කොටුව ඕඅයිසීගේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණයෙන් නියෝග

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ තිබී තරුණයන් පිරිසක් කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දුන් මුදල් සති තුනක් තිස්සේ අධිකරණයට බාර නොදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර කරුණු වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා අද පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
එම මුදල් ගණන් කර පොලිසියට බාර දුන් තරුණයන් හතර දෙනකු කොටුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප ලැබුණු අතර අද ඒ සම්බන්ධයෙන් නීතිඥවරු විශේෂ කරුණු දැක්වීමක් සිදු කළහ.
අදාල මුදල පොලීසියට භාරදුන් තරුණයන් වෙනුවෙන් ජේයෂ්ඨ නීතීඥ ශිරාස් නූර්දීන්, නීතීඥ නුවන් බෝපෙගේ, නීතීඥ රජිත ලක්මාල්, නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ, නීතීඥ රිවිහාර පින්නදූව, නීතීඥ නලීන් ප්‍රනාන්දු සහ නීතීඥ තරිදු එල් වන්නිආරච්චි ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
දීර්ඝ කරුණු දැක්වීමක් කරමින් නීතිඥ ශිරාස් නූර්දීන් මහතා සඳහන් කළේ ජනාධිපති මන්දිරයේ මෙතරම් මුදලක් තිබීම සැක සහිත බවයි. මුදල් ගනුදෙනු සිදු වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිනුම් හරහා බවත්, මෙතරම් මුදලක් ජනාධිපති මන්දිරයේ තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවත්, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා සති තුනක් තිස්සේ අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය කටයුතු සිදු කර නැති බවත් නීතිඥවරයා කීවේය.
මෙලෙස මුදල් බාර නොදීම ගැන ඊයේ දිනයේදී ජනාධිපති නීතිඥ රියෙන්සි අල්සකුලරත්න මහතා ද ප්‍රශ්න කළ අතර එම මුදල් අද අධිකරණයට බාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේය. අද එම මුදල් බාරදීම සඳහා අධිකරණයේ පෙනී සිටියේ කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු නිලධාරීන් දෙදෙනෙකි.
අද මෙම නඩුව කැදවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශිරාස් නූර්දීන් මහතා ඇතුළු නීතීඥවරුන් පෙන්වා දුන්නේ ජුලි 9 දින කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත බාර දුන් එම මුදල මෙතෙක් අධිකරණය වෙත භාර නොදීම පිළිබඳව බරපතල සැකයක් මතුවන බවයි.
එම මුදල සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්විය යුතු බවත්, එය උපයාගත් ආකාරය ඇතුළු ඒ සම්බන්ධයෙන් වන සියලු තොරතුරු අනාවරණය කරගැනීමට අවශ්‍ය බවටත් නීතීඥවරු කරුණු දැක්වූහ.
පොලිසිය ප්‍රකාශ කළේ ජනාධිපති මන්දිරය තුළ තිබූ එම මුදල සම්බන්ධයෙන් මෙතෙක් අයිතිකරුවකු ඉදිරිපත්ව නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවත් ය.
දෙපාර්ශවයේ කරුණු සලකාබැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අදාල මුදල භාරදීම සඳහා කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇතත් අද දිනයේ එම මුදල අධිකරණයට භාර දෙන්නේ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය මගින් වන බවයි. එලෙස අදාල විමර්ශන කටයුතු වෙනත් අංශයකට පැවරීමට ප්‍රමාණවත් හේතු අධිකරණයට නිරීක්ෂණය නොවන බව ද මහේස්ත්‍රාත්වරයා කීවේය.
ජූලි 09 වැනිදා සොයාගත් මුදල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර එය භාරදීම සඳහා සති තුනක කාලයක් කටයුතු නොකිරීම දැඩි ප්‍රශ්නකාරී ද ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා මෙම මුදල් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානාධිපති දැමූ සටහන් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැතැයි ද ප්‍රකාශ කළේය.
ඒ අනුව අදල මුදල සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, කොටුව පොලිසියේ මෙම මුදල සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය ගැන විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකට නියෝග කළේය.
එම විමර්ශනයට අවශ්‍ය පහසුකම් සපයන ලෙස පොලිස්පතිවරයාට ද නියෝග කෙරිණි.
ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ජූලි 09 වැනිදා පැවැති අරගය අතරතුරදී ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් සොයා ගත් තරුණයන් පිරිසක් එම මුදල් ගණන් කර විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලි්ස් අධිකාරීවරයකු ද ඉදිරිපිට කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දුන්හ.
කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මුදල් බාර දුන් තරුණයන්ගේ ප්‍රකාශද සටහන් කර ගනිමින් එම මුදල් පොලිස් බාරයට ගත් අතර එදින රාත්‍රී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කතා කර එම අමාත්‍ය ටිරාන් අලස් මහතාට බාර දෙන ලෙසට බලපෑම් කර තිබිණි. පොලිස් ස්ථානාධිපතිවරයා ඒ ගැන පොලිස්පතිවරයා සහ ඉහළ පොලිස් නිලධාරීන් දැනුම්වත් කර තිබෙන අතර ඔවුන්ගේ උපදෙස් මත බලපෑම ගැන සටහනක් ද යොදා තිබේ.
එසේ තිබියදී බලපෑම් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන මුදල් ගණන් කර බාර දුන් තරුණයන් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේය.
Previous articleගිනිඅවිය පැහැර ගත්තේ පැතුම් කර්නර්දැයි සොයයි ; පෙරට්ටුවට නීතිඥ විරෝධය
Next articleඅනීතිකව පැහැර ගත් වෙරංගට නීතිඥ නියෝජනයත් අහිමි කරලා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here