පිල්ලෙයාන්ගේ ගෝලයෝ නිදැල්ලේ ; මඩකලපුව ශිවානන්ද පාසලේ ගුරුවරු ලෙඩ නිවාඩු දමති

මඩකලපුව ශිවානන්ද විදුහලේ සේවය කරන ගුරුවරයකුට පහර දුන්නේයැයි කියමින් එම පාසලේ ගුරුවරුන් අද (07) අසනීප නිවාඩු වාර්තා කර සේවයට පැමිණ නැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතාට හිතවත් පිරිසක් ඊයේ (06) මඩකලපුව ශිවානන්ද විදුහලේ දරුවන්ට පාසලට පැමිණීමට නොහැකි වන සේ පාසලේ ගේට්ටුව වසා දමා විරෝධතාවක් පවත්වා තිබිණි.
ලංකා ගුරු සංගමයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ලේකම් පී උදයරූබන් මහතාට එරෙහිව මෙම පිරිස මේ ආකාරයට උද්ඝෝෂණය කළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ (06) දහවල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.
‘සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මන්ත්‍රීවරයාගේ ගේ මැර කණ්ඩායමක් විසින් අද දින (2021.12.06) දින මඩකලපුව ශිවානන්ද විදුහලේ සේවය කරන ලංකා ගුරු සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී. උදයරූබන් මහතාට එරෙහිව පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. 25 දෙනෙකුගෙන් පමණ සමන්විත පිල්ලෙයාන් මන්ත්‍රීවරයාගේ මැර පිරිසක් විසින් උදෑසන දරුවන් පාසලට පැමිණීමේදී ඔවුන්ට පාසලට ඇතුළුවීමට නොහැකි වන සේ පාසලේ ගේට්ටුව වසාදමා මෙම උද්ඝෝෂණය පවත්වා ඇති අතර, මේ හේතුවෙන් අද දින ශිවානන්ද විදුහලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුළුමනින්ම කඩාකප්පල් වී ඇත.
මෙම සිද්ධිය හේතුවෙන් පාසලේ ගුරුවරු කිසිවෙක් අද දින සේවයට වාර්තා නොකළ අතර, පාසලේ ගුරුවරු කාන්තණ්කුඩි පොලීසියට ගොස් පැමිණිලි කර ඇත. පී. උදයරූබන් මහතා ද තම ජීවිත ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් කාන්තණ්කුඩි පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
පොලීසිය බලා සිටියදී මේ ආකාරයෙන් මැර කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් පාසලේ ගේට්ටුව වසා දමා දරුවන්ට පාසලට ඇතුළුවීමට ඉඩ නොදී සිදු කරන ලද මෙම බලහත්කාර හා කලහකාරී ක්‍රියාව සම්බන්ධයෙන් ශිවානන්ද විදුහලේ විදුල්පතිවරයා මෙන්ම මඩකලපුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ද මුනිවත රැකීම බරපතල කනනාගටුදායක තත්වයකි. මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ද පැමිණිලි කර ඇත.
එසේම මෙම අවස්ථාවේදී පොලීසිය ඒ සම්බන්ධයෙන් මැදිහත් නොවීම හා මෙම මැර කණ්ඩායම විසින් පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාව අහිමි කිරීම සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර ඇත.
කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පාසල් වසා තිබීම තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස කඩාවැටී ඇති තත්වය තුළ යළි පාසල් ආරම්භ වූ පසු ද මේ ආකාරයෙන් මැර කණ්ඩායම් විසින් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති සීමිත කාලය ද අහිමි කිරීම බරපතල ගැටලුවකි.
ලංකා ගුරු සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී. උදයරූබන් මහතාට දිගින් දිගටම මේ ආකාරයෙන් විවිධ තර්ජන හා බලපෑම් එල්ල වූ අතර, මෙම සිද්ධිය ද එම තර්ජනයන්හි දිගුවකි. පී. උදයරූබන් මහතාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මේ ආකාරයෙන් බලපෑම් කිරීම ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළා දකී.’
මේ සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ මෙම පාසලේ ගුරුවරයකු විදුහල්පතිගේ අත්සන ව්‍යාජ ලෙස ගසා වැටුප් වර්ධක ලබා ගත් බව කියමින් දේශපාලන පක්ෂයකට හිතවත් ආදිසිසුන්යැයි කියාගත් පිරිසක් ඊයේ (6) විරෝධතාවක් කළ බවයි. ඔවුන් පාසල් ළමයින්ට සට ගුරුවරුන්ට පාසලට යෑමට නොදී මෙම විරෝධතාවය කළ බවත්, පොලිසිය පැමිණ ඔවුන්ට අවවාද කිරීමෙන් පසු පිටව ගිය බවත් පොලිසිය කීවේය.
සිසුන්ට සහ ගුරුවරුන්ට පාසලට ඇතුළත් වීමට ඉඩ නොදුන් පිරිස සහ ගුරුවරයාට පහර දුන් පිරිස මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
මේ අතර මෙම පාසලේ සේවය කරන වෘත්තීය සමිති නායකයකු වන ගුරුවරයකු දේශපාලන බලපෑම්මත වෙනත් පාසලකට ස්ථානමාරු කිරීමට යන බව ද ගුරුවරු චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් විමසීමට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleසරත් ෆොන්සේකා ඝාතන උත්සාහය – මහාධිකරණය පිළිගත් සැකකරුගේ පාපොච්ඡාරණය අභියාචනාධිකරණයෙන් අහෝසි කරයි !
Next articleසැකකරුවකු පැමිණෙන තුරු සහෝදරිය රඳවා ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here