මහාධිකරණ තීන්දුව ප්‍රශ්නයක් : අවු.17ක් දඬුවම් විඳි පුද්ගලයෙක් නිදොස් කොට නිදහස් !

හෙරොයින් ග්‍රෑම් 4.64ක් ළඟ තබාගෙන ජාවාරම් කළැයි කොළඹ මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම කළ පුද්ගලයෙකුට අදාළ එම දඬුවම මහාධිකරණ විනිසුරුවරයා නීතිය වැරදි ලෙස අර්ථකතනය කරමින් අහේතුකව හා අසාධාරණ ලෙස කටයුතු කරමින් ලබා දී ඇති බව තීරණය කළ අභියාචනාධිකරණය, වසර 17කට පසු චූදිතයා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
මෙම තීන්දුව ලබා දුන්නේ නිශ්ශංක බන්දුල කරුණාතරන්, ආර්. ගුරුසිංහ සහ පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසිනි.
දඬුවම් විඳිමින් සිටි පුද්ගලයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 2000 වසරේ වන අතර, ඔහුට එරෙහි අධිචෝදනා ගොනු කර ඇත්තේ 2001 වසරේදී ය. මහාධිකරණයේ නඩු තීන්දුව 2005 වසරේ ලබා දී ඇති අතර, එම තීන්දුවට එරෙහිව විත්තිකරු අභියාචනාධිකරණයට අභියාචනා කර ඇත්තේ ද 2005 වසරේදීම ය. කෙසේ වෙතත් මෙම අභියාචනය විවාදයට ලක් කර ඇත්තේ 2021 වසරේදී වන අතර, තීන්දුව ලබා දී ඇත්තේ 2022 පෙබරවාරි මස 23 වැනිදා ය.
මෙම තීන්දුව ලබා දෙන විට මරණ දඬුවම නියම වී සිටි විත්තිකරු වසර 17ක කාලයක් සිර දඬුවම් විඳිමින් සිට ඇති බව තීන්දුවේ සඳහන් වේ.
මෙම නඩුවේ සාක්කිකරුවන් ලෙස පොලිස් පරීක්ෂක ආර්. ටී. දයානන්ද, පොලිස් කොස්තාපල් එම්. ආර්. ජයසුන්දර බණ්ඩාර, පොලිස් පරීක්ෂක ඩී. පී. සුනිල් පද්මසිරි පෙරේරා සහ රජයේ නියෝජ්‍ය රසපරීක්ෂක ඩී. ශ්‍රියානි සකුන්තලා තෙන්නකෝන් යන පිරිස සාක්කි ලබාදී තිබේ. පොලිස් සාක්කිකරුවන්ගේ සාක්කිවල පරස්පරතා තිබියදී මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු වැරදිකරු කරමින් මරණ දඬුවම නියම කර ඇතැයි අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.
මෙම වැටලීමට අදාළ ව තොරතුරු ලැබීම ගැන පොලිස් කොස්තාපල් බණ්ඩාර තම සාක්කියේදී ප්‍රකාශ කර ඇත්තේ පොලිස් පරීක්ෂක දයානන්දට ලැබුණු තොරතුරක් මත වැටලීම කරන ලද බවයි. කෙසේ වෙතත් පොලිස් පරීක්ෂක දයානන්ද තම සාක්කියේදී ප්‍රකාශ කර ඇත්තේ පොලිස් කොස්තාපල් බණ්ඩාරට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කළ බවයි. තොරතුරකට අනුව දෙමහල් නිවසක් පරීක්ෂා කරද්දී එහි ඉහළ මහලේ විත්තිකරු සිටි බවත්, විත්තිකරුගේ යට ඇඳුමක් තුළ හෙරොයින් අඩංගු පැකට් තිබූ බවත් පොලිසිය කියා ඇතත්, හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් සාක්කිකරුවකු කියා ඇත්තේ මෙම විත්තිකරු සිටියේ ඔහුගේ බිරිඳ සමඟ බවයි.
අදාළ දෙමහල් නිවස අයත් වන්නේ ඉන්ද්‍රානි නම් වෙනත් කාන්තාවකට බවත්, එම නිවස පරීක්ෂා කිරීමට යතුර ගත්තේ ඇගෙන් බවත් පොලිසිය කියා ඇත. කෙසේ වෙතත් ඉන්ද්‍රානිගෙන් හෝ විත්තිකරුගේ බිරිඳගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නැත. ඉන්ද්‍රානි නම් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇය සතු වූ මත්ද්‍රව්‍ය මෙම විත්තිකරුට ආදේශ කර ඇයව මුදා හැරි බවට විත්තියෙන් සාක්කිකාර පොලිස් නිලධාරියකුට යෝජනා කර ඇති අතර, පොලිස් නිලධාරියා එම යෝජනාව ප්‍රතික්ෂේප කර නැත. විත්තිකරු අත්අඩංගුවට ගත් ස්ථානය නොදන්නා බවද සාක්කිකාර පොලිස් නිලධාරියකු කියා තිබේ. මෙවැනි පරස්පරතා තිබියදී මහාධිකරණය විසින් විත්තිකරු වැරදිකරු යැයි තීරණය කර මරණ දඬුවම පමුණුවා තිබේ.
මහාධිකරණ විනිසුරුවරයා විසින් සලකා බලා නැති කරුණු ගැන අවධානය යොමු කළ අභියාචනාධිකරණය, පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කර නැති හෙයින් දඬුවම් ලබාදීමට ඉඩ දිය නොහැකි බව තීරණය කර, ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය. ඒ අනුව මහාධිකරණයෙන් වරදකරු කිරීමට දුන් නියෝගය අවලංගු කිරීමට නියෝග කළේය.
Previous articleදත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් එක්සත් ජාතීන්ට ලිපියක් !
Next articleපාස්කු ප්‍රහාරය ; කොළඹ අගරදගුරුතුමා පාප්තුමා හමුවෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here