අවසන් යුද්ධයේ බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන හමුදාවෙන්ම පරස්පර ප්‍රකාශ

යුද්ධයේ අවසන් කාලයේදී එල්ටීටීඊ සාමාජිකයන් කිසිවෙකුත් යුද හමුදාවට බාර නොවූ බවත්, බාර වූයේ අවතැන්වූවන් බවත්, යුද හමුදාව කළේ ඔවුන් බස්වලින් රැගෙන ගොස් අවතැන්වූවන් සිටි කඳවුරුවලට යොමු කිරීම පමණක් බවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ තොරතුරු පනත යටතේ පත් කර සිටින නම් කළ නිලධාරී බ්‍රිගේඩියර් එන් කේ එන් කේ නාගහවත්ත මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදී ඩී ඩී නිරෝෂ් කුමාර්ගේ තොරතුරු ඉල්ලීමකට අදාලව තොරතුරු නොදීම සම්බන්ධයෙන් කළ අභියාචනායක් විභාගයට ගත් අවස්ථාවේදීය.
මෙම අභියාචනය විභාගයට ගත්තේ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ගියන ආරච්චි සහ ඒ එම් නහියා යන කොමසාරිස්වරුන් ඉදිරියේදීය.
අභියාචනාය කැඳවූ අවස්ථාවේදී යුද හමුදාව වෙනුවෙන් බ්‍රිගේඩියර් එන් කේ එන් කේ නාගහවත්ත මහතා සම්බන්ධ වූ අතර මාධ්‍යවේදි නි⁣රෝෂ් කුමාර් සමඟ නීතිඥ ස්වස්තිකා අරුලිංගම් සහ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන තොරතුරු දැන ගැනීමේ කොමිසමේ පෙනී සිටියහ.
අවසන් යුද සමයේ එල්ටීටීඊ සාමාජිකවන් කොපමණ පිරිසක් හමුදාවට බාර වුණාද, එලෙස බාරවීම අධීක්ෂණය කළ නිලධාරීන් කවුද, අවසන් යුද්ධයේදී එල්ටීටීඊ කොපමණ පිරිසක් අත්අඩංගුවට ගත්තේද, එය අධීක්ෂණය කළ නිලධාරීන් කවුද ආදී තොරතුරු ඉල්ලමින් මාධ්‍යවේදියා ශ්‍රී ලංකා යුද හමුදාවට තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබිණි.
ඊට ප්‍රතිචාර දක්වමින් යුද හමුදාව ලිඛිතව දැනුම් දී තිබුණේ අවසන් යුද්ධයේදී බාර වූවන් බාර වුයේ හමුදාවට ⁣නොව ශ්‍රී ලංකා රජයට බවයි. කෙසේ වෙතත් අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී බ්‍රිගේඩියර් ප්‍රකාශ කළේ හමුදාවට අවතැන්වූවන් බාර වූ බවයි. ඔවුන් බස්වල දමා රැගෙන ගොස් කඳවුරුවලට යොමු කළ බවත්, කඳවුරු බාරව සිටියේ පුණරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය බවත්, බාර වූ ඇතැම් පිරිම් තමන් එල්ටීටීඊ බව ප්‍රකාශ කර තිබුණේ එම කාර්යංශය වෙත බවත් බ්‍රිගේඩියර් වරයා කීවේය.
ඊට ප්‍රතිචාර දැක්වූ නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මහත්මිය ලේඛන තුනක් කොමිසමට ඉදිරිපත් කළාය. හමුදාවට එල්ටීටීඊ සාමාජිකයන් බාර වූ බවට එවකට ඇමැතිවරුන් වන කරුණා අම්මාන් සහ ඩග්ලස් දේවානන්ද කළ ප්‍රකාශයකුත්, එවකට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශයකුත් එහෙි අන්තර්ගත විය. ඒ සම්බන්ධයෙන් නැවත කොමිසම යුද හමුදාවෙන් විමසීමක් කළ අතර බ්‍රිගේඩියර් වරයා කීවේ තමන්ගේ ස්ථාවරයේ වෙනසක් නැති බවයි.
ඒ අනුව යුද හමුදාවට එල්ටීටීඊ සාමාජිකයන් බාර වූ බව සනාථ කිරීමට කරුණු ඇත්නම් නොවැම්බර් 17ට පෙර ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස මාධ්‍යවේදියාට දැනුම් දුන් කොමිසම, ඊට ප්‍රති උත්තර බැඳීම සඳහා සති 02ක කාලයක් යුද හමුදාවට ලබා දුන අතර වැඩිදුර විභාගය ජනවාරි 04 වැනිදා තෙක් කල් තැබිණි.
Previous articleවසන්ත සහ සිරිධම්ම හිමි ගැන කරුණු කියන්නැයි නියෝග
Next articleවසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here