සපුගස්කන්ද ඉවරයි – ඉන්ධන ඒකාධිකාරය ඉන්දියාවට ?

(ශාලික විමලසේන)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග, මෙරට ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරය ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදීමට අදාළ මූලික සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේ එකඟතාව සහිතව ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වා තිබේ.
මේ සාකච්ඡාවට පෙර, පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඛනිජ තෙල් විෂය භාර ඇමැති උදය ගම්මන්පිල විසින් මීට අදාළ වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් වාර්තාවක් සකස් කොට, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස එහිදී ඇමැතිවරයාට දැනුම් දී තිබේ.
සාකච්ඡා අරඹයි !
ඒ අනුව පසුගිය 17දා මීට අදාළ මූලික සාකච්ඡාව ආරම්භ කොට ඇති අතර, ඒ සඳහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (මූල්‍ය) අසීම් භර්ගවා ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමාගම පාර්ශ්වයෙන් සහභාගි වී ඇත. සංස්ථාවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඛනිජ තෙල් සංස්ථාව පාර්ශ්වයෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ, සභාපති, නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සංවර්ධන සහ සැලසුම්), නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (මුදල්) ඇතුළු පිරිසක් සහභාගි වී ඇති බවයි.
ඩොලර් මිලියන 500ක් – කොන්දේසි තුනක්
ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ගනුදෙනුවක් ලෙස මෙය සිදුකිරීමට දැනට සැලසුම් සකස් කෙරෙමින් පවතින බවත්, ඒ සඳහා සමාගම පාර්ශ්වයෙන් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර ඇති බවත් අදාළ ආරංචි මාර්ග අනාවරණය කරයි. ත්‍රීකුණාමලයේ පිහිටි තෙල් ටැංකිවල අයිතිය පැවරීම, මූලික වටයේදී ත්‍රීකුණාමලය සහ ඒ අවට පිහිටි දිස්ත්‍රික්ක පහක ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරිය ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට පැවරීම, නෞකාවලට ඉන්ධන සැපයීම ඇතුළු අනෙකුත් මූලික ව්‍යාපාර කටයුතු සමාගමේ අවශ්‍යතාව මත සිදුකිරීම අදාළ කොන්දේසි වේ. හම්බන්තොට වරාය අවට ප්‍රදේශය සම්බන්ධයෙන් චීනය සමග ශ්‍රී ලංකා රජය එකඟ වී ඇත්තේ ද මීට සමාන කොන්දේසිවලට වීම විශේෂත්වයකි.
ඛනිජ තෙල් සංස්ථාවේ ඉරණම
මේ අනුව බොරතෙල් ගෙන්වීම මුළුමනින්ම නවත්වා ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරය ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට පැවරීමටත්, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය ඇතුළු රජයේ ආයතන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තබාගැනීමටත් දැනට යෝජනා වී තිබේ. ඒ අනුව වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් තීරණය කිරීමේ අයිතිය ද ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට හිමිවනු ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
එහෙම සාකච්ඡාවක් නෑ
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිහේවා සඳහන් කළේ මෙවැනි සාකච්ඡාවක් නොපැවැත්වුණු බවයි. වසර ගණනාවක් තිස්සේ සංස්ථාව සමග කටයුතු කරන ස්විස් සිංගප්පූරු සමාගමේ නියෝජිතයන් පිරිසක් පමණක් පැමිණ සාකච්ඡාවක් පැවැත්වූ බව ද කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
මිල පාලනයත් ගිලිහෙයි ?
ලංකා ඛනිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වලගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කර සිටියේ අදාළ සාකච්ඡාව පැවති බවත්, එය 17 දින පමණක් නොව, 18 දින ද පැවැති බවත් ය. සංස්ථාවේ එල්එන්ජී මෙහෙයුම් කටයුතු සඳහා වෙන්කරන ලද ස්ථානයේදී මේ සාකච්ඡාව පැවැති බව ද ඔහු සඳහන් කළේය. මේ සාකච්ඡාවේදී අවධානය යොමු කළ කොන්දේසි ක්‍රියාත්මක වුවහොත්, මෙරට ඉන්ධන මිල හෝ ඉන්ධන පිළිබඳ අනෙකුත් ගැටළු ඉදිරියේදී ශ්‍රී ලංකා රජයට පාලනය කිරීමට හැකියාවක් නොලැබෙනු ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
තීරණයේ පාඩුව ඉදිරියට
සපුගස්කන්ද පිරිපහදුව වසාදැමීමේ අත්තනෝමතික තීරණයේ පාඩුව ඉතා ඉක්මනින් දැනෙනු ඇති බවත්, සමාගම් සමග විවිධ ගනුදෙනු කිරීම නිසා ඉදිරියේදී රට තුළ ඉන්ධන පිළිබඳ බරපතළ ගැටළුවක් මතුවනු ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත සඳහන් කළේය. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡාවක් පැවැති බව ද තහවුරු කළ සභාපතිවරයා, එහිදී එකඟ වූ කොන්දේසි මොනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැතැයි ද පැවසීය.
නියම හිමිකරු කවුද?
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ සමාගම් ලේකම් අමාලි ලියනපටබැඳිගෙන් මේ පිළිබඳව විමසීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර, එම සමාගමේ වෙනත් ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පාලනාධිකාරිය විසින් නිල වශයෙන් නිකුත් කරන මාධ්‍ය නිවේදනයක් හැර තමන්ට මෙවැනි සාකච්ඡා හෝ සම්බන්ධතා පිළිබඳ කිසිවක් පැවසිය නොහැකි බවයි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යනු ඉන්දියන් ඔයිල් සංස්ථාව යටතේ ක්‍රියාත්මක රාජ්‍ය පෞද්ගලික සමාගමකි. එහි ප්‍රධාන මෙහෙයුම්කරු වන්නේ ඉන්දියාවේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍යංශයයි.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleසිරිල් ගාමිණී පියතුමන් හෙටත් සීඅයිඩියට
Next articleතීන්ත බාල්දියේ වැටුණු නරියා සහ නීතිය නැවීමේ න්‍යාය !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here