සිරිල් ගාමිණී පියතුමන් හෙටත් සීඅයිඩියට

(කෞෂල්‍යා නන්දසේන)
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ශාන්ත ආනා දේවස්ථානයේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැය අටකට ආසන්න කාලයකට පසු අද සවස පිටව ගියේය.
වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හෙට දිනයේදී පියතුමා රහස් පොලිසියට කැඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව විදේශගත ශ්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීම සඳහා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සූම් සැසියකදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ගොනු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට සිරිල් ගාමිණී පියතුමා රහස් පොලිසියට කැඳවා තිබේ.
මීට පෙර පසුගිය 28 වැනිදා ද කැඳවීමක් ලැබුණු අතර ඒ සඳහා සහභාගීවීමට පියතුමන් සතියක කාලයක් ඉල්ලා තිබිණි. රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට කැඳවීමෙන් පසු තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව සඳහන් කරමින් සිරිල් ගාමිණී පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අතියිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
අරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න, පොලිස්පති සී ඩී වික්‍රමරත්න, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ නීතිපති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති. ‍
සිරිල් ගාමිණී පියතුමා කොළඹ අගරදගුරු පදවියේ කතෝලික පූජකවරයකු වන අතර එහි ප්‍රධානියා වන්නේ මෙම පෙත්සමේ හය වැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටින මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමියන්ය.
පෙත්සම්කාර සිරිල් ගාමිණී පියතුමන් කතෝලික පූජකයකු ලෙස පැවිදි බිමට ඇතුළත් වී ඇත්තේ 1995 වසරේදීය. රෝමයේ උර්බානා විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති උපාධියත්, එම විශ්ව විද්‍යාලයෙන්ම දේවධර්ම උපාධිතයත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ජන සන්නිවේදනය උපාධියත් ලබා ගත් සිරිල් ගාමිණී පියතුමා දැනට මීගමුව කුරණ ශාන්ත ආනා දේවස්ථානයේ පූජකවරයා ලෙස කටයුතු කරයි.
සිරිල් ගාමිණී පියතුමා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ තමා අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස සහ, තමාගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට/කඩවීමට ආසන්න බවට ප්‍රකාශ කරන ලෙසයි.
මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ මොහොතේ අත්අඩංගුවට නොගන්නා බවයි.
ඒ අනුව පියතුමන් අද උදෑසන 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඔහුට සහයෝගය දක්වමින් බෞද්ධ සහ කිතුණු ආගමික නායකයෝ ඇතුළු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිවිසුම අසලට පැමිණ සිටියහ.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous article‘එක රටක්-එක නීතියක්’ ; ආයතන ක්‍රියාකාරිත්වයට බාධාවක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Next articleසපුගස්කන්ද ඉවරයි – ඉන්ධන ඒකාධිකාරය ඉන්දියාවට ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here