සාෆිට වැටුප් ගෙවන්න අවශ්‍ය කටයුතු කරනවා – කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ : රෝහල කළේ වරදක් – සෞඛ්‍ය අමාත්‍යංශය

ආන්දෝලනයට තුඩු දී ඇති වෛද්‍ය සාෆි ශිහාබ්දීන් නැවත සේවයේ පිහිටුවීම සහ හිඟ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කර ඇති නියෝගය පිළිබඳව MediaLK කළ විමසීමකදී කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කඳන්ගමුව මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝග පරිදි වෛද්‍යවරයාට වැටුප් ගෙවීමට අවශ්‍ය වැඩකටයුතු සිදුකරගෙන යන බවයි.
MediaLK – වෛද්‍ය සාෆිට වැටුප් ගෙවන්න කියා සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා නේද? මේ වනවිට වැටුප් ගෙවීම් ආරම්භ කරලා තිබෙනවද?
රෝහල් අධ්‍යක්ෂ – දැනුම් දීලා තිබෙනවා. දැනුම් දීම අනුව අවශ්‍ය වැඩකටයුතු කරන්න වෙනවා.
MediaLK – තවම වැටුප් ලබා දුන්නේ නැද්ද?
රෝහල් අධ්‍යක්ෂ – මම ඒ සඳහා අවශ්‍ය නියෝග දුන්නා. මාස ගණනක හිඟ තිබෙන නිසා ඒවා හදන්න ඔ්නෙ, සල්ලි ගන්න සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලන්න ඔ්නෙ. මගේ කාර්යය මං කරලයි තියෙන්නේ.
MediaLK – අනිවාර්ය නිවාඩු යැවීමකදි වැටුප් අහිමි වෙනවද?
රෝහල් අධ්‍යක්ෂ – අනිවාර්ය නිවාඩු යැවීමකදී ආයතන සංග්‍රහයට අනුව වැටුප් ලබාදෙනවා.
MediaLK – එහෙම නම් ඇයි වෛද්‍ය සාෆිට වැටුප් ලබා දුන්නේ නැත්තේ?
රෝහල් අධ්‍යක්ෂ – ඔහු මුලින් අත්අඩංගුවට පත්වුණානේ. පරීක්ෂණ ගියා. ඒ නිසා වැටුප් ගෙවා නෑ. වසර දෙකකටත් වැඩිය ගියත් වැටුප් ගෙවන්න කියලා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නියෝගයක් ආවෙත් නැහැ.
MediaLK – මූලික පරීක්ෂණයක් කළාද?
රෝහල් අධ්‍යක්ෂ – මූලික පරීක්ෂණයක් රෝහලෙන් කළා.
MediaLK – මූලික පරීක්ෂණයෙන් වැරදිකරු වුණා නම් චෝදනා පත්‍රයක් ලබාදී විනය පරීක්ෂණයක් තියන්න ඔ්නෙ නේද?
රෝහල් අධ්‍යක්ෂ – මූලික පරීක්ෂණයෙන් වැරදිකාරයත් වුණා. අපි එහි වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට යැව්වා. අමාත්‍යංශයෙන් චෝදනා පත්‍රයක් දුන්නේ නෑ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මතය
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානියකුගෙන් විමසීමක් කළ අතර, ඔහු ප්‍රකාශ කළේ මූලික පරීක්ෂණයක් සිදු කළ යුත්තේ රෝහලෙන් නොව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බවයි. රෝහල පැවැත්වූ පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් නොවන බවත්, විධිමත් මූලික පරීක්ෂණයකින් වෛද්‍යවරයා වැරදිකරුවකු වී නැති බවත්, විධිමත් මූලික පරීක්ෂණයකින් වැරදිකරු නොවී ඔහුට චෝදනා පත්‍රයක් දීම හෝ විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සිදු කළ නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ එම ප්‍රධානියා පැවසීය.
ආයතන සංග්‍රහයේ සඳහන් වන්නේ කුමක්ද?
ආයතන සංග්‍රහයේ xii පරිච්ඡේදයේ සඳහන්ව ඇත්තේ නිවාඩු සම්බන්ධයෙනි. අංක 20 යටතේ අනිවාර්ය නිවාඩු යැවීම ගැන සඳහන් වේ.
20.1 වගන්තිය –
‘යම් නිලධාරියකු සිය නිලයේ රාජකාරි කටයුතු කරගෙන යෑම පොදු යහපත පිණිස හේතු නොවේ යැයි වෛද්‍ය හෝ වෙනත් විශේෂ හේතු අනුව සලකන කල්හි, පත්කිරීම් බලධරයාට පුද්ගලිකව එම නිලධාරියා අනිවාර්ය නිවාඩු පිට යැවිය හැකිය.’
20.2 වගන්තිය –
‘එම නිවාඩු පළමු කොට නිලධාරියාගේ ඉතිරි නිවාඩු ඇත්නම් ඒවායින් අඩු කළ යුතුය. නිලධාරියාගේ ඉතිරි නිවාඩු අවසන් වූ පසුව දෙන නිවාඩු සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවක් ලෙස ගණන් ගත යුතුය.’
දැනුම් දුන්නේ කුමක්ද?
වෛද්‍ය සාෆි යළි සේවයේ පිහිටවූ බවට ජනමාධ්‍ය වාර්තා පළවුවද, ඔහු සේවයේ පිහිටුවීමක් සිදු කර නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. සිදුකර ඇත්තේ ආයතන සංග්‍රහය අනුව ඔහුට වැටුප් ගෙවීමට දැනුම් දීම පමණක් බව ද, ආයතන සංග්‍රහය කඩකරමින් වෛද්‍යවරයාට වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් හේතු විමසා ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. කාන්තාවන් වඳභාවයට පත් කළැයි ජනමාධ්‍ය මඟින් චෝදනා කළ ද මේ වන තෙක් එවැන්නක් කිසිම පරීක්ෂණයකින් සනාථ වී නැතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleවැඩ බාරගෙන දෙදිනකින් තොරතුරු කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි
Next articleමැතිවරණ සැලසුමක තවත් ගොදුරක් : වෛද්‍ය සාෆි – 01

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here