ගිනිඅවිය පැහැර ගත්තේ පැතුම් කර්නර්දැයි සොයයි ; පෙරට්ටුවට නීතිඥ විරෝධය

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික හරිත පෙරමුණේ නායක විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් මහතා ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා අද (29) නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමකට අවසර දෙමින් ඔහු ලබන 04 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියෝග කෙරිණි.
පැතුම් සංකල්ප කර්නර් මහතා 2020 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම අංක 04 යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදුණු අපේක්ෂකයෙක් වන අතර වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් විය. ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පැවැති අරගලයට ඔහු ද විවිදාාරයෙන් දායකත්වය දැක්වීය. පාර්ලිමේන්තුව අසලදී පසුගිය 13 වැනිදා පැවැති විරෝධතාවයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ සහ පැතුම් කර්නර් අත්අඩංගුවට ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයෙනි. කොළඹ අපරාධ කොට්ඨාසය අධීක්ෂණය කරනු ලබන්නේ පසුගිය කාලයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. පැතුම් කර්නර් දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි සහ පොදු දේපොළ පනතේ වැරදි සම්බන්ධයෙන් අද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදිකරණයට ඉදිරිපත් කෙරිණි.
හඳුණා ගැනීමේ පෙරට්ටුවකට සැකකරුවකු ඉදිරිපත් කරද්දි ඔවුන් නොපෙනෙන ලෙස සම්පූර්ණයෙන් ආවරණය කර ඉදිරිපත් කරන අතර අද පැතුම් කර්නර් ඉදිරිපත් කළේ බාගෙට ආවරණ සහිතව බව අධිකරණයේදී කියැවිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ පසුගිය 13 වැනිදා උද්ඝෝෂකයින් පිරිසක් පාර්ලිමේන්තුව හා කතානායක නිල නිවස අත්පත් කර ගැනීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරක් ලැබී තිබුණු බවයි. එම බුද්ධි තොරතුර සනාථ කරමින් එදින උදෑසන 8.30 සිට පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ ජනතාව රැස් වන්නට පටන් ගත් බව සඳහන් කළ එම නිලධාරීන්, එසේ රැස් වූ පිරිස් සවස්වරුවේ පොලිස් මාර්ග බාධක බිඳගෙන කථානායක නිල නිවස දෙසට ගමන් කළ බව ප්‍රකාශ කළේය. කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ද ඔවුන් පසුපසට ගොස් යළි සංවිධානය වී පැමිණි බව ද,හමුදා මාර්ග බාදකය ද බිඳගෙන ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සාධාරණ බලයක් යොදා ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළ බවද කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කළේය. එලෙස විසිරුවන අවස්ථාවේදී උද්ගෝෂකයින් පිරිසකට මැදි වූ තුෂාන් චතුරංග නමැති යුද හමුදා සෙබලා සතුව තිබූ ගිනි අවිය සහ පතොරම් ගැබ දෙකක් ඔහුට පහර දී උද්ඝෝෂකයින් පිරිසක් කොල්ල කෑ බවට පැමිණිලි ලැබුණු බව ද කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය.
පසුව නාවික හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනි අවිය සහ පතොරම් ගැබ ,සමනල පාලම, යට තිබී සොයා ගත් බවත්, එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාව කැඳවීම සඳහා අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය දැනුම් දුන්නේය.
සිය ගිනි අවිය කොල්ලකෑම පිළිබඳව තුෂාන් චතුරංග නැමති යුද හමුදා සෙබලා පොලිසියට කටඋත්තරයක් ලබාදී ඇති බව කී පොලිසිය එම පැහැරගැනීමට සම්බන්ධ වූ පුද්ගලයා දුටුවොත් හඳුනාගත හැකි බවට ඔහු ප්‍රකාශ ඇතැයි ද පැවසීය.
එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පැතුම් කර්නර් නම් සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරන ලෙසත්, එතෙක් ඔහු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම ඉදිරි විමර්ශන සඳහා පැතුම් කර්නගේ ජංගම දුරකතනය පොලිසියට භාර දෙන ලෙස සහ ඔහුගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම්වලට අවසර දුන්නේය.
අනතුරුව කරුණු දැක්වූයේ පැතුම් කර්නර් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අල්සකුලරත්න මහතාය. ඔහු ප්‍රකාශ කළේ තම සේවාදායකයා වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයකු බවයි. ඔහු යුද හමුදාවේ මෙන්ම සිංගප්පූරුවේ රෝහල්වල සේවය කර ඇති බවත් අල්සකුලරත්න මහතා කීවේය.
උද්ඝෝෂණය පැවති අවස්ථාවේදී අදාල ස්ථානයේ පොලිස් හා ආරක්ෂක අංශ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටි බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා එම ස්ථානයේ නීති විරෝධී ක්‍රියාවක් සිදු වූයේ නම් එම අවස්ථාවේදීම ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.
දීර්ඝ ලෙස කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ පොලිසිය වැරදි තොරතුරු වාර්තා කර ඇති බවයි.
පැතුම් කර්නර්ගේ ඡායාරූපය ඔහු අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ දින රූපවාහිනී නාලිකාවල සහ අද දින පුවත්පත්වල පළවී ඇතැයි කී ජනාධිපති නීතිඥවරයා එබැවින් ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීම පල රහිත ක්‍රියාවක් බවත් ප්‍රකාශ කළේය. හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කොට සැකකරු සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්වශ්ය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මීැනුම් දුන්නේ සැකකරුගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් මතු කරන විරෝධතා හඳුනාගැනීමේ පෙරෙට්ටුව පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත් කරන ලෙසයි.
Previous articleපෙරටුගාමී පක්ෂ කාර්යාලයට නාඳුනන පිරිසක් කඩාපනී
Next articleකොටුව ඕඅයිසීගේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණයෙන් නියෝග

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here