සරත් ෆොන්සේකා ඝාතන උත්සාහය – මහාධිකරණය පිළිගත් සැකකරුගේ පාපොච්ඡාරණය අභියාචනාධිකරණයෙන් අහෝසි කරයි !

මහාධිකරණයේදීත් අභියෝගයක්

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා යුද හමුදා මූලස්ථානය තුළදී ඝාතනයට තැත් කිරීමට ආධාර අනුබල දුන්නේයැයි අධිචෝදනා ලබා සිටින විත්තිකරුවකුට එරෙහිව ඉදිරිපත් කළ ඔහුගේ ම පාපොච්ඡාරණයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළ එකක් ලෙස පිළිගැනීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය අහෝසි කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) නියෝග කළේය.
මෙම පාපොච්ඡාරණය විත්තිකරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද්දක් බවට පිළිගැනීමට කොළඹ මහාධිකරණය 2017 මැයි 28 වැනිදා කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමින් චූදිත සෙල්වරාසා කිරුබාකරන් නම් නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රිමාන්ඩ් සිරකරුවකු මෙම අභියාචනය යොමු කර තිබිණි. 2017 වසරේදී ඉදිරිපත් කළ අභියාචනය පසුගිය නොවැම්බර් 02දා අධිකරණයේදී විවාදයට ගැනිණි.
අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඊයේ (02) මේ නියෝගය ප්‍රකාශයට පත්කළාය.
මහාධිකරණයේදීත් අභියෝගයක්
යුද හමුදා මූලස්ථානය තුළදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට උත්සාහ කළේ 2006 අගෝස්තු 25 වැනිදා ය. ඔහු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම ගැන මෙම සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇත්තේ 2012 වසරේදී වීම විශේෂත්වයකි.
මේ නඩුවේදී පැමිණිල්ලේ සාක්ෂි අතරතුර එවකට සහකාර පොලිස් අධිකාරි නිමල් රත්නායක මහතා විසින් සැකකරු කරන ලද පාපොච්ඡාරණයක් සලකුණු කිරීමට උත්සාහ කර ඇති අතර, විත්ති පාර්ශ්වය එම පාපොච්ඡාරණයේ ස්වේච්ඡාභාවය අභියෝගයට ලක්කරමින් විරෝධතා පළ කර තිබේ. එම විරෝධතාවයේ නියෝගය මහාධිකරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ චූදිතට එරෙහිව ය. එනම් පාපොච්ඡාරණය පිළිගෙන තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම චූදිත පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කර ඇති අතර, එම පනතේ 16 (1) යටතේ යැයි කියමින් පාපොච්ඡාරණයක් ද සටහන් කරගෙන තිබේ.
අමානුෂික සැලකීම් – පරිවර්තනත් නෑ
චූදිත දෙමළ භාෂාව කතා කරන දෙමළ ජාතිකයෙකි. අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කර ඇති චූදිතගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ පාපොච්චාරණය ලබාගැනීමට පෙර, තමන්ට වධහිංසා පමුණුවා අමානුෂික ලෙස සැලකීමෙන් පසු එම පාපොච්ඡාරණය ලබාගත් බවයි. පාපොච්ඡාරණය යතුරු ලියනය කර ඇත්තේ තමන් විසින් ම හෝ භාෂා පරිවර්තකයකු විසින් නොවන බවත්, එය සිදු කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරි නිමල් රත්නායක මහතා විසින් ම බවත් පෙත්සම්කාර චූදිතගේ ස්ථාවරය වී ඇත. මෙම පාපොච්ඡාරණය දින හයක් තුළ දී ලියාගෙන ඇතැයි කියැවිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ තර්කය වී ඇත්තේ පාපොච්ඡාරණය සටහන් කළ සහකාර පොලිස් අධිකාරිවරයා දෙමළ භාෂාව ඉතා චතුර ලෙස හසුරුවන නිසා පරිවර්තකයකුගේ පැමිණීම අවශ්‍ය නොවූ බවයි. සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී ප්‍රකාශ කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීමට පෙර දෙමළ භාෂා ප්‍රවීණතා පරීක්ෂණයකට පෙනී සිටීමට සිදු වූ බවයි.
දින හයක් පීඩාවට
දින හයකට ආසන්න කාලයක් මෙම පාපොච්ඡාරණය සටහන් කර ඇති අතර, එය පෙත්සම්කරුට මහත් පීඩාවක් ඇති කළ බව පෙත්සම්කාර චූදිත කියා ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ දින හයක දීර්ඝ කාලයක් මේ සඳහා ලබාගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් අවශ්‍යතාවක් තිබූ නිසා බවයි. පාපොච්ඡාරණය සටහන් කළ සෑම දිනකම සහකාර පොලිස් අධිකාරිවරයා පෙත්සම්කරුගේ සුබසාධනය ගැන සොයා බැලූ බවත් වගඋත්තරකාර පාර්ශ්වය ප්‍රකාශ කර ඇත.
සහකාර පොලිස් අධිකාරිවරයා ම ප්‍රධාන නඩු විභාගයේදී පිළිගෙන තිබුණේ තමන්ට දෙමළ භාෂාව පිළිබඳ එතරම් විශ්වාසයක් නොමැති බවත්, ඇතැම් අවස්ථාවල ශබ්දකෝෂය භාවිත කිරීමට සිදුවූ බවත් ය. සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ම පාපොච්ඡාරණය පරිවර්තනය කිරීම නිසා පෙත්සම්කරුගේ ප්‍රකාශය ඒ ආකාරයට ම පරිවර්තනය කළේ ද යන්න පිළිබඳව සැකයක් මතු කර තිබේ.
ස්වේච්ඡාභාවය පිළිබඳ ගැටළුව
පාපොච්ඡාරණය සටහන් කිරීම දින හයකට ආසන්න කාලයක් දක්වා ව්‍යාප්ත වූ බැවින් සහකාර පොලිස් අධිකාරිවරයාට කළ හැකිව තිබූ දූරදර්ශීම දෙය නම් අවම වශයෙන් දිනකින් හෝ දෙකකින් භාෂා පරිවර්තකයකුගේ සේවය ලබාගැනීම බව අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් කර තිබේ. එබැවින් සහකාර පොලිස් අධිකාරිවරයා දින හයක් තුළ සම්පූර්ණ පාපොච්ඡාරණය පරිවර්තනය කිරීම නිසා එහි ස්වේච්ඡාභාවය සම්බන්ධයෙන් සැකයක් ඇති කර තිබේ.
එබැවින් සටහන් කර ඇති පාපොච්ඡාරණය සාක්ෂි ආඥා පනතේ 24 වැනි වගන්තියේ විධිවිධානවලට පටහැනි ද යන්න සම්බන්ධයෙන් අධිකරණය හොඳින් සලකා බැලිය යුතු බවත්, ඉදිරිපත් වූ කරුණු අනුව මෙම පාපොච්ඡාරණය සම්බන්ධයෙන් 2017 මැයි 28 දිනැති ව කොළඹ මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව ප්‍රතිශෝධනය කරන බවත් අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 16 (1) වගන්තිය පහත දැක්වේ.

සාක්ෂි ආඥා පනතේ 24 වගන්තිය පහත දැක්වේ.

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous article‘විශ්වලිංගම් කටු කම්බි ඔතපු තල් පිත්ත අරන් ආවෙ ගෙදරින් ද?’ – හමුදාවේ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීහු විමසති !
Next articleපිල්ලෙයාන්ගේ ගෝලයෝ නිදැල්ලේ ; මඩකලපුව ශිවානන්ද පාසලේ ගුරුවරු ලෙඩ නිවාඩු දමති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here