාරා ජීවතුන් අතර සිට තිබේ. පිපිරීමෙන් පසු සයින් තමාට කතා කළ බව හා ඉන් පසු වෙඩි ශබ්ද ඇසුණු බව එම සාක්කියේ සඳහන් වේ. එම ස්ථානයේ තිබී සයිනිගේ සිරුර හමුවුවද සාරාගේ සිරුර හමුවූයේ නැත. නිවස තුල පිපිරීම සිදුවීමෙන් පසුව සයිනි නිරුපද්‍රිතව සිටීමත්, ඉන් පසු වෙඩි ප්‍රහාර සිදුවීමත්, පන පිටින් සිටි සාරා අතුරුදන්වීමත් යන සිදුවීම් අනුව පෙනී යන්නේ බෝම්බ ප්‍රහාරයකයන්ගේ ම්ලේච්ඡත්වයට එහා ගිය වෙනත් කුමන්ත්‍රණයක් එහි සිදුවී ඇති බවයි. මේවා ගැන තවමත් නිසි විමර්ශනයක් සිදුවී නැත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අනිකුත් සාක්කි සහ වෙළුම් ප්‍රසිද්ධ නොකරන්නේ මෙම ප්‍රහාරය පිටුපස ඇති තුමන්ත්‍රණය හෙලිදරව් වන නිසා බව සඳහන් කිරීමට මෙම සාක්කි කිහිපයෙන් අනාවරණය වන තොරතුරුම ප්‍රමාණවත් වේ. ජාතික ආරක්ෂාව යනු පාලකයන්ගේ ආරක්ෂාව පමණක් නොව මහජනතාවගේ ආරක්ෂාවයි. මහජනතාවගේ ආරක්ෂාවට බරපතල අගතිදයක් සිදුවී තිබියදී තවදුරටත් නිසි පරීක්ෂණයක් නැතිව මෙම තොරතුරු සගවා තබා ගැනීමට උත්සාහ කිරීමෙන් තවදුරටත් පාලකයන් සිදු කරන්නේ රටේ මහජනතාවගේ ආරක්ෂාව දිගින් දිගටම අනතුරට හෙළිමක් බව අපි ප්‍රකාශ කරමු.
එසේ හෙයින් පාස්කු ප්‍රහාරයට අදාලව ඇති සියලු‍ම තොරතුරු මුදා හරින ලෙසත්, මේ සම්බන්ධයෙන් සාධාරණ ජාත්‍යන්තර පරීක්ෂණයකට අවස්ථාව සලසන ලෙසත් අපි ආණ්ඩුවට බලකර සිටිමු.
– සමාජය හා සාමයික කේන්ද්‍රය –
2024 ජනවාරි මස 19 වැනි දා”

(දු.ල.බ.)

Previous articleත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
Next article‘නිදහස සීමා කිරීමට නොපෙනන බාධක යෙදීම උසාවියේ වැඩක් නෙමේ’ – දැඩිගම මුදලාලිගේ නියෝගය දෙමින් අධිකරණය කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here