තීන්ත බාල්දියේ වැටුණු නරියා සහ නීතිය නැවීමේ න්‍යාය !

නිල් තීන්ත බාල්දියට වැටුණු නරියාගේ උපහාස කතාව ජනාධිපතිවරයාට ගැළපෙන බව යළි-යළිත් කියන්නට සිදුවීම කනගාටුවට කරුණකටත් වඩා හාස්‍යයට කරුණකි. රටේ බහුතර ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපති ධුරය කියන්නේ මේ ආකාරයට හාස්‍යයට ලක්විය යුතු ධුරයක් නොවේ. අනෙක් අතට රටේ බහුතර ජනතාව 2019 නොවැම්බර් මාසයේදී ඒ පුටුව වෙනුවෙන් තැබූ විශ්වාසය කොතරම් ද? ඒ බහුතර ජනතාව මෙන්ම සමස්ත පුරවැසියන් වෙනුවෙන් ඔහුට මගහැර යා නොහැකි වගකීමක් තිබේ.
ඇතැම් පාර්ශ්ව දැන් අපිට දෙන්න, අපි කරලා පෙන්වන්නම් කිව්වාට හරියන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව ඇත්තේ වසර පහකට ය. ඒ කාලයේ දී ඔහු ජනාධිපති ය.
ගැටළුව ඇත්තේ අර මුලින් කී කතාවේ වගේ නරි වෙස පෙනෙන්නට පටන්ගන්නා සෑම අවස්ථාවක ම ඔහු බලය පාවිච්චි කරන්නට පෙළඹීම ය. එය බරපතළ වරදකි. කොවිඩ් වසංගතය පෙන්වමින් සියල්ල කරගන්නට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සැලසුම් සකස් කරමින් සිටී. මෙතෙක් වැඩ කරගෙන ආවේත් එහෙම ය. විරෝධතා මර්දනයේ සිට සියල්ලට ඒ කතාව අදාළ වේ.
සෞඛ්‍ය ඇමැති ව්‍යවස්ථාවට ඉහළින් ද?
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් අලුතින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ද එසේ ය. පසුගිය නොවැම්බර් 09 දා නිකුත් කරන ලද මේ නිවේදනයේ අංකය වන්නේ 2253/10 වේ. මෙමගින් සිදු කරන ලද්දේ 1925 අගෝස්තු 28 වැනි දින නිකුත් කරන ලද අංක 7481 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වන නියෝග සංශෝධනය කිරීම ය. ඊට 99 නමින් අලුතින් වගන්තියක් එකතු කර තිබේ. එහි මෙසේ සඳහන් ය.
‘(1) සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධරයා විසින්, එකී නිසි බලධරයා විසින් නිශ්චය කරනු ලබන යම් කාලසීමාවක් සඳහා, 2019 කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත වන ඒකරාශීවීමක්, ක්‍රියාකාරකමක් හො අවස්ථාවක් සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු කලින් කල නිශ්චය කරනු ලැබිය හැකිය.
(අ) ඒකරාශී වීම, ක්‍රියාකාරකම, අවස්ථාව හෝ ඒ හා සමාන රැස්වීම පැවැත්වෙන ස්ථානය සහ එහි වටපිටාව ව්‍යූහය හෝ වටමායිම් සහ,
(ආ) එම ඒකරාශී වීම, ක්‍රියාකාරකම, අවස්ථාව හෝ ඒ හා සමාන රැස්වීම පැවැත්වෙන ස්ථානයකට සහභාගි වීමට අවසර ලබාදෙන උපරිම තැනැත්තන් සංඛ්‍යාව හෝ අවසර ලබාදිය හැකි ධාරිතාව හෝ සමස්ත ධාරිතාවේ ප්‍රතිශතය,
(2) යම් තැනැත්තෙකු විසින්, (1) වන අනුනියෝගය උල්ලංඝනය කරමින් යම් ඒකරාශිවීමක්, ක්‍රියාකාරකමක්, අවස්ථාවක් හෝ ඒ හා සමාන රැස්වීමක් සඳහා අවසර ලබාදීම හෝ ඊට සහභාගි වීම නොකළ යුතුය.
(3) (1) අනුනියෝගය යටතේ නිකුත් කරනු ලැබූ සෑම විධානයක් ම, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ හෝ ගැසට් පත්‍රයේ පළකරනු ලැබිය යුතුය.
පෙර පරිදිම මේ තවත් බලය අවභාවිත කිරීමක් ලෙස නීතිවේදීහු අවධාරණ කරති. මෙමගින් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභියෝගයට ලක්කරයි. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු වේ.
නීති නොසලකා හැරීම
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇත්තේ සාමකාමී ලෙස රැස්වීමට පුරවැසියන්ට ඇති අයිතියයි. නීතිවේදීන් පෙන්වා‌ දෙන්නේ මේ අයිතිය සීමා කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් හෝ මහජන ආරක්ෂක නීතියක් යටතේ පනවනු ලබන ප්‍රතිපාදනයකින් පමණක් බවයි. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (3) සහ 15 (7) ව්‍යවස්ථාවල පැහැදිලිව සඳහන් කර ඇති බව ද ඔවුහු අවධාරණය කරති.
ඒ කියන්නේ සෞඛ්‍ය ඇමැතිවරයාගේ ගැසට් නිවේදනයකින් හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයකින් ඒ අයිතිය සීමා කළ නොහැකිය. එසේ තිබියදී මේ කරන්නේත් නීතිය අවභාවිතාවේ යෙදවීම ය. ආණ්ඩුවට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට ඇති නිසා පහසුවෙන්ම ව්‍යවස්ථානුකූලව මෙවැනි නීතියක් පැනවිය හැකිය. එහෙත් එසේ නීතියට අනුව කටයුතු සිදු නොවීම වසංගතය ආරම්භයේ සිටම දැකගත හැකි විය.
ඇඳිරි නීතියේ සිට පොලිස්පති තෙක්
ඇඳිරි නීතිය පැනවූයේ ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදන මගින් ය. ආණ්ඩුව වසංගතය පෙන්වමින් පවත්වාගෙන ආ ඇඳිරි නීතිය නීතිවිරෝධී වුවද, කිසිවෙකු එය අභියෝගයට ලක්කරන්නට ගියේ නැත. ඒ වසංගතය නිසා ය. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ද එසේ ම ය. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලඝනය කරමින්, පොලිස්පතිවරයා නිකුත් කළ නිවේදන මගින් අත්අඩංගුවට ගැනීම සිදු විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ සමාජ මාධ්‍ය අවකාශය තුළ කොවිඩ් 19 තත්ත්වය හා අනෙකුත් සංවේදී කාරණා පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරන්නන්, පතුරවන්නන් සෙවීම සඳහා සහ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවයි. මෙහි අනෙකුත් සංවේදී කාරණා මොනවාද යන්න සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක පැහැදිලි අර්ථ නිරූපණයක් ඉදිරිපත් වූයේ නැත.
පසුගිය ජූනි 08 දා පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මීට අදාළව චෝදනා ගොනුකළ හැකි අණ-පනත් ගණනාවක් සම්බන්ධයෙන් ද සඳහන් විය. එහි දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය ද විය. එහි සඳහන් වන්නේ ලංකාණ්ඩුවට විරුද්ධත්වයක් පළකිරීම අපරාධ වරදක් බවයි. මෙය යටත්විජිත යුගයේ ක්‍රියාත්මක වූ නීතියකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය මේ සියලු නීති ප්‍රතිපාදන ඉක්මවා යන බව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවස්ථා ගණනාවකදී තහවුරු කර ඇත.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනතේ තුන්වැනි වගන්තිය ද ආණ්ඩුව මෙසේ අවභාවිත කරන්නට සැලසුම් කර තිබූ සහ ක්‍රියාත්මක වූ ප්‍රතිපාදනයකි. කෙටිකතාවක් ලිවීම නිසා අත්අඩංගුවට ගත් ශක්තික සත්කුමාරට එරෙහිව චෝදනා ගොනුකෙරුණේ මේ යටතේ ය. අවසානයේදී ඔහු නිදොස් කොට නිදහස් කෙරිණි. ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග වෙමින් තිබේ.
ආණ්ඩුවේ වැරදි දත්ත
සෞඛ්‍ය අමාත්‍යංශ, වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවිය වසංගතය පිළිබඳ අසත්‍ය තොරතුරු දිගින් – දිගටම සමාජගත කරමින් සිටියේය. ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනුණේ නැත. ඒ අසත්‍ය හෙළිදරව් වීම වැළැක්වීම මේ මර්දනකාරී උත්සාහයන්ගේ අරමුණ විය. ජනාධිපතිවරයාගේ උත්සව, පසුගිය සතියේ රාජ්‍ය කඨින උත්සවය වැනි අවස්ථාවලදී මේ කිසිදු නීතියක් ක්‍රියාත්මක වූයේ නැත. ඔවුන් දිගින්-දිගටම වසංගතය පෙන්වමින් නීතිය අවභාවිතාවේ යොදවමින් සිටී.
හදිසි අවස්ථා විහිළුව සහ විරෝධතා මර්දනය
පසුගිය අගෝස්තු 30දා ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනතින් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම ද මෙවැනිම තත්ත්වයකි. පාරිභෝගික අධිකාරි පනත ඇතුළු පාරිභෝගික නීති මගින් අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට සියලු නීති ප්‍රතිපාදන සලසා තිබියදී, හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක කොට ජනතාව භීතියට පත්කරන්නට ජනාධිපතිවරයා උත්සාහ කළේය. එහෙත් සිදු වූයේ හදිසි අවස්ථාව පසෙක තිබියදී, පාරිභෝගික නීති මගින් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම ය. අවසානයේදී එල්ල වූ දැඩි විරෝධය නිසා හදිසි අවස්ථාව දීර්ඝ නොකෙරිණි. එය ගුරු – විදුහල්පති සටන වගේම දැඩි විරෝධය නිසා ආපස්සට අඩිය තැබීමකි.
මැයි දින උත්සව තහනම සිදු වූයේ ද මෙසේ ම ය. ආණ්ඩුවට අවශ්‍ය වූයේ ඇතුළේ ප්‍රශ්න බේරාගැනීමට ය. ඒ වෙනුවෙන් අප්‍රේල් 20දා මැයි දින සැමරුම් සඳහා අවසර ලබානොදීමට ආණ්ඩුව තීරණය කළේය. මේ තීරණය සාධාරණ බව රටට පෙන්වන්නට ආණ්ඩුව කිව්වේ දේශපාලන පක්ෂ සමග මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි. එහෙත් ඒ සාකච්ඡාවට සහභාගි වී තිබුණේ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් සහ ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් කිහිපදෙනෙකු පමණි.
මෙවැනි උදාහරණ රැසකි. ආණ්ඩුව අත්තනෝමතික ලෙස නීතිය අවභාවිත කරමින්, වසංගතයෙන් වාසි ලබමින් සිටී. රටේ උත්තරීතර නීතිය වන, පුරවැසි අයිතිවාසිකම් තහවුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතූ මනාපයේ උල්ලංඝනය කරන්නට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටී. කෙසේ වෙතත් වසංගතය පෙන්වා මෙසේ තමන්ට අවශ්‍ය සියල්ල කරගැනීමට යෑම ඔවුන්ගේ සෞඛ්‍යයට නම් ඒ තරම් හොඳ නැති බව ය.
නරියාට අවසානයේදී සිදු වූයේ පණ එපා කියාගෙන, කැලේ කඩාගෙන දුවන්නට ය.
ශාලික විමලසේන
(උපුටා ගැනීම – ලංකා පුවත්පත)
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleසපුගස්කන්ද ඉවරයි – ඉන්ධන ඒකාධිකාරය ඉන්දියාවට ?
Next articleඔ්අයිසී පහරදුන්නා – පලෙයි ප්‍රදේශවාසීන් : මුව ආවරණ නැති නිසා ගැහුවා – පොලිසිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here