පෙරටුගාමී පක්ෂ කාර්යාලයට නාඳුනන පිරිසක් කඩාපනී

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට අද උදෑසන නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරියකු සමග පැමිණි පිරිසක් එහි කාර්යාලය පරීක්ෂා කර පිටව ගොස් තිබේ.

නිල ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියා කුමන පොලිසියකද යන්න හෝ පැමිණියේ කුමක් සඳහාද යන්න හෝ ඔහු සමඟ පැමිණි සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු පිරිස කවුරුන්ද යන්න හෝ පැහැදිලි කර නැත. එම අවස්ථාවේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිටි පිරිස් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම විමසීම් කළත් පැමිණි පිරිස කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැත.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මෙසේ ප්‍රකාශ කළේය.

‘අපි දිගින් දිගටම ඇහුවා කොහේ පොලිසියෙන්ද කියලා. අඩු තරමේ ඒකටවත් පිළිතුරක් දුන්නේ නෑ. අපේ අවසරයක් නැතුව සෝදිසි වරෙන්තුවක්වත් නැතිව කාර්යාලයේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළා. ඉන් මිනිත්තු කීපයක් යනකොට තව පොලිස් කණ්ඩායමක් කඩා වැදුණා. කලිනුත් කණ්ඩායමක් ආවා කියලා ඒ ගැන විමසුවාම ඔවුන් ඒ ගැන දැනං හිටියේ නෑ කිව්වා. අපි ඇහුවා සර්ච් වොරන්ට් එකක් තියෙනවද කියලා. ඔව් කියලා පෙන්නුවා. ඒකෙ තිබුණේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසත්න මුදලිගේට නිකුත් කරපු වරෙන්තුවක්. ඔවුනුත් නැවත වතාවක් මේ පරිශ්‍රය පරීක්ෂා කළා. වසන්ත මුදලිගේට නිකුත් කරපු වරෙන්තුවක් අරං පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට එන්න හේතුවක් නෑ. මේ කරන්නේ මානසික යුද්දයක්. පොහොට්ටුවේ සාමාජිකයෝ ඊළඟ ඡන්දෙකට සූදානම් කරන්න තමයි මේ කරන්නේ. අනිත් දේ තමයි මෙයාලා ආයුධ සන්නද්ද අරගලයක් ගැන කියනවා. අද ඇවිත් කාර්යාලයේ හිටපු අයගේ නම් ලියාගෙන ගියා. ආරක්ෂක අංශ කුඩු පැකට් දාලා ආයුධ දාලා පුද්ගලයන් ඇතුළට ගන්නවා කියලා අපි අහලා තියනවා. මේ යන පිටපත අපිට පැහැදිලියි. ඊළඟට ආයුධ දාලා මෙතන ඉන්න අය ඔක්කොම ඇතුලට අරං පෙරටුගාමී සමාජවාදී පක්ෂයට විශාල මර්දනයක් ක්‍රියාත්මක කරනවා. මේක පිටපතකට කරන රංගනයක්. නැතුව වසන්ත මුදලිගේ මෙහේ හොයන්න හේතුවක් නෑ.’ යැයි දුමින්ද නාගමුව පැවසීය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිසිය පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට කඩා පැන තිබිණි. එමෙන්ම අවස්ථා කිහිපයකදීම එම පක්ෂයේ ක්‍රියාකාරීන් විවිධ හේතු කියමින් අත්අඩංගුවට ගනු ලැබිණි. පක්ෂයේ මහ ලේකම් කුමාර් ගුණරත්නම් සහ පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ද එලෙස අත්අඩංගුවට පත්වූවන් අතර වෙති.

ගාලු මුවදොර සාමකාමී අරගලයේ මුල සිටම පෙරටුගාමි සමාජවාදී පක්ෂයට සම්බන්ධ තරුණ කණ්ඩායම් සක්‍රීයව කටයුතු කළේය. එම පක්ෂනයේ නම කියමින් සහ නොකියමින් එම පක්ෂය ඉලක්ක කර ආණ්ඩුවේ ඇතැමෙක් පහුගිය කාලේ විවේචන එල්ල කළහ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජන අරගලවලදී දක්වන සක්‍රීය දායකත්වය හීන කිරීමේ අරමුණෙන් එම පක්ෂය තහනම් කිරීම සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක් ගොස් ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග කියයි. එලෙස දේශපාලන පක්ෂයක් තහනම් කිරීම බරපතල තත්ත්වයක් වන අතර එය එවැනි තහනම් කිරීම් ආයුධ සන්නද්ධ අරගල දක්වා තල්ලු කෙරුණු අවස්ථා ලෝක ඉතිහාසයේ මෙන්ම ලංකාවේ ඉතිහාසයේද තිබේ.

 

 

Previous articleමහින්දගේ මැරයන්ගෙන් පසු රනිල්ගේ හමුදාව ගාලු මුවදොරට පනී
Next articleගිනිඅවිය පැහැර ගත්තේ පැතුම් කර්නර්දැයි සොයයි ; පෙරට්ටුවට නීතිඥ විරෝධය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here