අත්අඩංගුවට ගත් ලසන්ත රඳවාගෙන සිටියේ පොලිසියෙන් පිට – ස්ථානාධිපති සාක්කි දෙයි

එච් එල් ලසන්ත හෙවත් ටින්කරින් ලසන්ත අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ බව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දුන් බවත්, ඔහු පොලිස් ස්ථානයෙන් පිට ආරක්ෂිත ස්ථානයක රඳවාගෙන සිටි බවත් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධි ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතා අද (16) කළුතර මහේස්ත්‍රාත් එන් එච් එච් හේවගේ මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළාය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ එච් එල් ලසන්ත වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන මරණ පරීක්ෂණයේ සාක්කි ලබා දෙමිනි.
සන්ෂයින් සුද්දා නම් සැකකරුවකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් එච් එල් ලසන්ත අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් ලසන්ත අයුධ පෙන්වීමට බව කියමින් රැගෙන ගොස් මරා දැමීමේ සූදානමක් ඇතැයි ඔහුගේ නීතිඥ සංජය එස් ආරියදාස මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ ජනමාධ්‍යවේදීන්ට දැනුම්දී තිබිණි. මානව හිමිකම් කොමිසම, නීතිඥ සංගමය සහ ජනමාධ්‍යවේදීන් ඔහු මරා නොදමන ලෙස පොලිසියෙන් ඉල්ලීම් කර තිබියදී පසුදින අලුයම ඔහු මිය ගිය බව ජනමාධ්‍ය වාර්තා කළේය.
මරණය සම්බන්ධයෙන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති මරණ පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් ද, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ සංජය ආරියදාස, නීතිඥ තරිඳු වන්නිආරච්චි සහ නීතිඥ කුමාරි ද සිල්වා ඇතුළු පිරිසක් ද පෙනී සිටියහ.
සැකකරුවකු අත්අඩංගුවට ගත් වහාම ප්‍රමාධයකින් තොරව මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතු බවත්, පැය 24ක කාලය ලබා දී ඇත්තේ ප්‍රකාශයක් සටහන් කර මහේස්ත්‍රාත්වරයා හමුවීමට රැගෙන යාමට මිස ආයුධ පෙන්වීමට රැගෙන යාමට නොවන බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
මිය ගිය ලසන්ගේ බිරිඳ සාක්කිකාරියක් සහ වින්දිතයකු වන හෙයින් සාක්ෂිකරුවන් සහ වින්දියන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඇයට ආරක්ෂාව ලබා දියයුතු බව ද නීතිඥවරු ප්‍රකාශ කළහ. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය ඇය පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිට නියෝග කළාය.‍
වැඩිදුර සාක්කි කැඳවීම ජනවාරි මාසය තෙක් කල් තැබිණි.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleදින හතකින් ලොහාන් අත්අඩංගුවට නොගත්තොත් පොලිස්පතිට නඩු
Next articleවැඩ බාරගෙන දෙදිනකින් තොරතුරු කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here