ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ විශේෂ අර්ථනිරූපන පෙත්සම් අද (26) අග්‍රවිනිශ්චකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල බව ප්‍රශ්න කරමින් ඉදිරිපත් වූ පෙත්සම් 31ක් අද දින විභාගයට ගැනීම සඳහා ලැයිස්තු ගත කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් කේ මලල්ගොඩ, ඒ එච් එම් ඩී නවාස්, ඒ එල් ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම නඩු විභාගයට ගැනේ.
වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලනඥයන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් 31 ඉදිරිපත් කර තිබේ.
පෙත්සම්කරුවන් අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ වින්දිතයන් පිරිසක් ද සිටින අතර ඔවුන් වෙනුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥවරයකු කරුණු දැක්වීමට නියමිතය.
දැනට ක්‍රියාත්මක වන 1978 අංක 49 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත එවකට පාර්ලිමේන්තුව විසින් පනවනු ලැබුවේ තාවකාලික පනතක් ලෙස වුවද එය අහෝසි කිරීමකින් තොරව අද දක්වා වසර 45කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වේ. උතුරේ සිවිල් යුද්ධයේදී මෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුවත් ආරක්ෂක අංශ මෙම පනත පුරවැසි අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා භාවිත කළ බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.
දේශීය මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ සංවිධාන දිගින් දිගටම රජයට බල කර සිටියේ මෙම මර්දනීය පනත අහෝසි කරන ලෙසයි. එය අහෝසි කරනවා වෙනුවට 2017 වසරේදී ප්‍රති ත්‍රස්ත පනත ලෙස නව පනත් කෙටුම්පතක් ගෙන ආ අතර පැමිණි බලපෑම් සමග අය ගෙන ඒම අතර මග නතර කෙරිණි. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු 2022 වසරේ මාර්තු මාසයේ දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට සංශෝධනයක් ගෙන එනු ලැබීය.
2022 ජූලි මාසයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නැවත වරක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අලුත් පනත් කෙටුම්පතක් ගැන සාකච්ඡා මතුවූ අතර මෙම නව පනත් කෙටුම්පත ත්‍රස්ත විරෝධී පනත මැයෙන් 2023 වසරේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබීය. කෙසේ වෙතත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලද අද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 10 වැනිදාය.
නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ ක්‍රියාධරයන් විසින් දැඩි විවේචනයක් එල්ල කළ අතර මෙමගින් වෘත්තීය සමිති කටයුතු  ත්‍රස්ත කටයුතු බවට පත් කරන අතර ජනමාධ්‍ය කටයුතු ද ත්‍රස්ත කටයුතු බවට පත් කිරීමට හැකි විධිවිධාන මෙම කෙටුම්පතේ අන්තර්ගතවන බවට චෝදනා එල්ල වී තිබේ. මෙම පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත වුවහොත් අයිතිවාසිකම් සීමා කිරීම සඳහා විධායකයට අධික බලයක් හිමිවන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමාසරිස්ගේ ප්‍රකාශක රවීනා ශම්දාසිනී ප්‍රකාශ කළාය.
මෙම පනත් කෙටුම්පත අභියෝගට ලක් කරමින් දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව ගණනකාවක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කර තිබේ. අද විභාගයට ගැනීමට නියමිත මූලික අයිතිවාසිකම් පෙත්සම් ලැයිස්තුවේ අවසානයට පෙර ඇති 37/2023 දරණ පෙත්සමේ පෙත්සම්කරුවන් හය දෙනාම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් වීම විශේෂත්වයකි.  ඒ අතර ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයෙක් වන රුකී ප්‍රනාන්දු මහතා ද වෙයි.
එහි පළමු පෙත්සම්කරු 2008 අප්‍රේල් 17 වැනිදා සිට 2010 අගෝස්තු 18 වැනිදා තෙක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගනු ලැබ පසුව කිසිම සාක්කියක් නොමැති නිසා නීතිපතිගේ උපදෙස් මත නිදහස ලැබූවෙකි. එහි දෙවැනි පෙත්සම්කරු ගෘහණියක් වන අතර ඇය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 2008 අගෝස්තු 10 වැනිදා සිට 2015 මැයි 11 වැනිදා තෙක් රඳවාගෙන සිටි කාන්තාවකි. ඇය ද පසුව සාක්කි නැතැයි කියමින් නිදහස් කෙරිණි. තුන් වැනි පෙත්සම්කරු වන්නේ රුකී ප්‍රනාන්දු මහතායි. ඔහු 2014 මාර්තු 16 මෙම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබ දින තුනක් රඳවාගෙන සිට පසුව ඇප මත මුදා හරිනු ලැබීය. 2019 පෙබරවාරි මාසයේ දී ඔහු සම්පූර්ණයෙන්ම නිදහස් කෙරිණි. හතර වැනි පෙත්සම්කාරිය 2009 අගෝස්තු 10 වැනිදා සිට 2011 මාර්තු 15 තෙක් ත්‍රස්වදාවය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි අයකු වන අතර ඇය ඉංග්‍රීසි ගුරුවරියකි. ඇය 2011 දී නිදහස් කළ අතර රඳවාගෙන සිටි කාලය තුලදී ඇගේ රෝගී දියනියට නිසි ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීම නිසා දියණිය  2012 දී මිය ගිය බව පෙත්සමේ සඳහන්වේ. පස්වැනි පෙත්සම්කාරිය 2008 සිට 2011 වසර දක්වා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටිනු ලැබ පසුව නිදහස් කෙරුණු පුද්ගලයකුගේ මවකි. හය වැනි පෙත්සම්කාරිය 2012 දී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත මුදා හැරුණු මෙම පනත යටතේ රඳවාගෙ සිටි අයකුගේ මවකි.
අද දින විභාගය ඇරැඹෙන මෙම පෙත්සම්වල තීන්දුව එහි විභාගය අවසන්වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යැවීමට නියමිතය.
Previous articleමානසික රෝගියකුටත් පොලිසිය දස වද දීලා ; ඕඅයිසී හා ඒඑස්පීත් දැනුම්වත්
Next articleබෝම්බකරුවන්ගේ සංවිධානයේ හමුදා ඒජන්තයකුත් ඉඳලා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here