වසන්ත සහ සිරිධම්ම හිමි ගැන කරුණු කියන්නැයි නියෝග

අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි අධිකරණයේ අවසරයක් නැතිව වෙනත් ස්ථානවලට ගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා කැඳවා තිබූ අතර එම ඒකකය නියෝජනය කරමින් තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත සහ පොලිස් කොස්තාපල් අනුරසිරි තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර ඉදිරියේ පෙනී සිටියහ.
නඩුව කැඳවූ අවස්ථාවේදී වසන්ත සහ සිරිධම්ම හිමි වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ, නීතිඥ ඉනේකා හෙන්දාවිතාරණ සහ නීතිඥ හංසක චන්ද්‍රසිංහ සමඟ ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටිගේ ⁣මහතා පෙනී සිටිමින් දීර්ඝ කරුණු දැක්වීමක් කළහ.
පැය බාගයකට ආසන්න කාලයක් කරුණු දැක්වූ නීතිඥවරයා ප්‍රකාශ කළේ ත්‍රස්ත පනත මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය ද උල්ලංඝනය කරමින් වසන්ත සහ සිරිධම්ම හිමි ගැන TID කටයුතු කර ඇති බවයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතුවූ සාක්කි සහ පසුව අනාවරණය වූ කාරණා ගැන අධිකරණයට කරුණු වාර්තා කර නැතැයි ද, තංගල්ලේ රඳවා තබා ගන්නා බව කියමින් කොළඹ රඳවා තබා ගෙන සිටින බව ද, සිරිධම්ම හිමි මේ වන විට අසනීප වී රෝහල් ගත කර ඇති බව ද, ඒ ගැන අධිකරණයට කරුණු වාර්තා කර නැති බවද නීතිඥවරයා කීවේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ත්‍රස්ත මර්දන ඒකකය සඳහන් කළේ වසන්ත සහ සිරිධම්ම හිමි නැවත තංගල්ලට රැගෙන ඒමේ පරමාර්ථය ඇතිව විමර්ශනයකට කොළඹ රැගෙන ගිය බවත්, රජයේ වියදම් කප්පාදුව නිසා ඔවුන් යළි ගෙන ඒමට නොහැකි වූ බවත් ය. ඉදිරියේදී සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි බවත්, සිරිධම්ම හිමි අසනීප තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ත්‍රස්ත මර්දන කොට්ඨාසය කියා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වසන්ත සහ සිරිධම්ම හිමි බැලීමට යෑම ඇතුළු ත්‍රස්ත පනතේ කාර්යයන් සඳහා කොළඹ අංක 08 මහේස්ත්‍රාත් වරයා දැනුම්වත් කරන ලෙසත්, ලබන සිකුරාදා (04) එහි ප්‍රගතිය සහ සාක්කි සම්පිණ්ඩන වාර්තා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ත්‍රස්ත මර්දන කොට්ඨාසයට නියෝග කළේය.
Previous articleකඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු තොරතුරු මුදා හරින්න නියෝග
Next articleඅවසන් යුද්ධයේ බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන හමුදාවෙන්ම පරස්පර ප්‍රකාශ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here