එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්‍රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු ගස් 880යි

(තරිඳු ජයවර්ධන)
ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා එම තනතුරට පත් කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස මොණරාගල පොලිස් කොට්ඨාසයේ පොලිස් දිස්ත්‍රික්කයක් (ඒඑස්පී රේන්ජ්) භාරව කටයුතු කරද්දී ලැබුණු පෙත්සමකට අනුව ස්ථාන මාරු කර තිබියදී බව MediaLK වෙත වාර්තාවේ.
පෙත්සම ගැන විමර්ශන
එම පෙත්සම ලැබී ඇත්තේ ද සිසිල කුමාර හේරත්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් වන අතර පෙත්සම ගැන විමර්ශනය කරන ලෙස එවකට ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බදුල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දුන් උපදෙස් මත ඔහු යටතේ සිටි පොලිස් අධිකාරීවරයකු ලවා ඒ ගැන විමර්ශනයක් කර තිබේ.
එම දීර්ඝ විමර්ශනයේදී තහවුරු වී ඇත්තේ පෙත්සමේ ඇති කරුණ සත්‍ය බවයි. ඒ අනුව විමර්ශන නිලධාරීගේ සහ නියෝජ්‍ය පොලිස්පතිගේ ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ නිර්දේශය වූයේ මොණරාගල දිසාවෙන් සිසිල කුමාර හේරත් වහාම ස්ථාන මාරු කිරීම බවත්, ඒ අනුව පොලිස්පතිවරයා විසින් ඔහු ස්ථාන මාරු කළ බවත්, පසුව දේශබන්දු තෙන්නකෝන් කොළඹ උතුර ගම්පහ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන සමයේදී මීගමුව කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සිසිල කුමාර හේරත් පත්වූ බවත් පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පාස්කු චූදිතයකු ලෙස
සහාරන්ගේ කණ්ඩායමේ සාමාජිකයකු  මීගමුවේ කිතුණු දේවස්ථානයකට 2019 අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ සමයේදී ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළේ සිසිල කුමාර හේරත්ය. පාස්කු ප්‍රහාරය ගැන රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නමද ඇති අතර ඔහුට එරෙහිව ද චෝදනා පත්‍රයක් ලබාදෙන ලෙස මීට පෙර පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිර්දේශ කර තිබිණි.
එවකට වැඩ බලන පොලිස්පති ලෙස සිටි වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න එම නිර්දේශය, කෙටුම්පත් කරන ලද චෝදනා පත්‍රද සමඟ ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළේය. ජාතික පොලිස් කොමිෂන් සභාව 2020 ජනවාරි මාසයේදී රැස්වී තීන්දු කළේ ඒ වන විට පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කර ඇති නිසා එහි වාර්තාව ලැබෙන තෙක් චෝදනා පත්‍ර කෙටුම්පත් ලබා නොදී බහා තැබීමටයි.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ලැබෙන විට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් තිබුණු අතර එමගින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරීම සිදු විය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව.වසරකට පමණ පසු එම චෝදනා පත්‍ර සිසිල කුමාර හේරත්, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසට ලබා දීම සඳහා මහජන සාමය අමාත්‍යංශය වෙත එවා තිබුණ ද ඒවා ලබාදීම සිදු කළේ නැත.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන දැනුම්දීම සඳහා 2021 ජුනි මාසයේ දී එවකට මහජන සාමය ඇමැති සරත් වීරසේකර සහ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ අතර චූදිත පොලිස් නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබා නොදීම සම්බන්ධයෙන් MediaLK එම අවස්ථාවේදී විමසීමක් කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය සරත් වීරසේකර මෙසේ ප්‍රකාශ කළේය.
‘ඔවුන්ට විරුද්ධව විමර්ශනයක් කරලා ගිය අවුරුද්දෙද කොහෙද පොලිස් කොමිසමට බාර දීලා තියෙනවා. පොලිස් කොමිසම අහෝසි වෙනකොට ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බාර දීලා තියෙනවා. ඊයෙ පෙරේදා වෙනකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් චෝදනාපත්‍ර පොලිසියට ලැබිලා තියනවා. ඔවුන්ට අපි ඒක යොමු කරනවා.’

(බලන්නමාස 14ක් පමාවී පාස්කු චෝදනාපත්‍ර ; එයි දේශබන්දුත් ඒ අතර?)

වීරසේකර හිටපු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ ද රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝනාපත්‍ර ලබාදීම සිදු නොවිණි. විශේෂ විමර්ශන ඒකකයේ වාර්තාව සහ කෙටුම්පත් කරන ලද චෝදනා පත්‍ර ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළ එවකට වැඩ බලන පොලිස්පතිවරයා වූ චන්දන වික්‍රමරත්න 2021 වසර වන විට පොලිස්පතිවරයා ලෙස සිටිමින් එම ඇතැම් නිලධාරීන්ට අපරාධ නඩුවල සාක්කිකරුවන් විය හැකි නිසා එම චෝදනා පත්‍ර ලබා නොදෙන ලෙස මහජන සාමය අමාත්‍යංශයට දැනුම් දී තිබිණි.
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහකාර පොලිස් අධිකාරී සිසිල කුමාර ගැන මෙසේ සඳහන්වේ.
‘ඔහු ආගමික අන්තවාදය හා අල්කයිඩා සම්බන්ධයෙන් තුර්කියේ පාඨමාලවක් සඳහා සහභාගී වූ බැවින් පලපුරුදු නිලධාරියෙකි. සී 365 සහ 375 සමඟ සී4 අ, ආ, ඇ, තොරතුරු ඔහුට ලැබිණි. කෙසේ වෙතත් ඔහු තොරතුරු ස්ථානාධිපතිවරුන්ට යවා නැත. ආරක්ෂාව ශක්තිමත් කිරීමට ඔහුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරලගෙන් ඇමතුමක් ලැබිණි. ඔහුට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු යටතේ ඇති පොලිස් ස්ථාන නිසි ලෙස පාලනය කර නොතිබිණි. එබැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි.’

(බලන්නපාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සිංහල පිටපතෙහි 355 පිටුව)

පාස්කු ප්‍රහාරයේ වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීම සඳහා මහා නාහිමිවරුන්ට කන්නලව් කිරීමට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමඟ ගිය කණ්ඩායමේ සිසිල කුමාර හේරත් ද සාමාජිකයකු වන අතර මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූයේ ද ඔහු විසිනි.

(බලන්නපොලිස් නිලධාරීන්ගේ කන්නලව්ව– ව්‍යාජ තොරතුරු මගින් පාස්කු ප්‍රහාරය වෙනතක යැවීමේ උත්සාහයක් ද?)

මෙවර ගංජා සිදුවීම
මොණරාගල කොට්ඨාසයේ සිදු කරනු ලබන විශේෂ වැටලීම් මෙහෙයුම් රාජකාරි සඳහා නිලධාරීන් කැඳවමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් 2022 දෙසැම්බර් මස 31 වැනි දා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දුරකතන පණිවුඩයක් යොමු කර ඇති අතර ඉන් පසු එම ලැයිස්තුව සංශෝධනය කරමින් යළිත් වරක් දුරකතන පණිවුඩයක් යොමු කර එම ලැයිස්තුවේ නම් සඳහන් නිලධාරීන්ට ජනවාරි මස තුන් වැනි දා උදෑසන 9.00ට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා තම කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් සකස් කරන ලද පළමු කණ්ඩායමට සියඹලාණ්ඩුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක ටී එම් එම් අයි බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙක් ද, හම්බෙගමුව පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් ද,මොනරාගල පොලිසියෙන්, වැල්ලවාය පොලිසියෙන් සහ ගොවිඳුපුර පොලිසියෙන් එක් නිලධාරියෙක් බැගින් තිදෙනෙක් ද බැගින් නිලධාරීහු 10ක් ඇතුළත් වූහ. දෙවැනි කණ්ඩායමට ගෝනගංආර පොලිසියේ උප පොලිස් පරීක්ෂක ආර් එම් එස් පී බණ්ඩාර මහතා ඇතුළු එම පොලිසියේ පස්දෙනෙක් ද, කුඩා ඔය පොලිසියේ දෙදෙනෙක් ද, ඇතිමලේ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ද, සියඹලාණ්ඩුව පොලිසියේ එක් නිලධාරියෙක් ද වශයෙන් 10ක් ඇතුළත් වූහ. තුන් වැනි කණ්ඩායමට බඩල්කුඹුර පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ගුණසේන මහතා ද, මොණරාගල පොලිසියේ පස් දෙනෙක් ද, ඔක්කම්පිටිය පොලිසියේ තිදෙනෙක් ද, කරාඩුගල පොලිසියේ එක් නිලධාරියෙක් ද වශයෙන් 10 දෙනෙක් සිටි අතර හතර වැනි කණ්ඩායමට බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඩී එම් සෙනෙවිරත්න මහතා ද, කරාඬුගල පොලිස් ස්ථානයේ හතර දෙනෙක් ද, ඔක්කම්පිටිය පොලිසියේ පස් දෙනෙක් ද ඇතුළු නිලධාරීන් 10ක් ද සිටියහ. මේ ආකාරයට කණ්ඩායම් 10ක් සකස් කර ඇති අතර ඔවුන්ට වැටලීම් කරන ආකාරය ගැන උපදෙස් ලබාදී තිබේ.
එම නිලධාරීන් හට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලබාදී ඇති උපදෙස් මාලාවේ දෙවැනි උපදෙස වන්නේ වැටලීමට සහභාගී වන කිසිදු නිලධාරියකු දූෂිත, විෂමාචාර ක්‍රියාවන්, අල්ලස් ලබා ගැනීම්, ජාවාරම් කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම් නොකළ යුතු බවයි. සති දෙකෙක කාලයක් සඳහා මෙම වැටලීම් කණ්ඩායම් පත් කර තිබෙන අතර වැටලීම් කාලයේදී අත්අඩංගුවට ගන්නා සියලුම නඩු භාණ්ඩ අදාල පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කරන ලෙස ද උපදෙස් ලබාදී තිබේ. එනම් වැටලීමකදී අත්අඩංගුවට ගන්නා නඩු භාණ්ඩ වෙනත් පුද්ගලයකුට භාර දීම සිදු නොකළ යුතු අතර කළ යුත්තේ ඔවුන් විසින්ම අදාල පොලිස් ස්ථානයකට බාරදීමය. වැටලීමේදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවට සහ ඔවුන් සමග ගැටුම් ඇති නොකර නොගැනීමට වගබලා ගන්නා ලෙසට ද ආදී වශයෙන් ඉතා වැදගත් උපදෙස් මාලාවක් තමන් වෙත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලබා දුන් බව එම වැටලීම් කණ්ඩායමේ සිටි පොලිස් නිලධාරියෙක් MediaLK වෙත පැවසීය.
ඒ අනුව සියඹලාණ්ඩුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක ටී එම් එම් අයි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පළමු වැටලීම් කණ්ඩායම කංසා හේන් වැටලීමක් සඳහා කැබිලිත්ත රක්ෂිතයට පිටවී ගොස් ඇති අතර ඔවුන් දින කිහිපයක් රැඳී සිටිමින් කැබිලිත්ත රක්ෂිතයේ බුබුර නම් ප්‍රදේශයේ නීති විරෝධී කංසා හේනක් ගැන තොරතුරු රැස් කර අවසානයේ ජනවාරි 06 වැනිදා අක්කර එක හමාරක පමණ විශාලත්වයෙන් යුත් කංසා හේන සොයාගෙන ඇත. මෙම සොයා ගැනීම ගැන එම අවස්ථාවේදීම වැටලීමට ගිය පිරිස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දී තිබේ.
එලෙස දැනුම් දීමෙන් පසු සාමාන්‍ය සම්ප්‍රදායට එහා ගොස් මෙම වැටලීම ගැන සොයා බලා නඩු භාණ්ඩ රැගෙන එන ලෙසට මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර ඇතිමලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් එම් සංජය ධර්මදාසට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව තවත් පිරිසක් සමඟ ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අදාල ස්ථානය ගොස් තිබෙන අතර විශේෂ වැටලීම් කණ්ඩායම වැටලූ කංසා හේනෙන් පැල විශාල සංඛ්‍යාවක් ගලවා නඩු භාණ්ඩ ලෙස ටැක්ටරයකට පටවන ලෙසට ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ. එම උපදෙස් අනුව අඩි හතරක් පහක් උසැති කංසා පැල 25,000කට වැඩි ප්‍රමාණයක් තිබූ එම කංසා වගාවෙන් ටැක්ටරයක් පිරෙන්නට කංසා ගස් ගලවා පටවා ඇති බව වැටලීම් කණ්ඩායමේ ආරංචි මාර්ග කියයි.
වැටලීම කළ නිලධාරීන්ගෙන් නඩු භාණ්ඩ ලෙස කංසා ගස් ටැක්ටරයක් පිරෙන්නට ලබා ගැනීමෙන් පසු එම ටැක්ටරය ඇතිමලේ පොලිස් ස්ථානයට ගෙනැවිත් ඉන් කංසා ගස් 230ක් පමණක් නඩු භාණ්ඩ ලෙස ලේඛනවලට ඇතුළත් කර තිබේ. ඉතිරි කංසා පැල තොගය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ඉල්ලීම පරිදි ඔහුට යැවීම සඳහා ඇතිමලේ පොලිසියේදීම මිටි ලෙස වෙන්කරමින් බැඳ ඇති අතර පසුව ඇතිමලේ පොලිස් ජීප් රථයෙන් එම කංසා ගස් තොගය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවස වෙත ප්‍රවාහනය කර ඇතැයි වාර්තා වේ.
ඇතිමලේ ස්ථානාධිපතිට නිවාඩු
එලෙස කංසා ගෙන්වා ගැනීමෙන් පසු ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාට පූර්ව ලිඛිත අවසර ලබා දීමකින් තොරව නිවාඩු සඳහා පිටව යෑමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අවසර දී තිබෙන අතර නඩු භාණ්ඩ ලෙස බාර ගත් කංසා පැල 230 ද අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පෙරම ඇතිමලේ ස්ථානාධිපතිවරයා පිටව ගොස් තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගත් ඊයේ (09) සවස්වරුව වන විටත් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා සේවයට වාර්තා කර නොතිබිණි. ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරීවරයාට දැඩි බියකින් පසුවූ බවත්, ඔහු තම රන් භාණ්ඩ පවා උකස් කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ ඉල්ලීම පරිදි විවිධ භාණ්ඩ වර්ග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ නිල නිවස වෙත ප්‍රවාහනය කර ඇති බවත්, ඔහුට බලපෑම් කර එලෙස භාණ්ඩ ගෙන්වා ගැනීම ගැන ද විමර්ශන කළ යුතු බවත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන නිලධාරියෙක් සඳහන් කළේය.
තවත් කංසා තොගයක් අතුරුදන්?
වැටලීම කළ නිලධාරීන් ටැක්ටරයක් පිරෙන්නට කංසා පැල එවූවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ තිබූ හමුවූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කංසා පැල 650ක ප්‍රමාණයක් පමණි. එනම් කිලෝ 15කට ආසන්න ප්‍රමාණයක් බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.
ටැක්ටරයක් පිරෙන්නට කංසා පැල හේනෙන් පටවා එවූයේ නම් එහි අඩු තරමේ කිලෝ 30කට අධික කංසා පැල 2000කට වැඩි ප්‍රමාණයක් තිබිය යුතු වුවද, නඩු භාණ්ඩ ලෙස ඇතිමලේ පොලිසිය ලකුණු කළ ගස් 230ත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ නිවසෙන් සොයා ගත් බව කියන ගස් 650ටත් අමතරව ඉතිරි ප්‍රමාණය ගැන මේ වන විටත් බරපතල සැකයක් මතුවී තිබේ. ඉතිරි ප්‍රමාණය මේ වන විටත් ජාවාරම් කර තිබේ ද, එසේ නැතිනම් වෙනත් ස්ථානයක සඟවා තිබේ ද යන්න ගැන තොරතුරු සොයා ගැනීමට MediaLK උත්සාහ කළ ද එය අසාර්ථක විය.
වැසිකිලි සෙල්ලම
මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් මෑතක එල්ලවූ තවත් බරපතල චෝදනාවක් වූයේ මොණරාගල කොට්ඨාසයේ පොලිසිවල වැසිකිලි ඉදි කිරීමට ලැබුණු මුදල් අවභාවිත කළ බවටයි. එනම් පොලිසිවල වැසිකිලි පද්ධති ඉදි කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇති බවත්, මොණරාගල කොට්ඨාසයේ පොලිසිවල වැසිකිලි පද්ධති 10ක් පමණ ඉදි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්වී ඇති බවත්, ඒ අනුව මෙම කොට්ඨාසයේ වැසිකිලි පද්ධති ඉදි කර ඇත්තේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් බඩු භාණ්ඩ ගෙන පොලිස් නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් බවටත් බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් ඊට අදාලව බිල් සකස් කර අදාල ප්‍රතිපාදන මුදල ගසා කෑ බවට ද වාර්තා වන නමුත් මෙම කාරණාවට අදාලව සත්‍යාසත්‍ය බව තහවුරු කර ගැනීමට MediaLK හට නොහැකි විය.
වැසිකිලි කාරණාව ගැන විමසීමේදි පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙන් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශන කරගෙන යන බවයි.
පොලව බලන ස්කෑන් මැෂින්
මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවස සෝදිසි කර ඇත්තේ කංසා සොයා බැලීමට නොව මොණරාගල ප්‍රදේශයේ නිධං හාරන සිදුවීමක් ගැන පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමක ප්‍රතිඵලයක් ලෙස යැයි එහි ප්‍රකාශකයෙක් කීවේය.
එනම් පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත එහි සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් මොනරාගල ප්‍රදේශයේදී පාරේ ගමන් කළ වාහනයක් පරීක්ෂා කර තිබෙන අතර එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසක් සිට තිබේ. එම වාහනයේ සිටි පිරිස ගැන සැක බැවින් ඔවුන් තම බාරයට ගත් විශේෂ කාර්ය බළකාය ඔවුන් රැගෙන ගොස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ නිල නිවස පරීක්ෂා කර ඇත.
එලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවස පරීක්ෂා කරද්දි කංසා පැලවලට අමතරව පොළව යට තිබෙන ලෝහ වැනි ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට භාවිත කරන ස්කෑන් යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. එම ස්කෑන් යන්ත්‍රය ප්‍රදේශයේ නිධන් තිබෙන තැන් ගැන සොයා බැලීමට යොදාගත් බවට සැක කරයි.
මීට පෙරත් නිධං සිද්ධියක්
මීට පෙර එනම් 2021 වසරේදී ඇතිමලේ පොලිස් වසමේ ගැමුණුපුර ගමගල ආරණ්‍ය සේනාසනයට ආසන්නයේ ගමගල ගලෙහි නිධානයක් හාරන බවට ප්‍රදේශවාසීන්ට තොරතුරක් ලැබී තිබේ. මධ්‍යම රාත්‍රියේ මෙම තොරතුර ලැබී ඇති අතර ඒ වන විට පොලිස් නිලධාරීන් සැලකිය යුතු සංඛ්‍යාවක් මාර්ගයේ තැනින් දැන සිටිනු ප්‍රදේශවාසීන් නිරීක්ෂණය කර තිබේ.
ගමගල ගලෙන් අලුයම වන විට පිපිරුම් ශබ්දයක් ද ඇසී තිබෙන අතර ප්‍රදේශවාසීන් ඇතිමලේ පොලිස් ස්ථානයට ඇමතුම් ගත්තත් ප්‍රතිචාර ලබාදී නැත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පවා ඇමතුම් ගත්තද ප්‍රතිචාරයක් තිබී නැත.
ඉන් පසුව ප්‍රදේශවාසීන් මේ ගැන ග්‍රාම නිලධාරී ඉන්දික මහතාට දැනුම්දී තිබෙන අතර ඔහු මහත් පරිශ්‍රමයක් දරා පොලිසියට දැනුම් දුන්නද ග්‍රාම නිලධාරී අදාල ස්ථානය නිරීක්ෂණය කිරීමට යනතුරුවත් පොලිසිය එම ස්ථානයට ගොස් නැත.
පසුව පොලිසිය එහි පැමිණියත් සැකකරුවන් සිටියේ නැත. පන්දම් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් පමණක් පොලිස් භාරයට ගැණිනි. මෙලෙස නිධං හෑරුවේ පොලිසිය හෝ පොලිසියේ උදව්වෙන් බවට ගම්වාසීන් අතර කතාබහක් යද්දී ඒ ගැන MediaLK සොයා බලන බවට තොරතුරු ලැබී මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් MediaLK වෙත ඇමතුමක් ලබා දී තමා මේ ගැන සොයා බැලූ බවත්, සිද්ධියට පොලිසිය කිසිම සම්බන්ධයක් නැති බවත් ප්‍රකාශ කළේය.
ඇතැම් විට එම නිධං සිද්ධියට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්ධ වන්නට ඇති බවට මේ වන විට ප්‍රදේශයේ යළිත් කතාබහක් ඇතිවී තිබේ.
නීතියෙන් බේරයිද?
කංසා සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට මීට මාස කිහිපයකට පෙර පොලිස්පති චන්දන වික්‍රමරත්න කොට්ඨාස භාර නිලධාරීන්ගේ සම්මන්ත්‍රණයක දී අනතුරු අඟවා තිබුණු බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිසිල කුමාර හේරත්ව පත් කරන පොලිස් පණිවුඩයට අත්සන් කළ පොලිස්පතිවරයාම ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට මෑතකදී උත්සාහ කළ ද එය අසාර්ථක වූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින දේශපාලන සම්බන්ධතා ආදිය මත මෙම නිලධාරියා නීතියෙන් ගැලවෙන ආකාරයට විමර්ශන යතියි පොලිස් දෙපාර්තමේන්තුව තුල දැඩි කතාබහක් ඇතිවී තිබේ. අඩු තරමේ කංසා ප්‍රවාහනය කළ ටැක්ටරය සහ පොලිස් ජීප්රියවත් මේ වන තෙක් පොලිස් බාරයට ගෙන නැත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ දෙබිඩි පිළිවෙත
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ඊයේ (9) මාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් හඬපටයක් යොමු කළ අතර එහිදී සඳහන් කළේ මෙම විමර්ශන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවයි.
එම හඬපටියේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මොණරාගල සිද්ධිය ගැන අදහස් දැක්වුවද අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නම සඳහන් කළේ නැත. මෑතක බොහෝ සිදුවීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රසිද්ධ කළේය. විශේෂයෙන් අරගලයට අදාලව අත්අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධ කළත් කංසා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, මහජන මුදලින් යැපෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ නම එම හඬපටයේදී ප්‍රකාශ කළේ නැත.
මේ සම්බන්ධයෙන් ද පොලිසිය අභ්‍යන්තරයේම කතාබහක් ඇතිවී තිබේ. තල්දූව මහතා ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වන අතර අත්අඩංගුවට ගත් සිසිල කුමාර හේරත් ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි.
Previous articleනාඋල මරණය ; පොලිස් ලොක්කෝ සාක්කි වසං කරලා?
Next articleදේශබන්දු තෙන්නකෝන් එස්අයියූ ලොක්කාට තර්ජනය කරලා ; දුරකතන වාර්තා ගන්න නියෝග

1 COMMENT

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here