පාස්කු ප්‍රහාරය ; කොළඹ අගරදගුරුතුමා පාප්තුමා හමුවෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ නොවීම ගැන සාකච්ඡා කිරීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වතිකානයට ගොස් ප්‍රැන්ෆිස් පාප්වහන්සේ මුණගැසුණු බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමෝ පැවසූහ.
‘අපිට සාධාරණය ඉෂ්ඨ කර ගන්න දැන් තිබෙන්නේ එකම තැනයි. ජාත්‍යන්තරය පමණයි.’ යැයි ද සහායක රදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
කොළඹ සහායක රදගුරුතුමන් සහ සිරිල් ගාමිණී පියතුමන් ඊයේ (28) කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මේ බව ප්‍රකාශ කෙරිණි.
‘උන්වහන්සේගේ ගමන සාමාන්‍යයෙන් සෑම වසරකම සිදුවන දෙයක්. නමුත් පසුගිය වසරවල් දෙකේම උන්වහන්සේට සහභාගී වෙන්න ලැබුණේ නෑ වසංගතය නිසා. විශේෂයෙන්ම මේ වසරේදී උන්වහන්සේ ශුද්දෝත්තම පාප්වහන්සේගේ විශේෂ අවධානය යොමු කරන්නේ මීට වසර තුනකට පෙර සිදුවෙච්ච පාස්කු ප්‍රහාරයේ සත්‍ය තවමත් හෙළිදරව් කර ගැනීමට නොහැකිවීම පිළිබඳවත්, ඒවගේම ශ්‍රී ලංකා කතෝලික ජනතාව සත්‍ය සොයා යෙදෙන අරගලය පිළිබඳ දැනුවත් කිරීම සඳහාත්, මේ වසරතුන තුළ ගෙන ඇති පියවර ගැන උන්වහන්සේ දැනුම්වත් කරන්න. තවම පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනවිත් නෑ. ඒ සඳහා ක්‍රියාකළයුතු පාර්ශ්ව උදාසීන බවක් දක්වන්නේ.’ යැයි ඇන්තනී ජයකොඩි පියතුමා පැවසීය.
වින්දිතයන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න ගිහින් ජාත්‍යන්තරයෙන් සම්බාධක පැණවීමක් සිදුවුවහොත් එහි බලපෑමට රටක් ලෙස ලක්වීම ගැන කතෝලික සභාවේ අදහස කුමක්දැයි මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් ඇසූ අතර  ඊට පිළිතුරු දුන් සිරිල් ගාමිණී පිතුමා මෙසේ පැවසීය.
‘ඒක පිළිබඳව රජය ඇතුළු අදාල පාර්ශ්වයන් ඊට පෙර කල්පනා කරන්න තිබුණා. අවුරුදු තුනක් තිස්සේ මේ රටතුල සාධාරණය ඉෂ්ඨ කරගන්න පුලුවන්ද කියන එක අපි සියලුම පැතිවලින් උත්සාහ කරලා බැලුවා. මේක හරියට කෙරුණා නම් ජාත්‍යන්තරයට යන්න කාටවත් අවශ්‍ය වෙන්නේ නෑ. දැන් අන්තිමට චෝදනා කරලා පලක් නෑ රටට ප්‍රශ්නයක් වෙනවා කියලා. අපි පිටරටක මිනිස්සු නෙමේනේ. මේ රටේ මිනිස්සුන්ටනේ මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ. මේ ප්‍රහාරයෙදි හැම ජාතියකටම අයිති හැම ආගමකටම අයිති අය වගේම විදේශරටවල අයත් මිය ගියා. මේක කතෝලිකයන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. අපි කරන්නේ සාධාරණත්වය ඉල්ලන එක. ඒක රටකට එරෙහිව කරන දෙයක් නෙමෙයි.’
Previous articleමහාධිකරණ තීන්දුව ප්‍රශ්නයක් : අවු.17ක් දඬුවම් විඳි පුද්ගලයෙක් නිදොස් කොට නිදහස් !
Next articleවසර දෙකට අල්ලස් කොමිසම නඩු 38ක් ඉවත් කරගෙන

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here