පොලිසියේ උපරිම බලයට අභියෝග කරන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් !

(ශාලික විමලසේන)
ඇතැමුන් හිතාගෙන සිටින රාජාණ්ඩුවල මෙන් නොව, නූතන ලෝකය තුළ අයිතිවාසිකම් යනු ඉතා වැදගත් සංකල්පයකි. සංකල්පීය වශයෙන් පමණක් නොව, මානව පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා එහි ඇති අවශ්‍යතාව පිළිබඳව අන්කවරදාටත් වඩා වර්තමානයේදී අවධානය යොමු වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය අගයන රාජ්‍යයන් සියල්ලකම පාහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට අයිතිවාසිකම් පරිච්ඡේද ඇතුළත් කර ඇත්තේ එම නිසා ය. මෙරට දැනට ක්‍රියාත්මක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් තිබේ.
යුක්තිය පසිඳලීම
එහෙත් කනගාටුවට කරුණ වන්නේ රාජ්‍යය මෙහෙයවන තාවකාලික භාරකාරයා ලෙස පත්වන ආණ්ඩු මෙහි ඇති වැදගත්කම නොසලකා හැරීම ය. ආණ්ඩුවේ ඒ නොසලකා හැරීම්වලින් උත්තේජනය ලබන ඇතැම් රාජ්‍ය ආයතන, විශේෂයෙන්ම පොලිසිය, බන්ධනාගාරය වැනි ස්ථාන තුළදී පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වෙමින් තිබේ. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පොලිස් ස්ථාන තුළදී වධහිංසාවට ලක්කිරීමේ සිට අධිකරණයට ඉදිරිපත් කරන විත්තිකරුවන් සම්ප්‍රදායක් ලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීම දක්වා ම මේ තත්ත්වය විහිදී යයි. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ම දඬුවමක් බවට පත්වේ නම්, එය බරපතළ තත්ත්වයකි.
පොලිසිය ජනතාවට වඩාත් සමීප කරවීම සඳහා යනුවෙන් පවසමින් පොලිසිවල තාප්ප කඩා, වටේට මල් වැවීමේ ව්‍යාපෘතියක් ද පසුගිය කාලයේ ක්‍රියාත්මක විය. එහෙත් වටේට මල් වැව්වා කියා, ඇතුළේ කිසිදු වෙනසක් සිදු වූයේ නැත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ආයතනවල මැදිහත්වීම මත යම් වෙනස්කම් සිදුවුවද, ඒවාට මුහුණ දීමේ උපක්‍රම ලෙස ඇතැම් පොලිස් ස්ථාන සිදු කළේ පොලිසියෙන් පිටත නිවෙස්වල සැකකරුවන්ට වධහිංසා කරන ස්ථාන පවත්වාගෙන යෑම ය. පසුගිය කාලයේ එවැනි අවස්ථා පිළිබඳ ව මාධ්‍ය මගින් වරින් වර අනාවරණය කෙරිණි.
ව්‍යවස්ථාව සහ අධිකරණ
පොලිස් අභ්‍යාස විද්‍යාලවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විශේෂයෙන්ම එහි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය පිළිබඳ ඉගැන්වූවාට භාවිතයේදී ඔවුන්ගෙන් බහුතරය ඒවා තඹේකට මායිම් නොකරන බවක් පෙනේ. විශේෂයෙන්ම අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේ ම වගකීම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතු බව නීතියේ සඳහන් වුවද, සැකකරුවන්ට ඒ පොලිස් ස්ථාන තුළ සිදුවන වධහිංසා සම්බන්ධයෙන් අධිකරණවල මැදිහත්වීම ප්‍රශ්නසහගත ය. විශේෂයෙන්ම ආයුධ පෙන්වීමට යෑමේදී ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබූ බවට අධිකරණයට කියන සිදුවීම්වලදී මහේස්ත්‍රාත්වරුන්ගේ හැසිරීම ප්‍රමාණවත් ද යන්න ද ගැටළුවකි.
මෙවැනි ගැටළු සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා පුරවැසියාට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමේ හැකියාව තිබේ.
ප්‍රධාන චූදිතයාගේ භාවිතාව
මේ ලියන්නේ ආසන්න දින කිහිපයකදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකෙරුණු එවැනි පෙත්සම් තුනක් සම්බන්ධයෙන් ය. මේ පෙත්සම් තුන ම පොලිසියට එරෙහිව ය. මෙයින් පෙත්සම් දෙකක් ම පෙනෙන ආකාරයට පොලිසිය ආණ්ඩුවේ බත්බැලයාගේ රාජකාරිය කිරීමට එරෙහිව ය. අනෙක් පෙත්සම, ගුරා හිටගෙන කරන දේ ගෝලයා දුව දුවා කිරීමකි. එනම් ආණ්ඩුවේ ආදර්ශයෙන් නිදහස ලබන පොලිසිය ජනතාවට සලකන ආකාරය පිළිබඳ කතාවකි.
මේ නමට ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාව ය.
‘උඹ දැනගනින්. උඹ ඉන්නෙ අපේ ගෙදර.’
මාස තුනක් පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන සිටින ලංකා ඊ නිව්ස් වෙබ්අඩවියේ මාධ්‍යවේදී කීර්ති රත්නායක විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර ඇතුළු 20කට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
‘උඹ දැනගනින්, උඹ ඉන්නේ දැන් අපේ ගෙදර. අපේ ගෙදර නඩු විසඳන්නේ අපිට ඕනෑ විදිහට’ යනුවෙන් පවසමින් අත්අඩංගුවේ දී පොලිසිය තමන්ට තර්ජනය කළ බවත්, පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව තමන් ලංකා ඊ නිව්ස් වෙබ්අඩවියට ලියන ලද ලිපි සම්බන්ධයෙන් තමන් බියගන්වන බවත් එම පෙත්සමේ සඳහන් ය.
අංක SC/FR/363/2021 දරන කීර්ති රත්නායකගේ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් නීතිපතිවරයා, පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න, පොලිස්පතිවරයා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න, කොළඹ අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති, එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ නන්දන කුමාර ඇතුළු 20 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
ප්‍රවෘත්ති මූලාශ්‍ර ප්‍රශ්න කිරීම
මාධ්‍යවේදී කීර්ති රත්නායක අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දැක්වුණේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිනියක වන භානු ප්‍රකාශ් වට්ස්ඇප් හරහා ඔහු විසින් කරන ලද දැනුම්දීමකි. ඉන්දීය නිදහස් දිනය දා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව මෙහි සඳහන් වූයේ යැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ වට්ස්ඇප් පණිවිඩය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් මුලින් ප්‍රශ්න කර තිබුණද, මේ වන විට ප්‍රශ්න කරන්නේ ඔහු විසින් මාධ්‍යවේදියෙකු ලෙස ලියා පළකරන ලද ලිපි සහ එම ලිපිවල මූලාශ්‍ර පිළිබඳව බව පෙත්සමේ සඳහන් වේ.
පෙත්සමේ 15 වැනි වගඋත්තරකරු වන දේශබන්දු තෙන්නකෝන් සහ 19 වැනි වගඋත්තරකරු වන ඇමැති සරත් වීරසේකරගේ හැසිරීම් විවේචනය කරමින් ලියා ඇති ලිපි සම්බන්ධයෙන් මාධ්‍යවේදියා බියගන්වන ආකාරයෙන් මේ වන විට ප්‍රශ්න කරන බව ද නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති අදාළ පෙත්සමේ සඳහන් වේ.
PTA උල්ලංඝනය කළේ කෙසේද?
මේ දක්වා කීර්ති රත්නායක කිසිදු අධිකරණයක් වෙත ඉදිරිපත් කර නොමැති අතර, ඔහු රඳවා ගැනීමට අදාළ රැඳවුම් නියෝගය හෝ ඔහුට පෙන්වා නොමැති බව ද සඳහන් ය. වාර්තා පළවූ ආකාරයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවාගෙන සිටින්නේ නම්, එම පනත උල්ලංඝනය කළේ කෙසේද යන්න තහවුරු කෙරෙන සාක්ෂි නොමැති බව ද අදාළ පෙත්සම මගින් අධිකරණයට දැනුම් දී තිබේ. නීතිවේදීන් පෙන්වා දෙන්නේ එසේ රඳවා තබා ගැනීමට එවැනි සාක්ෂියක් අවශ්‍ය වන බවයි.
විශේෂයෙන්ම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු විසින් ලියන ලද ලිපි සහ තොරතුරු මූලාශ්‍ර පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කරන බවත්, ලිපිවල තොරතුරු මූලාශ්‍ර හෙළි කරන ලෙස තර්ජනය කරන බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය යටතේ සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම මගින් අවධාරණය කර තිබේ. මේ නිසා තමන්‌ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත්, රැඳවුම් නියෝගය අවලංගු කර තමන් නිදහස් කරන ලෙසත්, තමන්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක වන්දියක් වගඋත්තරකරුවන්ගෙන් ලබාදෙන ලෙසත් මාධ්‍යවේදියා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මානව හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ
දෙවැන්න වන්නේ, මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙස ප්‍රකට චිරන්ත අමරසිංහ විසින්, අත්තනෝමතික ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමයි. 2020 නෙවැම්බර් මාසයේදී තමන්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති එවැනි අත්අඩංගුවට ගැනීම්වලින් වැළකීමේ නිදහස, පුරවැසියෙකු ලෙස නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාවක් ලැබීමේ නිදහස, කැමැති ආගමක් ඇදහීමේ, සිතීමේ සහ හෘද සාක්ෂියේ නිදහස, ප්‍රකාශනයේ සහ සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අදාළ පෙත්සමේ සඳහන් ය.
නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, එම දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 07 දෙනෙකුට එරෙහිව SC/FRA/375/2021 අංක දරන මේ පෙත්සම ගොනුකර ඇත. කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩනොදීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ද පෙත්සම්කරු විසින් මීට පෙර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.
පිළිතුරු නැති පොලිසිය
2020 නොවැම්බර් 17 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් තම නිවසට පැමිණ ප්‍රකාශයක් සටහන් කරගත යුතු බව දැනුම් දුන් බවත්, අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව සඳහන් නොකළ බවත් පෙත්සමේ සඳහන් ය. ඊට හේතුව ලෙස දැනුම් දී ඇත්තේ ඔහු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන ලද පෝස්ට් එකක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි. අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ කවුද, පැමිණිල්ල කුමක්ද, කුමන පෝස්ට් එක සම්බන්ධයෙන් ද යනුවෙන් පෙත්සම්කරු විසින් විමසා ඇතත්, ඊට පොලිස් නිලධාරීන් පිළිගත හැකි පිළිතුරක් ලබා දී නැත.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය සහ නිරෝධායන පනත යටතේ වන චෝදනාවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීමක් පමණක් සිදුකරන බව ඔහුට පොලිස් නිලධාරීන් විසින් යළි-යළිත් දැනුම් දුන් බව ද පෙත්සමේ සඳහන් ය. මේ අවස්ථාවේදී පෙත්සම්කරුගේ මව විසින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින්, පෙත්සම්කරු දිගටම ප්‍රතිකාර ගන්නා අයෙකු බව තහවුරු කොට, පසුදින නීතිඥවරයෙකු සමග පැමිණ ප්‍රකාශයක් ලබාදීමට අවසර ඉල්ලා ඇත. එහෙත් එය ප්‍රතික්ෂේප වී තිබේ.
විරෝධතා නොසැලකීම
මෙහිදී නීතිඥ සහාය ලබාගැනීමට පෙත්සම්කරු විසින් අවසර ඉල්ලා ඇතත්, පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ එවැන්නක් අවශ්‍ය නොවන බවයි. ඊට ඉඩනොදෙමින් ප්‍රකාශයක් සටහන් කරගැනීමට පමණක් බව පවසා තමන්ව රැගෙන ගිය බව ද පෙත්සමේ සඳහන් ය. තමන් සමාජ මාධ්‍ය වෙත පිවිසෙන පරිගනක උපකරණ, ජංගම දුරකතනය ද පොලිස් නිලධාරීන් ලබාගත් බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද විරෝධතා නොසලකා හරින ලද බවත් පෙතසම්කරු පවසා සිටී.
අත්අඩංගුවට ගැනීමට බොරු කීම
පෙත්සම්කරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී දැනගෙන ඇත්තේ ඔහුට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බවයි. යම් තොරතුරක් පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බව පමණක් එහි සිටි නිලධාරීන් ඔහුට පවසා ඇත. එසේම ඔහු විසින් පළකරන ලද නිශ්චිත පෝස්ට් එකක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් ද සිදු වී නැත. ආණ්ඩුවේ අසාර්ථකභාවය සහ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් පළකරන ලද පෝස්ට් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර, ඔහුගෙන් අදාළ සියලු රහස් සංකේත ද පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන තිබේ.
උපකරණවල වගකීම
පෙත්සම්කරුට අදාළ දත්ත කොපි කරගැනීමට අවස්ථාවක් ලබාදී නැති අතර, මේ නිසා වට්ස්ඇප් සහ වයිබර් පණිවිඩ ලක්ෂ 4කට අධික ප්‍රමාණයක්, සාමාන්‍ය පණිවිඩ 55,000ක් ඇතුළු පෞද්ගලික තොරතුරු රැසක් නැති වූ බව ද පෙත්සමේ සඳහන් ය. අදාළ උපකරණ සීල් කර, තම අත්සන යෙදීමට අවස්ථාව ලබාදෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා ඇතත්, එය ද සිදුව නැත. තමන්ගේ විරෝධය නොතකා, සීල් නොකරන ලද උපකරණ තමන් සිටි ස්ථානයෙන් ඉවතට ගෙන ගිය බවද පෙත්සමේ සඳහන් ය. පරිගනක අපරාධ පනත ඇතුළු ප්‍රතිපාදන කිහිපයක් යටතේ තමන්ව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළද, අදාළ උපකරණ අධිකරණයට ඉදිරිපත් නොකළ බව ද පෙත්සම්කරු අවධාරණය කර සිටී.
මේ සියලු කරුණු මත තමන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ද පෙත්සම්කරු පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
‘ක්‍රයිම් ඔ්අයිසී අම්මගෙන් සමාවගත්තා.’
තුන්වැන්න, මාලිම්බඩ හා මාතර පොලිස් ස්ථානවලදී නීතිවිරෝධී ලෙස රඳවාගෙන දින ගණනාවක් තිස්සේ වධහිංසා කිරීම සම්බන්ධයෙන් තරුණයෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමයි.
‘මාව හාන්සි කරලා යටි පතුල්වලට මට පොලු තුනකින් ගැහුවා. කුඩු දාලා හරි ඇතුළට දානවා කිව්වා. උඹ නිර්දෝෂීයි කියලා කියන්න කෙනෙකුත් නෑ, පොලිසියෙ හැටි දන්නවනෙ, ගොරකත් දඩමස් කරන්න පුළුවන්. පොලිසියත් එක්ක හැප්පෙන්න එපා උඹලා කිව්වා. මගේ බේත් එහෙම ගෑවේ ඔය පොලිසියෙ අපරාධ අංශයේ ස්ථානාධිපති. මගෙන් වුණු අතපසුවීමට කියලා අපේ අම්මගෙන් වැඳලා සමාවගත්තා.’
‘සටහන්’ යූටියුබ් නාලිකාව සමග මේ තරුණයා එසේ සඳහන් කර තිබිණි. මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම ද විමර්ශනයක් ආරම්භ කළ අතර, ඊට අදාළ ව මාලිම්බඩ සහ මාතර යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මාතර, තෙලිජ්ජවිල මත්පැන් අළෙවිසැලක සිදු වූ බව කියන සොරකමක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී අයුරින් රඳවාගෙන පොලුවලින් පහර දී බරපතළ තුවාල කළ බවට එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයකු කළ පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය සිදු කළ බව පොලිස් කොමිසමේ නිලධාරියෙක් තහවුරු කළේය.
නීතිඥවරයා යනු කවුද?
මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන මාලිම්බඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා අතින් පයින් හා පොලුවලින් ද පහර දෙමින් ප්‍රශ්න කර ඇත. විකට් කූරකින් පහර දුන් එක් අවස්ථාවක එය කැඩී තම පාදය සිදුරු වන ආකාරයට බරපතළ තුවාල වී යැයි ද, ඉන්පසුවත් එක් නිලධාරියකු රෙදි කෑල්ලක මිරිස් අඹරා තම මුවට තබා ගැට ගැසුවේ යැයි ද අදාළ තරුණයා සඳහන් කර ඇත.
තමන් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගෙන පවුලේ ඥාතීන්ගේ උපදෙස් මත නීතිඥවරයකු පොලිසියට පැමිණියද, පහරදීම් නතර නොකළ බවත්, පසුව මාතර පොලිසියට රැගෙන ගොස් පහරදුන් බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත. කෙසේ වෙතත් මත්පැන් අළෙවිසැලේ සොරකම සිදු වූ අවස්ථාවේ වීඩියෝ පට මාතර පොලිසියට ගෙනැවිත් තම පවුලේ සාමාජිකයන්ටද පෙන්වා එහි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පරීක්ෂා කිරීමේදී එහි සිටින්නේ තමන් නොවන බව හඳුනාගැනීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා තම මවගෙන් සමාව ඉල්ලා සිටි බව ද ඔහු සඳහන් කරයි.
ව්‍යාජ කටඋත්තර
පසුව පොලිස් නිලධාරින් පිරිස එක් වී තරුණයාගේ තුවාලවල ආලේප ගල්වා උණු දියෙන් තවා ප්‍රථමාධාර දී ඇත. අදාළ තරුණයා රෝහල්ගතවීම වළකා 1990 සුවසැරිය ගිලන්රථයක් භාවිත කර, ඔහුට ප්‍රථමාධාර ලබාදීමට මාතර පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේ යැයි ද දින දෙකක් පොලිසියේ රඳවාගෙන බෙහෙත් කර, පස් වැනි දිනයේ පොලිස් ජීප් රථයකින්ම නිවෙසට ඇරලවා ඇතැයි ද පොලිස් කොමිසට ඉදිරිපත් වූ පැමිණිල්ලේ සඳහන් ය. තම යටිපතුල්වල අස්ථි බිඳී ඇති බවට එක්ස් කිරණ පරීක්ෂණයෙන් හෙළි වූ පසුව පොලිස් නිලධාරින් පිරිස තමන් මාතර රෝහලට රැගෙන ගොස් මෙම තුවාල සිදුවූයේ තාප්පයකින් පැනීමට ගොස් බවට ව්‍යාජ කටඋත්තරයක් ලබාගත්තේ යැයි ද සඳහන් වේ.
පොලිසිය සතු උපරිම බලය
නීතිය වෙනම තිබියදී, පුරවැසියන්ට මෙසේ සිදු වේ. ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් අමු-අමුවේ උල්ලංඝනය කරමින්, මෙසේ හැසිරෙන්නට පොලිසියට උපරිම බලය ලබා දී තිබේ. පොත්වල එසේ සඳහන් නොවූවද, මෙවැනි සිදුවීම්වලට අදාළ ව කිසිවක් සිදු නොවන බව පොලිසිය දනී. ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබාදී ඇති නිල නොවන සහතිකය එයයි.
ආණ්ඩු වෙනස් වුවද, පොලිස්පතිලා වෙනස් වුවද, පොලිස් අභ්‍යාස විද්‍යාලවල කුමක් ඉගැන්වුවද, ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද, මේවා මේ ආකාරයෙන් ම සිදු වේ. එවැනි සිදුවීම්වලින් කීයෙන් කීයකට අදාළව ද, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මෙවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුවන්නේ. ඊට හේතු දෙකක් තිබේ. එකක් නීතිය පිළිබඳ ඇති නොදැනුවත්කම ය. එය ජනතාව පීඩාවට පත්කිරීම සඳහා සෑම අවස්ථාවකදීම භාවිත වන ආකාරය දැකිය හැකිය. අනෙක මේ ක්‍රියාවලීන් සඳහා දැරිය යුතු වියදම ය. එම නිසා මෙවැනි ක්‍රියාවලීන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත්, අවම වියදමකින් එය සිදුකර ගත හැකි ක්‍රමවේද සැකසීමත් අත්‍යවශ්‍යයෙන් ම සිදුවිය යුතුය.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleඔ්අයිසී පහරදුන්නා – පලෙයි ප්‍රදේශවාසීන් : මුව ආවරණ නැති නිසා ගැහුවා – පොලිසිය
Next articleපුදුකුඩුඉරිප්පු රත්‍රන් සිද්ධිය : පොලිස් ඇමතිගේ ලේකම් ඉඩම් කොල්ලයකටත් එස්ටීඑෆ් යොදාගෙන !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here